සිය බිරිඳ වන නිරෝධා නිවුන්හැල්ල බ්‍රිතාන්‍යයේදී පිහියකින් ඇන ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි ඇගේ සැමියා වන 37 හැවිරිදි තිසර වේරගලගේ නමැත්තාට බි්‍රතාන්‍ය අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
නිරෝධා හෙවත් නිවුන්හැල්ලගේ දෝන නිරෝධා නිවුන්හැල්ල ලෙස හැඳින්වෙන, වයස අවුරුදු 32 ක පසු වූ මෙම කාන්තාව 2025 අගෝස්තු 21 වැනිදා කාඩිෆ්හි රිවර්සයිඩ්හි දකුණු මෝගන් පෙදෙසේ රථ ගාලකදී පිහි ඇනුමකට ලක්ව මියගියාය. පෙන්ට්වින්හි වෙසෙන ඇගේ සැමියා වූ තිසර වේරගලගේ මාස ගණනාවක් ඇගෙන් වෙන්ව සිට ඇත. ඔහු මීට පෙර මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් ජනවාරි මාසයේ නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණයේ පැවති නඩු විභාගයකදී වරද පිළිගත්තේ ය. කාඩිෆ් ක්‍රවුන් උසාවියේදී වේරගලගේ ට දඬුවම් නියම කරමින් විනිසුරු ඩැනියෙල් විලියම්ස් පැවසුවේ ඔහුගේ ‘කුරිරු ආත්මාර්ථකාමීත්වය’ නිරෝධාගේ ජීවිත කාලය කෙටි කළ බව ය.
මාස ගණනාවක් තිස්සේ මෙම යුවළ වෙන්ව සිටි බව අධිකරණයට වාර්තා වූ නමුත් ප්‍රහාරය සිදුවූ දින උදෑසන තිසර වේරගලගේ සිය බිරිඳ වෙසෙන නිවස අසල රථගාලට ගොස් තිබුණේ නිරෝධා එහි සිටින බව දැනගෙන ය. සෙන්ටිමීටර 15ක් පමණ දිගින් යුතු මුළුතැන්ගෙහි භාවිතයට ගන්නා පිහියකින් ඇයට පහර දී තිබූ අතර ඇගේ මුහුණ, බෙල්ල, පපුව, අත සහ කකුලට දරුණු තුවාල සිදුවී තිබිණි. රථ ගාලේ නවතා තිබූ මෝටර් රථ දෙකක් අතර නිරෝධා මියගොස් සිටියදී සිරුර සොයා ගන්නා ලදි. ඝාතනයෙන් පසු නොසන්සුන්කාරී තත්ත්වයෙන් එම ස්ථානයෙන් යමින් සිටි තිසර ලොරි රථයක ගැටී තිබිණි. පසුව හෙතෙම පොලිස් අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිසියට පවසා තිබුණේ බිරිඳ තමාගෙන් වෙන්ව තවත් කෙනෙකු සමග ජීවත් වූ බව ය.
Under the courtesy of divaina.lk