බැංකු කාඩ්පතින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ඇරඹෙයි

0


“මොනතරම් හොඳ මාර්ග නීති පද්ධතියක් සැකසුවත්, අධිවේගී මාර්ග පද්ධති සැකසුවත්, මේ වනවිට අපිට මේ රටේ පවතින මාර්ග තදබදය අවම කරන්න බැරි තත්වයක් උදාවෙලා. ඒකට ප්‍රධානම හේතුව තමයි, පොදු ප්‍රවාහනය භාවිතය අභිබවා පෞද්ගලික ප්‍රවාහනය ඉහළට පැමිණීම. මේ තත්වය වෙනස් කරන්න පිට්ටනි වගේ පාරවල් හදන එකවත්, අධිවේගී මාර්ග හදන එකවත් නෙමෙයි අපි කළ යුත්තේ. පුළුවන් තරම් පොදු ප්‍රවාහනය දියුණු කළ යුතුයි. පොදු ප්‍රවාහනයේදී ජනතාව ගැටලු රාශියකට මුහුණ දෙනවා. බසයක ගමන් ගන්නවා කියන්නේම මගියාට මානසික වදයක් වන මට්ටමට අද පොදු ප්‍රවාහනය පත්වෙලා. පොදු ප්‍රවාහනයේ  විනයක් ඇති කරමින් මෙම ගැටලු වලට විසඳුම් සෙවිය යුතුයි. ඒ සඳහා එක් පියවරක් වශයෙන් තමයි අද මේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. මේ මගින් මගියාට බස් ගාස්තුව හැරුණවිට කිසිඳු අමතර මුදලක් වැය වන්නේ නැහැ” යැයි ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක අවධාරණය කරයි.

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් දක්වීය. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද (24) පෙරවරුවේ ආරම්භ වූ මෙම නියමු ව්‍යාපෘතිය, ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙහෙයවනු ලැබේ. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්, ලංකා බැංකුව, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ එච්.ඩී.එෆ්.සී. බැංකුව දායකත්වය සපයනු ලැබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක,

“සෑම රජයකම පාහේ එක් ප්‍රධාන අරමුණක් වුනේ පොදු ප්‍රවාහනය ශක්තමත් කිරීම. නමුත් මේ දක්වාම ඒ පරමාර්ථය නිසි පරිදි ඉෂ්ට වෙලා නැහැ. එන්න එන්නම පොදු ප්‍රවාහනය අවම මට්ටමකට පත්වෙලා, 2012 වර්ෂයෙන් පසු පුද්ගලික ප්‍රවාහනය විශාල වශයෙන් සංවර්ධනය උනා. මේ තත්තවය අපි වෙනස් කරලා, පොදු ප්‍රවාහනය දියුණු කල යුතුයි. අද ආරම්භ වූ මෙම කාඩි මගින් ගෙවීමේ ක්‍රමයට අනුගත වෙන්න ටික කාලයක් ගතවෙයි. අඩුපාඩු මතුවෙයි. නමුත් මෙම ක්‍රමය සාර්ථක කරගැනීමට අපි උත්සාහ ගතයුතුයි. අද මේ ආරම්භ වූ ව්‍යාපෘතිය අධිවේගී මාර්ග සදහා පමණක් සීමානොවී, සාමාන්‍ය බස්රථ සඳහාද යෙදවිය යුතුයි.

මෙම ක්‍රමය මගියාට මෙන්ම බස් හිමියන්ටද විශාල සහනයක්. මේ තුළින් ඔවුන්ගේ ලාභයේ වර්ධනයක් දැකීමට හැකිවේවි. බස් කර්මාන්තයේ  පැරණි ක්‍රමවේදයන් යටතේ පොදු ප්‍රවාහනයේ බැස්මට බලපෑ පිලිකා තවමත් මේ ක්ෂේත්‍රයේ තිබෙනවා. අපි ඒ පිළිකා සෛල විනාශ කල යුතුයි. බස් රථයක් විශාල මුදලක්. ඒ නිසා ලාභ ලබන්නේ නැතුව බස් රථ දුවන්න අපහසුයි. නමුත් ලාභයත් සමගින් ජනතාවට සේවයක් සැලසිය යුතුයි. ඒ වගේම ලාභ ලැබිය යුත්තේ විනයක් යටතේමයි” යැයි පැවසීය.

අද ආරම්භ වූ මෙම නියමු වයාපෘතියට සමාගමීව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින්  මාකුඹුර – මාතර, මාකුඹුර – බදුල්ල, මාකුඹුර – ගාල්ල, කොළඹ – අම්පාර යන මාර්ග සඳහා මෙම කාඩ්පත් ගෙවීම් ක්‍රමය ආරම්භ කරන ලද අතර බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය මගින් බොරැල්ල – කඩවත යන මාර්ග සඳහාද, ඌව පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය මගින් බදුල්ල – බණ්ඩාරවෙල, බදුල්ල – මහියංගනය, මොණරාගල – බිබිල සහ මොණරාගල – වැල්ලවාය යන මාර්ග සඳහාද මෙම ගෙවීම් ක්‍රමය යෙදවීම ආරම්භ කර ඇත.

තවද හෙට (25) දිනයේදී කොළඹ – වව්නියාව, කඩවත – මහරගම, මාකුඹුර- තංගල්ල, මාකුඹුර – අගුණකොලපැලැස්ස යන මාර්ග වෙනුවෙන්ද මෙම කාඩ්පත් ගෙවීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද පැවති මෙම නියමු ව්‍යාපෘතියට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අවන්ති සේනාරත්න මහත්මිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති, ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඇතුළු අදාළ ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහනට සමගාමීව, ධාවනයට ප්‍රථම  බස් රථවල අඩුපාඩු පරීක්ෂා කිරීමේ ජංගම සේවයක් සහ මත්ද්‍රව්‍ය භාවිතාකර ධාවනය කරනු ලබන රියදුරන් පරික්ෂා කිරීමේ ජංගම සේවයක්ද ආරම්භ කෙරිණි.

Under the courtesy of lankatruth.com







ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!