පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සංශෝධන රහිතව වැඩි ඡන්ද 152කින් පෙරේදා (17දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 154ක් ලැබුණු අතර කෙටුම්පතට විරුද්ධව ඡන්ද දෙකක් හිමිව තිබිණි. පනතට විරුද්ධව චාමර සම්පත් දසනායක (න.ප්‍ර.ජා.පෙ.) හා චානක මාදුගොඩ (ශ්‍රී.ල.පො.පෙ.) ඡන්ද ප්‍රකාශ කර තිබුණි. පනත් කෙටුම්පතට පක්‍ෂව ආණ්ඩු පක්‍ෂය සමග විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක හා රාමනාදන් අර්චුනා යන මහත්වරු ඡන්ද ප්‍රකාශ කළහ.
සමගි ජන බලවේගය, දෙමළ ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂයේ සෙසු මන්ත්‍රීවරු සභාගැබේ නොසිටියහ.
මේ අතර චාමර සම්පත් දසනායක මහතා කෙටුම්පතට සංශෝධනයක් ඉදිරිපත් කළ අතර එයට ආණ්ඩුව එකඟ නොවීම නිසා මන්ත්‍රීවරයා බෙදීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව සිදුකළ ඡන්ද විමසීමේදී සංශෝධනයට පක්‍ෂව ඡන්ද 4ක් හා ඊට විරුද්ධව ඡන්ද 152ක් ද ප්‍රකාශ වීම නිසා සංශෝධනය ඉවත් කෙරිණි.
මන්ත්‍රී රවි කරුණානායක මහතා සංශෝධන 3ක් ඉදිරිපත් කළ අතර ඊට ද ආණ්ඩුවේ එකඟතාව නොලැබුණි.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් සභානායක ඇමැති බිමල් රත්නායක මහතා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු හැර අනෙක් සියලුදෙනා ජනාධිපති විශ්‍රාම වැටුපට අමතරව මන්ත්‍රී විශ්‍රාම වැටුප් ද ලබාගත් බව කියා සිටියේය.
ඒ අනුව මහින්ද රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් ජනාධිපති විශ්‍රාම වැටුපට අමතරව මන්ත්‍රී විශ්‍රාම වැටුප පෙරේදා (17දා) දිනය දක්වා ලබාගත් බව ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප හේමා ප්‍රේමදාස මහත්මිය ලබාගන්නා බව ද කියා සිටියේය.
එහෙත් හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබා නොගත් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පත් නොවීම නිසා ජනාධිපති විශ්‍රාම වැටුප පමණක් ලබාගන්නා බව ද කීය.
ජනාධිපති විශ්‍රාම වැටුප අහෝසි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් සිදු කළ යුතු නිසා එය සංශෝධනය කරන අවස්ථාවකදී සිදුකරන බව ද ඇමැතිවරයා කීය.
Under the courtesy of ceylontoday.lk