පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට පෙර දින ඉදිරිපත් කළ විත්ති වාචකය සඳහා අළුතින් කරුණු එක් කිරීමට අවසර දීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළේය.
විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කිරීම විත්තිකරුවකුට හිමිවන විශේෂ වරප්‍රසාදයක් බවත් එම වරප්‍රසාදය භූක්ති විඳීමට විත්තිකරුට නැවත නැවත අවස්ථාව දීම නීතියට පටහැනි බව අධිකරණයේ මතය බවත් සඳහන් කරමින් විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා මහතා කළ ඉල්ලීමට අවසර දීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළේය.
කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාෂ කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙෂ රාජකාරිය පැහැරහර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණ සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම මඟින් මිනී මැරීම හා මනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 855ක් යටතේ පවරා ඇති නඩුව කැඳවු අවස්ථාවේදී අදාළ ඉල්ලීමට අවසර දීම ප්‍රතික්ෂේප කෙරිණී.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කෙරේ.
2019 අප්‍රේල් 07 වැනිදාත් 21 වැනිදාත් අතර කාලයේ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතු`ථ එහි සාමාජිකයින් පිරිසක් කොළඹ ඇතු`ථ නගරවල කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් හා විශ්වාෂ කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණ සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම මඟින් මිනී මැරීම හා මනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 855 ක් යටතේ නීතීපතිවරයා විසින් චෝදනා නඟා කිබිණී.
නඩුව සම්බන්ධයෙන් මීට පෙර පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කරමින් විත්ති වාචක නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන ලදී.
ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ලේ නියෝගයට එරෙහිව නීතීපතිවරයා ගොනු කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන් නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල දුන් නියෝගය ප්‍රතිශෝධනය කරමින් විත්තිකරුවන්ගෙන් විත්ති වාචක කැඳවීමට නියම කෙරිණී.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත නඩුව විභාග කිරීම යළි ආරම්භ කළ අවස්ථාවේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අධිකරණයේ පෙනී සිටියේය.
විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් සාක්කි දීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මීට පෙර අවස්ථාවක නිකුත් කළ සිතාසියකට අනුව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා කරුණු දක්වමින් විත්තිය වෙනුවෙන් සාකිකි දීම සඳහා කැඳවා සිටින නන්දන මුණසිංහ සහ වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගෙන් සාක්ෂි කැඳවීමට අපේක්ෂා නොකරන්නේ යැයි කීය.
පෙරදින තම සේවාදායකයා විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කළත් ඉදිරිපත් කළ යුතු කරුණු දෙකක් ඉදිරිපත් කිරීම ඔහුට මඟහැරී ඇතැයි කී නීතීඥ රොෂාන් දෙහිවල මහතා එම කරුණු ඉදිරිපත් කිරීමට තම සේවාදායකයාට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපතී නීතීඥ දිලීප පිරිස් මහතා විත්තියේ ඉල්ලීමට විරුද්ධව කරුණු දක්වමින් පෙර දින විත්තිකරු විත්ති කූඩුවේ සිට පැය තුනකට අධික කාලයක් සිය විත්ති වාචකය ඉදිරිපත් කළ බවත් සමහර කරුණු මඟහැරුණු බව කියමින් යළි කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ ලබාදීමට නීතියේ ප්‍රතිපාදනත් නොමැති බවත් එවැනි තත්වයක් තුළ මෙවැනි ඉල්ලීමකට ඉඩ දුනහොත් එය වැරදි පුර්වාදර්ශයක් වන බවත් පෙන්වා දුන්නේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවකු විත්ති කූඩුවේ සිට ප්‍රකාශය ඉදිරිපත් කිරීමට විශේෂ වරප්‍රසාදයක් හිමිවන බවත් විත්තිකරු එම වරප්‍රසාදය සම්පූර්ණයෙන්ම භුක්ති විඳ ඇති බවත් විත්තිකරුවකු විත්ති කූඩුවේ සිට එම විශේෂ වරප්‍රසාදය භුක්ති විඳින විට ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට පැමිණිල්ලට අවස්ථාවක් නොලැබෙන බවත් පෙන්වා දුන්නේය.
එවැනි තත්ත්වයක් තුළ අදාළ වරප්‍රසාදය භූක්ති විඳීමට විත්තිකරුට යළි යළිත් අවස්ථාව සලසා දීම නීතියට පටහැනි බව අධිකරණයේ මතය බව සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තියේ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළේය.
විත්තිකාර හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා කරුණු දක්වමින් විත්තිය වෙනුවෙන් තවත් සාක්කි කැඳවීමට තමන් අපේක්ෂා නොකරන්නේ යැයි දැනුම් දෙමින් විත්ති වාචක ඉදිරිපත් කිරීම අවසන් කළේය.
මැයි මස 22 වනදා නඩුව යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින පැමිණීල්ලේ හා විත්තියේ නීතීඥ දේශන ඉදිරිපත් කිරීමට දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.
Under the courtesy of lankadeepa.lk
