වයස අවුරුදු හැට ඉක්ම වූ වැඩිහිටියන් 10,535ක් මේ වන විට වැඩිහිටි නිවාසවල දිවිගෙවන බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
වාර්තාගත වී ඇති පරිදි මව්වරුන් 6,869ක් සහ පියවරුන් 3,666ක් එලෙස වැඩිහිටි නිවාසවල දිවි ගෙවන බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් “ඉරිදා මව්බිම”ට පැවසීය.
දිවසින පුරා වැඩිහිටි නිවාස 456ක් තිබෙන නමුත් වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි නිවාස සංඛ්‍යාව 143ක් පමණක් බව ඔහු කීවේය.
වැඩිහිටියන් පස් දෙනෙකුට වඩා නේවාසිකව සත්කාර සපයන ආයතන වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි විය යුතු බව අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ ය.
මේ අතර, ලියාපදිංචි නොවන වැඩිහිටි නිවාස, සත්කාර මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිශ්චිත නොවන බැවින් වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමටත් ඒ අනුව යමින් වැඩිහිටි නිවාස ලියාපදිංචිය හා නියාමනය සඳහා නව රෙගුලාසි හා නියෝග නිකුත් කිරීමටත් කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් මෙසේ ද කීවේය.
“වැඩිහිටි නිවාසගත වීමෙන් ගොඩක් ම මව්වරු පීඩාවට පත් වෙනවා. ඇත්තෙන් ම වැඩිහිටි නිවාසවල මව්වරු තමයි වැඩිපුර ම ඉන්නේ. ක්ෂේත්‍රයේ අත්දැකීම් එක්ක හරිම සංවේදී කාරණයක් තමයි එවැනි තත්ත්ව දකින්නට ලැබීම. දරුවන් විදේශගත වීම, විවිධ රාජකාරි බහුලත්වය වැනි කරුණුත් එක්ක මවුපියන් හුදෙකලා වෙලා. සමහරු ඇත්තටම නොසලකා හරිනවා නොවෙයි. මේ සිද්ධි අභ්‍යන්තර පසුබිම බැලුවම එක් අයකුට වරද පටවන්න බැහැ. මෙය අතිශය සංකීර්ණ තත්ත්වයක්. ඉතින් නීතිමය පැත්තට වඩා සදාචාරාත්මක පැත්තෙන් හැදෙන්න ඕනෑ. ඒ සඳහා විශේෂයෙන් ආගමික සංස්ථාවට විශේෂ වැඩ කොටසක් තියෙනවා.”
රවිශාන් ප්‍රනාන්දු
Under the courtesy of ceylontoday.lk