සිසුවියකට මත්පැන් පානය කිරීමට උදව් කළ බව කියන තරුණ උපකාරක පන්ති ගුරුවරයකු පැල්මඩුල්ල නගරයේ දී නගරවාසින් විසින් අල්ලා පහර දෙන විට එම ප්‍රහාරයෙන් ඔහු මුදගෙන සැකකරු පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. උසස් පෙළ මාධ්‍ය හා සන්නිවේදන උපකාරක පන්ති ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වෙද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකරවන බවත් සිසුවිය කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.
පැල්මඩුල්ල ඔරලෝසු කණුව ආසන්නයේ දී සිසුවියක අපහසුවකින් පාරේ ගමන් කරනු දුටු නගරවාසීන් පිරිසක් ඒ ගැන විමසිලිමත් වීමේදී ඇය මත්ව සිටි බව හඳුනාගෙන තිබේ.
පෙරේදා 26 උදෑසන මොටර්රථයකින් මෙම සිසුවිය බැස යනු පැල්මඩුල්ල ඔරලෝසු කණුව මංසන්ධියේ සිටි පිරිසක් දැක තිබේ. ඇයගේ හැසිරීම් ගැන සැකසිතූ නගරවාසීන් පිරිස ඇය අසලට ගොස් කරුණු විමසීමේ දී සිසුවිය බීමත්ව සිටින බවට තේරුම් ගොස් තිබේ.
ඒ අවස්ථාවේ දී මෝටර්රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයාගේ රථය නවත්වා කරුණු විමසන විට ඔහු ද බීමතින් සිටින බව හඳුනාගත් නිසා නගරවාසීන් කිහිපදෙනකු ඔහුට පහරදී ඇතැයි පොලිසිය පවසයි. මෙම දෙදෙනා රත්නපුර බලන්ගොඩ මාර්ගයේ දී මෝටර් රථය තුළ සිටිනු ගම්වාසීන් දැක ඇතැයි ද පොලිසිය පවසයි.
උපකාරක පන්ති ගුරුවරයා නගරවාසීන්ගෙන් බේරීමට උපකාරක පන්ති පවත්වන ගොඩනැගිල්ලේ ඉහළ මහලයට දිව ගොස් ඇත. පැල්මඩුල්ල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පැමිණ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. උපකාරක පන්ති ගුරුවරයා එම ගොඩනැගිල්ලේ සිට බිමට පැනීමට උත්සහා දරා ඇතැයි ද පොලිසිය පවසයි. තමා වරදක් නොකළ බවත් තමාගෙන් ඉගෙනුම ලබන සිසුවියකගේ මානසික අසරණ වීමකදී පිහිටවීමට උත්සහා ගත් බවත් නීති විරෝධී කිසිවක් සිදු නොකළ බවත් ගුරුවරයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
මත්පැන් වර්ගයක බෝතලයක භාගයක් ගුරුවරයා හා සිසුවිය විසින් උදෑසනම පානය කර ඇතැයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ. සිසුවියට බලහත්කාරයෙන් මත්පැන් පානය කිරීමට දුන්නේදැයි සොයා බලන බව පොලිසිය පවසයි. 19 හැවිරිදි සිසුවිය පැල්මඩුල්ල නගරයේ උපකාරක පන්තියකට එන බව කියා උදෑසන හතට පමණ නිවසින් පැමිණි බවත් තම දියණිය රවටා ඇයට මත්වතුර ලබාදී ඇතැයි සිසුවියගේ පියා පැල්මඩුල්ල පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් පොලිසිය කියයි. උපකාරක පන්ති ගුරුවරයා පැල්මඩුල්ල පොලිසියට රැගෙන ආ අවස්ථාවේ දී නගරවාසින් පිරිසක් පොලිසියට පැමිණ සිටි අතර මෙවැනි ගුරුවරුන්ගෙන් දරුවන් බේරා ගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
සැකකරුගේ ටියුෂන් පන්තිය මෙදින පැවත්වීමට නියමිතව තිබූ අතර අදාළ සිසුවිය ද ඊට සහභාගි වීමට පැමිණ තිබේ.
පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර සැකකරු පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.