ඉරාන නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව තහවුරුයි

0

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනී ජීවිතක්ෂයට පත්වුණු බව ඉරාන ජාතික රූපවාහිනිය මීට සුළු මොහොතකට පෙර පැවැසීය. කමේනි මියගොස් ඇත්තේ, ඇමෙරිකන් සහ ඊශ්‍රාවල හමුදා කමේනිගේ නිවසට පමණක් එල්ල කළ මිසයිල ප්‍රහාර 30 කිනි.

අයතුල්ලා අලී කමේනි, 1939 දී ඉරානයේ මෂාඩ් නගරයේදී උපත ලැබීය. ඔහුගේ පියා අයතුල්ලා සෙයියද් ජාවඩ් කමේනි, ඉතාමත් සරල ජීවිතයක් ගත කළ ආගමික විද්වතෙකි. කමේනි උපත ලබා සිටියේ ඉතා දිලිඳු පවුලකටය. ඔහුගේ පවුල් පසුබිම දැඩි ආගමික නැඹුරුවක් දැක්වීය. කමේනිගේ ළමා කාලය ගෙවුණේ එක් කාමරයක් පමණක් තිබූ කුඩා නිවසේය. බොහෝවිට ඔහු නින්දට ගියේ කුසට අහරක් නොමැතිවය.‍ කාමේනිගේ මව ඛදීජා මිර්දමාදි, ඉතා උගත් සහ භක්තිමත් කාන්තාවකි. ඇය ආගමික පවුලකින් පැවත ආ අතර, කමේනිගේ මූලික අධ්‍යාපනයට සහ ගුණධර්ම හැඩගැස්වීමට ඇයගෙන් විශාල බලපෑමක් ලැබුණි. කමේනි පවුලේ දරුවන් අට දෙනෙකුගෙන් දෙවැන්නා වූ අතර, ඔහුගේ සහෝදරයන් ද ආගමික කටයුතුවල නිරත වූ පුද්ගලයෝ වූහ.

කමේනි පවුලේ පරම්පරාව සලකා බැලීමේදී, ඔවුන් මොහොමඩ් නබිතුමාගේ පරම්පරාවෙන් පැවත එන බව විශ්වාස කෙරෙන බැවින් ඔහු සෙයියද් යන ගෞරව නාමයෙන් ද හැඳින්වීම සිදුවිය. ඔහුගේ මුතුන් මිත්තෝ ඉරානයේ අසර්බයිජාන ප්‍රදේශයට අයත් කමේනෙහ් නගරයේ සිට පැමිණි අය වෙති. 1964 දී ඔහු මොජ්ගාන් සමඟ විවාහ විය. මෙම යුවළට දරුවන් හය දෙනකු සිටින අතර, පුතුන් සිවුදෙනාම පියා මෙන්ම ආගමික අධ්‍යාපනය ලබා පූජකවරුන් ලෙස කටයුතු කරති. ඔහුගේ දරුවන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ දේශපාලන කරළියෙන් බැහැරව සිටීමට උත්සාහ කළද, ඔහුගේ දෙවැනි පුත් මුජ්තබා කමේනි ඉරාන දේශපාලනය තුළ යම් බලපෑමක් ඇති අයෙකි. කමේනිගෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා බවට පත් වීමට නියමිතව සිටියේ මොහුය. මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මුජ්තබා ද මියගිය බවය. ඊට අමතරව කමේනිගේ දියණිය, එම දියණියගේ දරුවන් ද ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය බව ද වාර්තා වේ.

ඊයේ (28) ඉරානයට පහර දීම ආරම්භ කිරීමෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කළ කථාව.

මීට සුළු මොහොතකට පෙර, එක්සත් ජනපද හමුදාව ඉරානය තුළ ප්‍රබල ප්‍රහාරාත්මක මෙහෙයුම් ආරම්භ කළා. අපගේ අරමුණ වන්නේ ඉතා දරුණු, බිහිසුණු මිනිසුන් පිරිසක් වන ඉරාන පාලන තන්ත්‍රයෙන් එල්ල වන ආසන්න තර්ජන තුරන් කරමින් ඇමෙරිකානු ජනතාව ආරක්ෂා කිරීමයි. ඔවුන්ගේ තර්ජනාත්මක ක්‍රියාකාරකම් එක්සත් ජනපදය, අපගේ හමුදා, විදේශයන්හි පිහිටි අපගේ කඳවුරු සහ ලොව පුරා සිටින අපගේ මිත්‍ර පාර්ශවයන් සෘජුවම අනතුරේ හෙළනවා.

වසර 47ක් තිස්සේ ඉරාන පාලන තන්ත්‍රය 'ඇමරිකාවට මරණය' යනුවෙන් මොරගසමින්, එක්සත් ජනපදය, අපගේ හමුදා සහ බොහෝ රටවල අහිංසක ජනතාව ඉලක්ක කර ගනිමින් නිමාවක් නැති ලේ වැගිරීම් සහ සමූහ ඝාතන ව්‍යාපාරයක් ගෙන ගියා. ටෙහෙරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රචණ්ඩකාරී ලෙස අත්පත් කර ගැනීමට සහය දෙමින් ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් දස දහස් ගණනක් දින 444ක් තිස්සේ රඳවා තබා ගැනීම මෙම පාලන තන්ත්‍රයේ මුල්ම ක්‍රියාවන්ගෙන් එකක්. 1983 දී බීරූට්හි ඇමෙරිකන් හමුදා මැරීන් බැරැක්කයට බෝම්බ ප්‍රහාර එල්ල කර, හමුදා නිලධාරීන් 241 දෙනකු මරා දැමුවේ ඉරාන ඒජන්තවරුන්. 2000 වසරේ ඇමෙරිකන් යූ.එස්.එස් කෝල් යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරය ගැන ඔවුන් දැන සිටියා, සමහර විට ඊට සම්බන්ධ වන්නටත් ඇති. බොහෝ පිරිසක් මිය ගියා.

ඉරාන හමුදා ඉරාකයේදී ඇමරිකානු සෙබළුන් සිය ගණනක් මරා දමා ආබාධිත කළා. මෑත වසරවලදී මැදපෙරදිග රැඳී සිටින ඇමරිකානු හමුදාවන්ට මෙන්ම එක්සත් ජනපද නාවික සහ වාණිජ නෞකාවලට සහ ජාත්‍යන්තර නැව් මාර්ගවලට එරෙහිව මෙම පාලන තන්ත්‍රයේ ඒජන්තයින් ගණන් කළ නොහැකි ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන ගියා. මෙය මහා පරිමාණ භීෂණයක්, අපි තවදුරටත් මෙයට ඉඩ දෙන්නේ නැහැ.

ලෙබනනයේ සිට යේමනය දක්වාත්, සිරියාවේ සිට ඉරාකය දක්වාත්, මෙම පාලන තන්ත්‍රය පොළොව ලෙයින් සහ මස් වැදලිවලින් තෙත් කළ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට අවි ආයුධ, පුහුණුව සහ අරමුදල් ලබා දී තිබෙනවා. ඊශ්‍රායලයට ඔක්තෝබර් 7 වනදා එල්ල වූ බිහිසුණු ප්‍රහාරය දියත් කළේ ඉරානයේ ඒජන්තයෙකු වන හමාස් සංවිධානයයි. එහිදී ඇමරිකානුවන් 46 දෙනකු ඇතුළු අහිංසකයන් 1,000 කට වැඩි පිරිසක් මරා දමා අපේ පුරවැසියන් 12 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගියා. එය ලෝකය මීට පෙර කවදාවත් දැක නැති තරම් කුරිරු දෙයක්.

ඉරානය යනු ලොව අංක එකේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයයි. මෑතකදී ඔවුන් විරෝධතාවල නිරත වූ තමන්ගේම පුරවැසියන් දස දහස් ගණනක් මහ මඟදී මරා දැමුවා. එක්සත් ජනපදයේ, විශේෂයෙන්ම මගේ පරිපාලනයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ මෙම ත්‍රස්තවාදී පාලන තන්ත්‍රයට කිසිදා න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට ඉඩ නොදීමයි. මම එය නැවතත් කියනවා, ඔවුන්ට කිසිදා න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකියි.

අප පසුගිය ජුනි මාසයේදී ඔපරේෂන් මිඩ්නයිට් හැමර් යටතේ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන ස්ථානවල පිහිටි එම පාලන තන්ත්‍රයේ න්‍යෂ්ටික වැඩසටහන් විනාශ කළේ ඒ නිසයි. එම ප්‍රහාරයෙන් පසුව, ඔවුන්ගේ ද්වේෂසහගත න්‍යෂ්ටික අවි හඹා යාම නැවත ආරම්භ නොකරන ලෙස අපි ඔවුන්ට අනතුරු ඇඟවූවා. අපි නැවත නැවතත් එකඟතාවයකට පැමිණීමට උත්සාහ කළා. අපි උත්සාහ කළා. ඔවුන්ට එය කරන්න ඕන වුණා, පස්සේ එපා වුණා. නැවතත් ඕන වුණා, පස්සේ එපා වුණා. ඔවුන් දැන සිටියේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. ඔවුන්ට අවශ්‍ය වුණේ නපුර පුහුණු කරන්න විතරයි.

කෙසේ නමුත් දශක ගණනාවක් තිස්සේ කළාක් මෙන් ඉරානය එය ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ න්‍යෂ්ටික අභිලාෂයන් අත්හැරීමට තිබූ සෑම අවස්ථාවක්ම ඔවුන් බැහැර කළා. අපට තවදුරටත් මෙය ඉවසිය නොහැකියි. ඒ වෙනුවට, ඔවුන් තම න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැගීමටත්, යුරෝපයේ අපගේ හොඳම මිතුරන්ට සහ මිත්‍ර රටවලට මෙන්ම විදේශගතව සිටින අපගේ හමුදාවන්ට තර්ජනයක් විය හැකි සහ ඉක්මනින් ඇමරිකානු මව්බිමට ළඟා විය හැකි දිගු දුර මිසයිල නිපදවීම දිගටම කරගෙන යාමටත් උත්සාහ කළා.

මෙම පාලන තන්ත්‍රයට තමන්ගේ පණිවිඩය බෙදා හැරීමේ මාධ්‍යයක් ලෙස කවදා හෝ න්‍යෂ්ටික අවි ලැබුණොත් ඔවුන් කෙතරම් දරුණු වේවිද කියා මොහොතකට සිතන්න. මේ හේතු නිසා, එක්සත් ජනපද හමුදාව මෙම අතිශය දුෂ්ට, රැඩිකල් ඒකාධිපති පාලනයෙන් ඇමරිකාවට සහ අපගේ ජාතික ආරක්ෂක අවශ්‍යතාවලට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා දැවැන්ත හා අඛණ්ඩ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

අප ඔවුන්ගේ මිසයිල විනාශ කර ඔවුන්ගේ මිසයිල කර්මාන්තය පොළොවට සමතලා කරනවා. එය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇති. අපි ඔවුන්ගේ නාවික හමුදාව අතුගා දමනවා. කලාපයේ ත්‍රස්තවාදී ඒජන්තයින්ට තවදුරටත් කලාපය හෝ ලෝකය අස්ථාවර කිරීමට හෝ අපගේ හමුදාවන්ට පහර දීමට නොහැකි බවත්, දහස් ගණනක් මිනිසුන් සහ ඇමෙරිකානුවන් මරා දැමීමට ඔවුන්ගේ මාර්ග අසල බෝම්බ භාවිතා කිරීමට නොහැකි බවත් අප සහතික කරනවා.

තවද ඉරානයට න්‍යෂ්ටික අවියක් නොලැබෙන බව අපි සහතික කරනවා. එය ඉතා සරල පණිවිඩයක්. ඔවුන්ට කිසිදා න්‍යෂ්ටික අවියක් හිමි වන්නේ නැහැ. එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ ශක්තියට සහ බලයට අභියෝග නොකළ යුතු බව මෙම පාලන තන්ත්‍රය ඉක්මනින්ම ඉගෙන ගනු ඇති. මම මගේ පළමු පරිපාලන සමයේදී අපගේ හමුදාව යළි ගොඩනැඟුවා. එහි බලය, ශක්තිය හෝ තාක්ෂණයට ආසන්න වීමටවත් හැකි වෙනත් කිසිදු හමුදාවක් ලොව නැහැ.

කලාපයේ සිටින ඇමරිකානු සෙබළුන්ට ඇති අවදානම අවම කිරීමට මගේ පරිපාලනය හැකි සෑම පියවරක්ම ගෙන තිබෙනවා. එසේ වුවද—මම මේ ප්‍රකාශය සැහැල්ලුවෙන් කරන්නේ නැහැ—ඉරාන පාලන තන්ත්‍රය උත්සාහ කරන්නේ මිනී මැරීමටයි. ධෛර්ය සම්පන්න ඇමරිකානු වීරයන්ගේ ජීවිත අහිමි විය හැකියි, අපට හානි සිදුවිය හැකියි. යුද්ධයකදී එය සාමාන්‍ය දෙයක්. නමුත් අපි මෙය කරන්නේ දැන් වෙනුවෙන් නෙවෙයි, අපි මෙය කරන්නේ අනාගතය වෙනුවෙන්. මෙය උදාර මෙහෙයුමක්.

ඇමෙරිකානුවන්ට සහ අපගේ දරුවන්ට න්‍යෂ්ටික අවි සහිත ඉරානයකින් කිසිදා තර්ජනයක් නොවන බව සහතික කිරීම සඳහා තම ජීවිත අවදානමට ලක් කරන සෑම සෙබළකු වෙනුවෙන්ම අප යාච්ඤා කරනවා. අනතුරේ සිටින අපගේ සියලුම වීරයන් ආරක්ෂා කරන ලෙස අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටින අතර, ඔහුගේ උපකාරයෙන් අපේ හමුදාවේ පිරිමින් සහ කාන්තාවන් ජයග්‍රහණය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. අප සතුව ලොව හොඳම පිරිස සිටින අතර ඔවුන් ජය ගනු ඇති.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට, සන්නද්ධ හමුදාවන්ට සහ සියලුම පොලිස් නිලධාරීන්ට මම අද රාත්‍රියේ පවසන්නේ, ඔබ ඔබේ ආයුධ බිම තබා යටත් වෙන්න. ඔබට සමාව ලැබෙනවා. එසේ නොකරන්නේ නම්, ස්ථිර මරණයකට ඔබ මුහුණ දිය යුතුයි. ඒ නිසා ඔබේ ආයුධ බිම තබන්න.

අවසාන වශයෙන්, ඉරානයේ ශ්‍රේෂ්ඨ, ආඩම්බර ජනතාවට මම අද රාත්‍රියේ පවසන්නේ, ඔබේ නිදහසේ හෝරාව උදා වී ඇති බවයි. ආරක්ෂිතව සිටින්න. ඔබේ නිවසින් බැහැර නොවන්න. පිටත ඉතා අනතුරුදායකයි. හැමතැනම බෝම්බ පතිත වේවි. අපේ වැඩේ ඉවර වුණාම, ඔබේ රජය භාරගන්න. එය ලබාගැනීම ඔබට අයිතියි. මෙය බොහෝ විට පරම්පරා ගණනාවකට ඔබට ලැබෙන එකම අවස්ථාව වනු ඇතැයි මා විශ්වාස කරනවා.

වසර ගණනාවක් තිස්සේ ඔබ ඇමරිකාවේ උදව් ඉල්ලා සිටියත් එය ඔබට ලැබුණේ නැහැ. අද රාත්‍රියේ මම කිරීමට සූදානම් දේ කිරීමට කිසිදු ජනාධිපතිවරයෙකු කැමති වුණේ නැහැ. දැන් ඔබට අවශ්‍ය දේ ලබා දෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා, ඒ නිසා බලමු ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා.

ඇමරිකාව අතිමහත් ශක්තියකින් සහ විනාශකාරී බලයකින් ඔබට සහාය දෙනවා. ඔබේ ඉරණම පාලනය කිරීමටත්, ඔබට ළඟා විය හැකි සෞභාග්‍යමත් සහ තේජාන්විත අනාගතය මුදා හැරීමටත් දැන් කාලයයි. ක්‍රියාත්මක වීමට මොහොත මෙයයි. එය මඟ හැරීමට ඉඩ නොදෙන්න.

අල් ජසීරා ඇසුරිනි


Under the courtesy of lankadeepa.lk
sssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!