අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබළු 22,000කට අධික පිරිසක් යොදා ඇතැයි රජය පවසයි.
ඒ අනුව, යුද හමුදා සෙබළු 20,000ක්, ගුවන් හමුදා සෙබළු 1,600ක් හා නාවික හමුදා සෙබළු 450කට අධික පිරිසක් වශයෙන් මෙම මෙහෙයුම් හා සහන කටයුතුවලට යොදා තිබේ.
ආපදා තත්ත්වය ගැන තොරතුරු වාර්තාවීම සමග ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ කමිටුව කැඳවා මෙම පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා පැවසීය.
ඒ, අද (නොවැ. 28) කොළඹ හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
මෑත කාලයේ හටගත් දරුණුම ආපදා තත්ත්වය වුවත් ආරක්ෂක හමුදා ඊට අවශ්‍ය පෙරසූදානමින් සිටි බැවින් විශාල පිරිසක් කෙටි කාලයකදී ගලවාගැනීමට හැකි වූ බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කළේ ය.
තව ද, ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ඒකාබද්ධව ක්‍රියාන්විත මැදිරියක් හමුදා මූලස්ථානයේ ස්ථාපිත කළ බව ත් සියලු විස්තර ලබාගෙන සහාය ලබා දීම් සිදුකරන්නේ එමගින් බව ත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ එහිදී පැවසීය.
ආරක්ෂක සේනා මූලස්ථානයකට දිස්ත්‍රික්ක හතරක් හෝ පහක් අයත් වන බව ත් එම දිස්ත්‍රික්කවලට සම්බන්ධීකරණ නිලධාරියකු පත්කර ඇති බව ත් ඔහු කීය.
ආපදාවලින් විපතට පත්වූවත් ගලවාගැනීමට හා ආහාර සැපයීම සඳහා යුද හමුදාවෙන් 20,000ක සෙබළ පිරිසක් යොදා ඇති බව ත් කී හෙතෙම ආසන්නතම හමුදා කඳවුරුවලින් ආරක්ෂිත මධ්‍යස්ථානවලට ආහාර සැපයීම සිදුකරන බව ත් පැවසීය.
ඇතැම් තැන්වලදී ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධ කරගැනීමේදී වූ අපහසුතා නිසා ගැටලු මතුවුවත් දුරකතන අංක අටක් යටතේ ක්‍රියාන්විත මැදිරිය ඇමතිය හැකි බව යුද හමුදාපතිවරයා පැවසීය.
ගුවන් හමුදාව 22 වන දා සිට ආපදාවට කල්තියා සූදානම් වී පලාලි, අනුරාධපුර, හිඟුරක්ගොඩ, පාලවි, රත්මලාන හා වීරවිල යන කඳවුරුවල හෙලිකොප්ටර් යානා 6ක් ස්ථානගත කළ නමුත් කාලගුණයේ දැඩි බලපෑම හේතුවෙන් 26 හා 27 යන දිනවලදී ඒවා භාවිත කිරීමට අපහසු වූ බව ගුවන් හමුදාපති එයාර් මාෂල් වී.බී එදිරිසිංහ එහිදී පැවසීය.
එහෙත් 28 වන දා වනවිට කාලගුණික තත්ත්වය අනුව හෙලිකොප්ටර් යානා භාවිත කිරීමට අවස්ථාව ලැබුණු බව ත් මුදාගැනීමේ කටයුතු සඳහා 1600ක භට පිරිසක් සූදානම් කර ඇති බව ත් ඔහු කීය.
නාවික හමුදාවේ සහන කණ්ඩායම් 141ක් සූදානම් කර ඇති බව ත් එයින් සෙබළු 100ක් අන්තර්ගත වන පරිදි කණ්ඩායම් 32ක් රට පුරා යොදා ඇති බවත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ පැවසීය.
ගංවතුර තර්ජන ඇති ස්ථාන හඳුනාගෙන කොටු වී සිටින පිරිස් මුදාගැනීම සඳහාත් ධීවරයන් මුදාගැනීමට හා ගමන් පහසුව සඳහාත් එම නාවික හමුදා කණ්ඩායම් කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
Under the courtesy of ceylontoday.lk