ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම එක්ව පවත්වාගෙන යනු ලබන ඔන්ලයින් ආසන වෙන් කිරීමේ ක්‍රියාවලියේදී දුම්රිය ටිකට් පත් දෙකක් වැඩි මුදලකට විදේශීය ජාතිකයන් දෙදෙනෙකුට වංචනික ලෙස විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංචාරක මග පෙන්වන්නෙකු ඇප මත මුදා හැර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (ජන. 27) මෙම නියෝගය ලබා දී ඇත.කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු එසේ ඇප මත මුදා හැරීමට නියම කෙරුණි.
මහනුවර කොට්ඨාස අපරාධ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමෙන් අනතුරුව අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ත් ඔවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ත් ය.
කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම සිද්ධියේ සිව්වන සැකකරු වන බව ත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ටිකට් පත් දෙකක් රුපියල් 27,000 බැගින් විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට විකිණීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වීය.
කිසියම් පිරිසක් එම දුම්රිය ටිකට් පත් ක්ෂණිකව මිල දී ගෙන ඒවා වෙනත් පුද්ගලයන් වෙත වැඩි මිලකට විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව මහනුවර කොට්ඨාශ අපරාධ කාර්යාංශය සිව්වන සැකකරුවා අත්අඩංගුවට ගෙන තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ, දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග එක්ව ඔන්ලයින් මාර්ගයෙන් ටිකට් පත් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ය.
ඒ අනුව, ඔන්ලයින් මාර්ගයෙන් නිකුත් කරන ටිකට් පත් කෙටි වේලාවක් තුළ කිසියම් පිරිසක් විසින් ක්ෂණිකව ලබාගෙන ඒවා වෙනත් පුද්ගලයන් වෙත වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කරන බව ද එම නිලධාරින් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සැකකාර පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය එසේ ඇප නියම විය.
සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ පෙනී සිටියේය.
Under the courtesy of ceylontoday.lk