කුලී නිවැසි මව හා දියණිය ගිනි රකුසාට බිලිදුන් ගෙවල් හිමියාට කළකම් පලදෙයි

0

මහරගම පමුණුව ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලට නිවෙස් හිමිකරු විසින්18දා රාත්‍රියේ ගිනි තැබීමෙන් එකම පවුලේ මව හා දියණිය ද නිවසේ හිමිකරු ද ජීවිතක්ෂයට පත්වූහ.

එම මියගිය කාන්තාවගේ සැමියා බරපතළ පිළිස්සුම් තුවාල ලබා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහරගම, පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ දෙවැනි පටුමගේ කුලී පදනම මත පදිංචිව සිටි එම්. බී. රත්නකාන්ති වික්‍රමාරච්චි (55) නමැති මව සහ ඇයගේ දියණීය වන එස්. ටස්සරණි රත්නායක (16) හා නිවසේ හිමිකරු වන ඔලිවර් පැටි්‍රක් විජේසිංහ (76) යන තිදෙනායි.

බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති මියගිය දැරියගේ පියා වන 46 හැවිරිදි පුද්ගලයාගේ තත්ත්වයද බරපතළ බව කළුබෝවිල රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පෙරේදා රාත්‍රී මෙම නිවස ගිනි ගැනීමකට ලක්ව ඇති අතර, අසල්වැසියන් වහා මැදිහත්වී ගින්න නිවා දමා පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කර තිබේ. තවදුරටත් නිවස පරීක්ෂා කිරීමේදී කාමරයක් තුළ තිබී මියගිය මව සහ දියණියගේ මළසිරුරු හමුවී තිබේ. එමෙන්ම නිවෙස් හිමිකරු හා එම පවුලේ පියා පිළිස්සුම් තුවාල ලබා වැටී සිටි බවත්, ඔවුන්ද රෝහල්ගත කිරීමට පියවරගත් බවත්, නිවසේ හිමිකරු ඊයේ (19දා) අලුයම මියගිය බවත් පොලිසිය පවසයි.

අපරාධය සිදුවූ ස්ථානයෙන් පෙට්‍රල් ගඳ වහනය වී ඇත. නිවෙස් හිමිකරු නිවසේ ඉහළ මහලට පෙට්‍රල් දමා ඇති බවත්, එහිදී ඔහුද ගින්නට හසුව ඇති බවත් දැනට සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මෙම නිවසේ ඉහළ මහලේ සිද්ධියෙන් මියගිය මව, දියණිය හා බරපතළ පිළිස්සුම් තුවාල ලබා සිටින පියා කුලී පදනම මත පදිංචිව සිට ඇති බවත්, පහළ මාලයේ ද්‍රවිඩ පවුලක් කුළියට පදිංචිව සිටින බවත් හෙළිවූ බවද පොලිසිය පවසයි.

මියගිය නිවෙස් හිමිකරු පහළ මාලයේ කෙළවර කාමරයක නැවතී සිට ඇත. ඔහුගේ පුත්‍රයා විවාහවී වෙනම කුලී නිවසක පදිංචිව සිට ඇතැයි පොලිසිය පැවැසීය.

ඉහළ මහලේ කුලී මුදල නිවෙස් හිමිකරුගේ පුත්‍රයා විසින් ද, පහළ මහලේ කුලී මුදල මියගිය නිවෙස් හිමිකරු විසින් ද ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.

ඉහළ මහලේ කුළියට සිටින පිරිස හා නිවෙස් හිමිකරු අතර වරින්වර ආරවුල් ඇති වී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

මියගිය තිදෙනාගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය නුගේගොඩ මහෙස්ත්‍රාත් ඔස්මන්ඩ් ජයසේකර මහතා විසින් පවත්වන ලදී.

මහරගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසංක පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන සම්පත් (73782), පත්මසිරි (2921), පොලිස් කොස්තාපල්වරුන් වන රාජපක්ෂ (102922), කවිඳු (102924), ජයසුන්දර (100223), සමරසිංහ (92521), ලක්රුවන් (102918) යන නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

Under the courtesy of divaina.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!