ඉන්දියාව අවසන් පූර්ව වටයට

0

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කොටස යටතේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (1 වැනිදා) පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් විය. එහිදී ලැබූ පරාජය හේතුවෙන් කොදෙව් පිලේ අවසන් පූර්ව වටයට පිවිසීම කෙරෙහි තබා තිබූ බලාපෙරොත්තු සුනුවිසුණු වී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 196 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවෝ කඩුලු 5 ක් දැවී පන්දු 4 ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසුකර ගියහ. ඉන්දීය කණ්ඩායමක් විස්සයි-20 තරගාවලියක අවසන් පූර්ව වටයයට පිවිසි 6 වැනි අවස්ථාව මෙය විය. ඔවුන්ට අමතරව මෙවර පාකිස්ථානය සහ එංගලන්තයද අවසන් පූර්ව වටයට පිවිස ඇත්තේ 6 වැනි වරටය. ආරම්භක පිතිකරු සංජු සැම්සන් පන්දු 50 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 97 ක් රැස්කරමින් ඉන්දීය ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

සැම්සන්ගේ මෙම ඉනිම ඉන්දීය පිතිකරුවකු විස්සයි-20 ‍ලෝක කුසලාන රැස්කළ දෙවැනි හොඳම ඉනිමද විය. ලකුණු 41 කට කඩුලු 2 ක් දැවී තිබියදී නායක සූර්යකුමාර් යාදව් (18) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 35 කදී ලකුණු 58 ක් එක්කිරීමටද සැම්සන් සමත් විය. පන්දු 16 කදී වාර්තා වූ යාදව්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් සමන්විත විය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ තිලක් වර්මා පන්දු 15 කදී ලකුණු 27 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 195 ක් ලබාගත්තේය. ලකුණු 119 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී, පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 76 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ ජේසන් හෝල්ඩර් (නොදැවී 37) සහ රෝමන් පවෙල් (නොදැවී 34) කොදෙව් කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබූහ. එහිදී පවෙල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින්ද, හෝල්ඩර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින්ද ලකුණු රැස්කළහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 68 සම්බන්ධතාවක් ගොඩනැගූ ශායි හෝප් (32) සහ රොස්ටන් චේස් (40) කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 33 කදී වාර්තා වූ හෝප්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 25 කදී වාර්තා වූ චේස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින්ද සමන්විත විය. ශිම්රන් හෙට්මෙයර් පන්දු 12 කින් ලකුණු 27 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.

Under the courtesy of kelimandala.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!