පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නව කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන්, ප්‍රති – ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත මෙම කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2021-05-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එහෙත්, එම නිර්දේශයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමානුකූල, විධිමත් සහ ස්ථාවර ක්‍රමවේදයක් මෙතෙක් ස්ථාපිත වී නොමැති වීම හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීමට දැනට ක්‍රමවේදයක් නොමැති බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.
ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
Under the courtesy of ceylontoday.lk
