අයියගෙ දුවගෙ කොටහළු මඟුලට වියදම් කරන්න කරන්දෙණියේ සුද්දගෙන් ණයට ඉල්ල ගත්ත රුපියල් ලක්ෂ 2ට හිලව් වෙන්න තමයි ලෝයර්වයි එයාගෙ නෝනවයි මරන කොන්ත්‍රාත් එක භාර ගත්තේ යැයි අකුරේගොඩ ප්‍රහාරයේ ප්‍රධාන කුලී ඝාතකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කර ඇත.
ප්‍රහාරයට පෙර වියදම් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් කරන්දෙණියේ සුද්දා විසින් මෙම කුලී ඝාතකයා වෙත ලබාදී ඇති බවද ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වී තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කළ දින (13 වැනිදා) උදෑසන වනතුරුම තමන් ඝාතනය කරන්න යන්නේ කවුරුන් දැයි නොදැන සිටි බවද මෙම සැකකරු පාපොච්චාරණය කර ඇත. කරන්දෙණියේ සුද්දා සමග දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මිතුදම නිසාත් ඔහු විවිධ අවස්ථාවලදී තමන්ට උදව් උපකාර කළ නිසාත් කෘතගුණ සැලකීමක් ලෙස මෙම ප්‍රහාරයට තමන් සම්බන්ධ වූ බව ද සැකකරු පාපෝච්චාරණය කර තිබේ.
ප්‍රහාරයට පෙර කරන්දෙණියේ සුද්දා තමන් සමග නිතරම ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ බව ද සැකකරු ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු යුද හමුදා සේවයේ යෙදී සිටියදී අවි ආයුධ පරිහරණයට අති දක්ෂයකු බව ද පොලිසිය හෙළිකරගෙන තිබේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සහ ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරු ඔස්සේ සිදු කළ විමර්ශනවලදී මොහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට හැකි විය.
ඒ අනුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව කළ වැටලීමකදී මෙම කුලී ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ දෙල්දුව ප්‍රදේශයේ ඔහුගේ සොහොයුරකුට අයත් නිවෙසක සැඟවී සිටියදීය.
ඝාතනයෙන් පසු මොහු ස්ථාන කීපයක සැඟවී සිටි අතර අවසානයේ අම්බලන්ගොඩ දෙල්දුව පිහිටි සිය සොහොයුරකුගේ නිවසේ සැඟවී සිට ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පාතාල කුලී ඝාතකයා 46 වැනි වියේ පසුවන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කලක් යුද හමුදාවේ සේවය කර ඇති මොහු පසුව ඉන් පලාගොස් ඇත.
2009 වර්ෂයේ යුද හමුදාව ලබාදුන් පොදු සමාව යටතේ මොහු නීත්‍යනුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්වී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙම කුලී ඝාතකයා තවත් මිනිස් ඝාතන කීපයකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇත.
මෙම කුලී ඝාතකයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මොහු කරන්දෙණියේ සුද්දා සමග එකට යුද හමුදාවේ සේවය කර ඇති බවයි. යුද හමුදා සේවයෙන් ඉවත්වීමෙන් පසු මොහු ස්ථිර රැකියාවක් කර නැත.
කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් මොහු මීට පෙර බන්ධනාගාරගතව සිට ඇත. ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටි මෙම කුලී ඝාතකයා වෙනුවෙන් ඇප තැන්පත් කර ඔහු බේරා ගැනීමට කටයුතු කර ඇත්තේ ද කරන්දෙණියේ සුද්දා විසිනි. ඉන්පසුව මොහු දිගින් දිගටම කරන්දෙණියේ සුද්දා සමග කටයුතු කර ඇත. අවස්ථා ගණනාවකදීම සුද්දා විසින් මොහුට මුදල් ලබාදී තිබේ.
මීට මාසයකට පමණ උඩදී ද සුද්දා මෙම කුලී ඝාතකයාට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාදී තිබිණි. ඒ අතර මෙම නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය කිරීමේ සැලසුම කරන්දෙණියේ සුද්දා විසින් මෙම කුලී ඝාතකයාට භාරදී තිබේ.
ඇප තැන්පත් කර තමන් බන්ධනාගාරයෙන් බේරාගැනීමට කෘතගුණ සැලකීමක් වශයෙන් නීතිඥවරයා මරා දැමීමේ සැලසුමට මොහු එකඟ වී ඇත. මෙම ප්‍රහාරය එල්ල කිරීමට පෙර සුද්දා විසින් මොහුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති අතර ප්‍රහාරයෙන් පසුව තවත් මුදල් ලබාදීමට පොරොන්දු වී ඇත.
නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය කිරීම සඳහා මොහු සමග තවත් කුලී ඝාතකයකු පැමිණ සිටිය ද මොවුන් දෙදෙනා එකිනෙකා නොහඳුනන බව විමර්ශනවලින් හෙළි විය.
ප්‍රහාරය එල්ල කිරීමට පෙර දින මෙම කුලී ඝාතකයා සහ අනෙක් කුලී ඝාතකයා පන්නිපිටියේ සහ මොරකැටියේ නවාතැන්පළවල් දෙකක නතර කිරීමට සුද්දාගේ ගෝලයකු කටයුතු කර තිබිණි.
ටී 56 අවියෙන් වෙඩි තැබූ මෙම කුලී ඝාතකයා පන්නිපිටියේ නවාතැන්පළේ නතර වූ අතර පිස්තෝල අවියෙන් වෙඩි තැබූ අනෙක් පුද්ගලයා මොරකැටියේ නවාතැන්පළේ නතර කර සිටියේය.
මෙම ප්‍රහාරය එල්ල වූ 13 වැනිදා මොවුන් දෙදෙනාම කැඳවාගෙන අකුරේගොඩට ගෙන ගොස් ඇත්තේ පෙර දින ඔවුන් නවාතැන්පළ වෙත රැගෙන ආ පුද්ගලයා විසින්ය.
අකුරේගොඩ සුපිරි වෙළෙඳසල ඉදිරිපිටදී නීතිඥවරයාට සහ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු කුලී ඝාතකයන් දෙදෙනා මෝටර් රථයේ නැඟී කොට්ටාව ප්‍රදේශයට ගොස් ඇත.
එහිදී මෝටර් රථයෙන් බැසගත් කුලී ඝාතකයන් වෙන් වෙන් වශයෙන් ගමන් කර තිබේ. ටී 56 අවියෙන් වෙඩි තැබූ මෙම ඝාතකයා කොට්ටාවෙන් දෙහිවල බස් රථයකට නැඟ එහි ගොස් තිබේ.
දෙහිවලින් ගාලු පාර ඔස්සේ අම්බලන්ගොඩ ප්‍රදේශයට ගොස් ඇති මෙම කුලී ඝාතකයා එහිදී ඔහුගේ සොහොයුරකුගේ නිවසේ නවාතැන්ගෙන තිබේ.
දින කීපයක් මොහු කුකුළු ගොවිපළක සහ කුරුඳු ඉඩමක දවසේ කුලියට රැකියාව කර ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරය එල්ල කළ අනෙක් සැකකරු සොයා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. රූබන් සුරේෂ් නමැති එම සැකකරු ද යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකි.
මොහු මේ වනවිට මිනිස් ඝාතන 10කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරයි. පසුගියදා පොලිසිය විසින් මාධ්‍ය වෙත ලබාදී තිබුණේ එම කුලී ඝාතකයාගේ ඡායාරූපයක් ය.
මේ අතර මෙම කුලී ඝාතකයන් දෛනා ප්‍රහාරය එල්ල කළ ස්ථානයට රැගෙන ආ මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා හොර රහසේම තායිලන්තයට පලාගොස් ඇති බව විමර්ශනවලින් හෙළි විය.
මොහු තායිලන්තයට පලා යෑමට පැමිණි මෝටර් රථය සහ කුලී ඝාතකයන් නවාතැන් පළවල් වෙත රැගෙන යෑමට යොදා ගත් මෝටර් රථය ද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත.
Under the courtesy of divaina.lk