ඉදිරියේදී තද වැසි, ගංවතුර සහ නාය යාම් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති ප්‍රදේශ

0


දිවයිනේ පහළ වායු ගෝලයේ වර්ධනය වී ඇති කැළඹිලි තත්ත්වය හේතුවෙන්  ඉදිරි දිනවල වර්ෂාවේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, මෙම තත්ත්වය හෙට දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ය.

ඒ හේතුවෙන් අද දිනයේ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1:00න් පමණ පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව ඔහු පැවසීය.

අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඊට අමතරව උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සහ අනෙක් ප්‍රදේශවල ද මිලිමීටර් 75ක පමණ තද වැසි ද ඇති විය හැකි බව ය.

"වායු ගෝලයේ තියෙනවා පද්ධති දෙකක් නිර්මාණය වෙලා. එකක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින කැළඹිලි ස්වභාවය. මේ තත්ත්වය හෙට දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා.

ඊට අමතරව අන්දමන් දූපත් ආශ්‍රිතව තියෙන අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. මේ දෙකේ ම හැසිරීම මත තමයි ශ්‍රී ලංකාවේ ඉදිරි දිනවල කාලගුණ තත්ත්වයේ වෙනස් වීම තීරණය වෙන්නේ."

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස අධ්‍යක්ෂවරයා පැවසීය.

ගංවතුර අනතුරු ඇඟවීම්

ඉදිරි දිනවල ද වැසි අපේක්ෂා කරන බැවින් කඳු බෑවුම්වල, පහත් බිම්වල සහ ගංගා නිම්නවල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමණාකරණ) ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පවසයි.

ඔහු සඳහන් කළේ, ගත වුණු පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයෙන් බව ය.

ඊට අමතරව ගිරිඋල්ල, බඩල්ගම, පොල්ගහවෙල ප්‍රදේශවලට මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇතැයි ඔහු පැවසීය.

"බොහෝ ගංගාවල ජල මට්ටම් ඉහළ මට්ටම්වල තියෙන්නේ. අපි මේ වන විට මහ ඔය, නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟේ අත්තක් වන කුඩා ගඟ, ඒ වගේ ම ඇත්තනගලු ඔය සහ දැදුරු ඔය යන ගංගා ද්‍රෝණිවල පහත් බිම්වල ඉන්න ජනතාවට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරලා තියෙනවා ගංවතුර තත්ත්වයන් ගැන. මේ ගංගා ද්‍රෝණිවලට ඉදිරියේදීත් වර්ෂාපතනයක් ලැබීමේ අවදානමක් තියෙනවා," ඔහු ඉදිරි තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීය.

ඒ අනුව අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල (මරඳගොල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාසය) සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

ඊට අමතරව දැනට ගිං ගඟ ද්‍රෝණිය තුළ පවතින ගංවතුර තත්ත්වය පහළ ප්‍රදේශවලදී තවදුරටත් සුළු වශයෙන් වැඩි වෙමින් පවතින බැවින් ගංවතුරේ බලපෑම් ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තවදුරටත් වර්ධනය විය හැකි බවට ද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

තව ද අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා මීට පෙර නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ද තවත් පැය 24කින් දීර්ඝ කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

"පැවති වර්ෂාව නිසා පහත් බිම් බොහොමයක් යටවෙලා තියෙන්නේ. එම නිසා දැන් ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනයකදී පවා ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ප්‍රධාන ගංගා ද්‍රෝණි බොහොමයක ම මේ වන විට සමස්ත ද්‍රෝණියට ම වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා," ඉන්ජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පැවසීය.

ඔහු සඳහන් කළේ, මේ වන විට ප්‍රධාන ජලාශ 79න් 9ක් වාන් දමන තත්ත්වයට පැමිණ ඇති බව ය.

"විශේෂයෙන් ම, දැදුරු ඔය, රාජාංගනය ඒ වගේ ම තබ්බෝව වැනි ජලාශ සැලකිය යුතු ජල ප්‍රමාණයක් නිදහස් කරනවා. විශේෂයෙන් ම තත්පරයට ඝන අඩි 20,000කට ආසන්න ප්‍රමාණයක් දැදුරු ඔයෙන් නිදහස් කරනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම්

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ⁠බුලත්සිංහල, ⁠ඉංගිරිය, මාතර දිස්ත්‍රික්කයේ ⁠පිටබැද්දර, කොටපොළ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, පාතහේවාහැට, ගඟවට කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න, ඇලපාත, රත්නපුර, අයගම, බලන්ගොඩ, කලවාන, ⁠ඉඹුල්පෙ, කහවත්ත සහ නිවිතිගල යන ප්‍රදේශවලට දෙවන මට්ටමේ නාය යාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, නාය යාම් සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ය.

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, හල්දුම්මුල්ල කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හම්බන්තොට දිස්ත්‍රික්කය කටුවාන, කළුතර දිස්ත්‍රික්කයේ ⁠මතුගම, ⁠හොරණ, මහනුවර දිස්ත්‍රික්කයේ ⁠උඩුනුවර, උඩපළාත, ⁠තුම්පනේ, උඩුදුම්බර ගඟ ඉහළ කෝරළය, ⁠පස්බාගෙ කෝරළය, පාතදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ⁠රඹුක්කන, ⁠රුවන්වැල්ල, ⁠දැරණියගල, ⁠යටියන්තොට, ⁠ගලිගමුව, ⁠⁠අරණායක, ⁠කෑගල්ල, ⁠වරකාපොළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, ⁠මාවතගම, ⁠රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගග කෝරළය, රත්තොට, ⁠නාඋල, ⁠යටවත්ත, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, ⁠කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠කිරිඇල්ල, ⁠ඇඹිලිපිටිය, ඹ්පනායක සහ ⁠වැලිගෙපොළ යන ප්‍රදේශවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව නාය යාම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවිය යුතු බව ය.

Under the courtesy of bbc.com/sinhala
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!