එක ම පවුලේ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් දසදෙනෙකුට එලෙස මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා එම නඩුවේ දසවන හා එකොළොස්වන විත්තිකරුවන් ලෙස නම් කොට තිබූ එම පවුලේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ද නියෝග කළේ ය.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී 2011-10-10 වන දා හෝ ඊට ආසන්න දිනකදී ඇඹිලිපිටිය මුල්ලගස්යාය ප්‍රදේශයේදී වීරසිංහ ආරච්චිලාගේ වර්ණ ධම්මික නයන කුමාර නමැති තරුණයා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් එකී විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ එම නඩුවේ තීන්දුව නිකුත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ, එකී විත්තිකරුවන් දසදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා තුනම පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇති බව ත් සෙසු විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව ත් ය.
ඝාතනයට ලක් වූ තරුණයා එම පවුලේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන තිබූ බව ත් පළමුවන විත්තිකරු එකී ප්‍රේම සම්බන්ධතාවය නවත්වන ලෙසට මරණකරුට දැඩිව අවවාද කොට තිබූ බව ත් පැමිණිල්ලෙන් කියැවිණි.
මේ අතර, එම අවවාදය නොතැකූ මරණකාර තරුණයා සිය පෙම්වතිය බැලීමට 2011-10-10 වන දා පස්වරුවේ ඇගේ නිවෙසට ගිය අවස්ථාවේදී පළමු වන විත්තිකාර පියා ඔහුව ග්‍රහණයට ගෙන පහර දී ඇති බව ත් ඒ අතරතුර සෙසු විත්තිකාරියන් හා විත්තිකරුවන් නවදෙනා ද මරණකරුට තියුණු ආයුධවලින් හා අතින් පයින් පහර දී ඇති බව ත් පැමිණිල්ලෙන් කියැවිණි.
අධිකරණය මඟහැර සිටි දස වන විත්තිකරු මෙන් ම කලක් අධිකරණය මඟහැර පසුව අධිකරණයට ඉදිරිපත් වූ 11 වන විත්තිකරුට එරෙහිව නඟා තිබූ චෝදනා 40කට අයුතු ජන රාශියක සාමාජිකයන් වීමේ චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කෙරිණි.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ මහේන් ද සිල්වා පැමිණිල්ල මෙහෙයවිය.
Under the courtesy of ceylontoday.lk
