අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ – මහනුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
එම මාර්ගයේ බෑවුම් ප්‍රදේශයේ අවදානම් ගල් කඩා දැමීමෙන් අනතුරුව මාර්ගය විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එම සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන ක්ෂේත්‍ර භූ විද්‍යාඥ නිමානී වීරසිංහ “මව්බිම”ට පැවසීය.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් මාර්ගයේ කොටසක් හෝ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව ත් කොන්ත්‍රාත්කරුවන් පැවැසූ පරිදි දිනකින් හෝ දින එකහමාරකින් ගල් කඩා දැමීමට හැකි වනු ඇති බව ත් ඇය කීවාය.
මේ අතර, බෑවුම් වැඩි ප්‍රදේශයේ මඟ නතර වී ඇති ගල් හේතුවෙන් අවදානම් තත්ත්වය තවදුරට ත් පවතින බව දිස්ත්‍රික් ප්‍රධාන ක්ෂේත්‍ර භූ විද්‍යාඥ නිමානී වීරසිංහ කීවාය.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය නැරැඹීම සඳහා සාමාන්‍ය මහජනතාව පැමිණීමෙන් වැළකී සිටින ලෙස භූ විද්‍යාඥවරිය ඉල්ලීමක් කළා ය.
පහළට වැටී ඇති ගල මෙන් තවත් ගලක් සහ ඊට ආසන්නයේ තවත් ගල් හතරක් ද කුඩා ගල් කිහිපයක් ඉවත් කිරීම සඳහා මේ වන විට සැලසුම් කර ඇති බව ඇය අවධාරණය කළා ය.
මේ අතර, ඉහළ තිබෙන විශාල ගලින් නැවත කොටස් කැඩී පහළට ඒමට හැකි බව ත් එය කඩා අයින් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින නිසා සවිස්තර අධ්‍යයනයක් කර ඊට ගැළපෙන ක්‍රමවේදයක් සැකසිය යුතු බව ත් ඇය කීවාය.
ඒ අනුව, බෑවුමේ මඟ රැඳී ඇති ගල් අයින් කිරීමෙන් අවදානම අඩු කර ගත හැකි බව ත් එවිට මාර්ගයේ එක් පැත්තක් වාහන ධාවනයට විවෘත කිරීමට හැකිවනු ඇති බව ත් භූ විද්‍යාඥවරිය ප්‍රකාශ කළා ය.
සැලසුම් කළ පරිදි මෙය කඩිනම් කරන බව ත් වැසි තත්ත්වය සමග එයට ද බලපෑම් විය හැකි බව ත් ඇය කීවාය.
කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන ක්ෂේත්‍ර භූ විද්‍යාඥ නිමානී වීරසිංහ මෙසේ ද කීවාය.
“උඩ තිබෙන ගලින් නැවත කොටස් කැඩිලා එන්න පුළුවන්. ඒක කඩලා අයින් කරන්න බෑ. ඊට එහා ස්ථාවර ක්‍රමවේදයකට යන්න වෙනවා. සවිස්තර අධ්‍යයනයක් කර ගැළපෙන ක්‍රමයක් යොදන්න වෙන්නේ. සැලසුමක් කරන්න ඕනෑ. දැනට හදිස්සියේ අවදානම් ගල් ඉවත් කරන්න යෝජනා කළේ.
බෑවුමේ මැද රැඳිලා තියෙන ගල් අයින් කළොත් අවදානම ටිකක් අඩු වෙනවා. එතකොට එක පැත්තක් විතරක් හරි වාහන ධාවනයට විවෘත කරන්න පුළුවන්. ඉතින් වැස්ස එක්ක සැලසුම් කිරීම වෙනස් වෙන්න පුළුවන්. මහජනතාවගෙන් ඉල්ලන්නේ මේ අවදානම් ප්‍රදේශ බලන්න එන්න එපා. අස්ථාවර ස්ථානයක් නිසා මාර්ගයේ ගමනාගමනයට ලොකු අපහසුතාවක් වුණා. ඒ ගැන අපි කනගාටු වෙනවා. විශේෂයෙන් ඉල්ලන්නේ වර්ෂා අවස්ථාවලදී ඉහළ බෑවුම පිළිබඳව සැලකිලිමත් වෙන්න. අවදානම් ප්‍රදේශ මඟහරින්න.”
Under the courtesy of ceylontoday.lk