නිමාවට පත්වූ එංගලන්ත තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ක්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනු දැකිය හැකි ය.
මහනුවර, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ ක්‍රීඩා කළ විස්සයි 20 තරග 03 ම පරාජයට පත්විය.
එංගලන්තය සමග පැවති අවසන් විස්සයි 20 තරගය ජයග්‍රහණය කිරීමට තිබු අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහි යාමට පිතිකරුවන්ගේ නොසැලකිලිමත්භාවය ද හේතුවක් වූ බව බොහෝ දෙනෙකුගේ මතය විය.
ඊට අමතරව, දසුන් ශානකගේ පිතිකරණය සහ නායකත්වය ද දැඩි විවේචනයට ලක්විය.
උරණ වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්
එංගලන්ත තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැදගත් වූයේ, පෙබරවාරි 07 වන දා ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලබා ගැනීමට තිබූ අවසන් තරගාවලිය හේතුවෙනි.
කෙසේ වෙතත් එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 03කට සහ විස්සයි 20 තරග 03ක් ක්‍රීඩා කළ ද, ඉන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ එක් එක්දින තරගයක් පමණි.
අවසන් විස්සයි 20 තරගයේදී එංගලන්ත කණ්ඩායම ලබා දුන් ලකුණු 128ක පහසු ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 116කට දැවී ගිය අතර, එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් 06 දෙනෙකු ලකුණු 10 ඉක්මවා රැස් කිරීමට අසමත් නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගට ම පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී විස්සයි 20 තරගාවලියේදී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වුයේ දැඩි විරෝධතාවකි.
බොහෝ ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය විරෝධය එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඇතැම් ප්‍රේක්ෂකයින් පැවසුවේ, තමන් වවුනියාව, පොළොන්නරුව වැනි දුර බැහැර ප්‍රදේශවල සිට තරග නැරඹීමට පැමිණිය ද එකදු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකිවීම පිළිබඳව දැඩි ලෙස කනගාටු වන බව ය.
ඇතැම් ප්‍රේක්ෂකයින් වත්මන් ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාසය පිළිබඳව චෝදනා කරමින් පැවසුවේ, ක්‍රීඩා පිටියේ නිසි ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි නම් එවැනි ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කර වෙනත් ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දිය යුතු බව ය.
ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින්, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයට නොයා යුතු බවට ද යෝජනා කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේ, එංගලන්ත තරග සංචාරය සම්බන්ධයෙන් දැන් කතා කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ය.
"අපි ඉංග්ලන්ඩ් ටුවර් එක ගැන මොනවා කතා කළත් දැන් කිසි ම තේරුමක් නැහැ. දැන් මේ ටීම් එකේ ඉන්න ඔක්කොම අය දන්නවා ඒගොල්ලන්ගේ තියෙන අඩුපාඩු. අපිට පේන විදිහට එයාලට තියෙන ලොකු ම අඩුපාඩුව තමයි ස්පින් එකට ගහන එක. ස්පින් එකට සෙල්ලම් කරද්දී එයාලා ගොඩක් ස්ට්‍රගල් කළා. දසුන් පවා කිව්වා ඒ ප්‍රශ්නය ගැන එයාලා අවධානය යොමු කරනවා කියලා. අපි මෙතන ඔළුවෙන් හිටගෙන කෑගැහුවත් දැන් ඒකට කරන්න දෙයක් නැහැ," ඔහු පැවසුවේ ය.
ගතවූ වසර 2 තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වා ඇති දක්ෂතා
ශ්‍රී ලංකා කණ්ඩායමට 2024 T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ම ඉවත් වීමට සිදු විය. එම T20 ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම තමන් මුහුණ දුන් තරග තුනෙන් දෙකක් පරාජයට පත්වූ අතර එක් තරගයක් වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු විය.
2024 ලෝක කුසලානයෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ගතවූ වසර 02 තුළදී විස්සයි 20 තරග 34කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයග්‍රහණය කර ඇත්තේ, තරග 13ක් පමණි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම, ආසියානු කුසලාන තරගාවලිය මෙන් ම පකිස්ථානයේදී පැවති තුන්කොන් විස්සයි 20 තරගාවලිය ඇතුළු විස්සයි 20 තරගාවලි 12කට සහභාගී වී ඇති අතර ඉන් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ තරගාවලි 02ක් පමණි.
බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග පැවති විස්සයි 20 තරගාවලි දෙක පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම ගතවූ වසර දෙක තුළදී ජයග්‍රහණය කර තිබේ.
'ඔළුව හදාගෙන වර්ල්ඩ් කප් එකට ලෑස්ති වෙන්න ඕන'
එංගලන්ත තරග සංචාරයේදී ලැබූ අත්දැකීම් අමතක කර ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ඇති තරග සඳහා හොදින් සූදානම් විය යුතු බව ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසයි.
"මම දකින්නේ ඔළුව හදාගෙන එංගලන්තයට පැරදිච්ච එක අමතක කරලා ලෝක කුසලානයට අවධානය යොමු කරන්න ඕන. ශ්‍රී ලාංකිකයින් හැටියට අපේ බලාපොරොත්තුව ඒක යි. අපි උත්සහ කළ යුතු යි, මානසිකව ඒ ගැන අමතක කරලා අලුතෙන් හිතලා මානසිකව ශක්තිමත් වෙලා හොඳින් ලෝක කුසලාන තරගාවලියට මුහුණ දෙන්න.''
T20 ලෝක කුසලානය 2024 : ශ්‍රී ලංකාවට වැරදුනේ ඇයි ? වැරදුනේ කොහේද?
''අපි හොඳට දැක්කා එයාලගේ තිබ්බ අඩුපාඩු මොනවා ද කියලා. එයාලගේ පුහුණුකරුවෝ ඒ ගැන බලලා ඒ වැරදි හදන්න උත්සහ කරන්න ඕනෙ.''
''අපේ කණ්ඩායමට මුලින් ම ක්‍රීඩා කරන්න තියෙන්නේ අයර්ලන්තය, ඕමාන් කියන රටවල් දෙකත් එක්ක. ඒ තරග හොඳට දිනන්න ඕනෙ. නිකම් යාන්තමින් නෙමෙයි හොඳට දිනන්න ඕන. අන්න එහෙම දින්න ම තමයි ඔස්ට්‍රේලියාව වගේ රටක් එක්ක හොඳට සෙල්ලම් කරන්න අපේ ක්‍රීඩකයින්ට හොඳ මානසික මට්ටමක් ඇති වෙන්නේ."
'ධනන්ජයගෙන් බලාපොරොත්තු වුණ දේ සිද්ධ වුණේ නැහැ'
මේ අතර, විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ තබාගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය වෙනස් කිරීමට තේරීම් කමිටුව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව බොහෝ විවෙචන එල්ල වී තිබිණි.
විශේෂයෙන් කමිඳු මෙන්ඩිස් වෙනුවට ධනන්ජය ද සිල්වාට අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුව ක්‍රියා කර තිබීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබිණි.
බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගෙන් විමසූ විට ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"මම දකින දේ තමයි අපේ ප්‍රේක්ෂකයින් කැමති වුණත් අකමැති වුණත් ක්‍රිකට් තේරීම් කමිටුව ධනන්ජයගෙන් යම් දෙයක් බලාපොරොත්තු වුණා. මොක ද ධනන්ජයට බෝල් කරන්නත් පුළුවන්. ඒ එක්ක ම එයාගෙන් බලාපොරොත්තු වුණේ පිතිකරුවෙක් විදිහට ඇන්කර් රෝල් එකක් ප්ලේ කරයි කියලා. එංගලන්ත සංචාරයේදී එයා සෙල්ලම් කරපු විදිහ දැක්ක ම තේරීම් කමිටුව තේරුම් ගන්න ඇති කමිඳුට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම සතුටු වෙනවා ඉක්මනට ම ඒ ප්‍රශ්නයට පිළියමක් යෙදුවා නේ. නැත්නම් ඒක ධනන්ජයටත් මානසිකව හොඳ නැහැ. අපි දන්නවා ධනන්ජය හොඳට ටෙස්ට් තරග සෙල්ලම් කරන කෙනෙක්. ඔහු ශතක පවා රැස් කරලා තියෙනවා," ඔහු පැවසුවේ ය.
'කුසල් ජනිත් සංචිතයට ගත්තා නම් අනිවාර්යෙන් ම ක්‍රීඩා කළ යුතුයි'
මේ අතර ලෝක කුසලානය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයා වන කුසල් ජනිත් පෙරේරා පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේ, ඔහු අනිවාර්යෙන් ම සංචිතයේ සිටින්නේ නම් කණ්ඩායමට ක්‍රීඩා කළ යුතු බව ය.
"කුසල් ජනිත් පෙරේරාට දැන් වයස අවුරුදු 35ක් වගේ වෙනවා. ලෝක කුසලාන සංචිතයට එයාව නම් කරලා තියෙනව නම් මගේ අදහස එයා කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඕන. මොක ද වයස අවුරුදු 35ක් කියන්නේ හොඳ අත්දැකීම් තියෙන කෙනෙක් එයා. හොඳට ලකුණු රැස් කරලා තියෙනවා. ඒ වගේ ම කුසල් ජනිත්ට එංගලන්ත සංචාරයේදී ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙයි කියලා අපේ බලාපොරොත්තුවක් තිබුණා. නමුත් එයාට ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. එහෙම වුණා නම් අපිට කුසල් ලකුණු අතර ඉන්නව ද කියල බලන්න තිබුණා," ඔහු පැහැදිලි කළේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් : ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බාහිර පෙනුම, විවේචන සහ විසඳුම්
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන කමිල් මිෂාර සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සිදු කළ විමසීමේදී රොෂාන් අබේසිංහ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"කමිල් මිෂාර යම් දෙයක් කරලා තියෙනවා ආරම්භක පිතිකරුවෙක් විදහට. නමුත් ඒ තත්ත්වය තව ටිකක් වැඩි කර ගත්තොත් ඒක එයාට වගේ ම කණ්ඩායමටත් හොඳයි. මම දකින දේ තමයි එයාට හොඳින් වේගයෙන් පන්දුවට පහර දෙන්න පුළුවන්. ඔහුට හොඳ අනාගතයක් තියෙනවා," ඔහු පැවසුවේ ය.
අංක 08 ක්‍රීඩකයා කවුරුන් විය යුතු ද?
ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 08 ක්‍රීඩකයා ලෙසට කණ්ඩායමට එක්විය යුත්තේ මහීෂ් තීක්ෂණ ද නැතහොත් දුනිත් වෙල්ලාලගේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් රොෂාන් අබේසිංහ පැවසුවේ ඒ සඳහා මෙම අවස්ථාවේදී පිළිතුරු ලබා දීමට අපහසු බව ය.
"තරගය ක්‍රීඩා කරන තණතීරුව වගේ ම ප්‍රතිවාදී කණ්ඩායම අනුව යි කණ්ඩායම තෝරන්නේ. සමහර විට මේ දෙන්නට ම ක්‍රීඩා කරන්න ඉඩ ලැබෙන්නත් පුළුවන්. කණ්ඩායමේ ඉන්නවා අනිවාර්යයෙන් ම ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයින් පිරිසක්''
''මම විශ්වාස කරනවා මහීෂ් තීක්ෂණගේ බෝලිං පර්ෆෝමන්ස් එක තවත් හොඳ වුණොත් එයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ ම දුනිත් වෙල්ලාලගේ කියන ක්‍රීඩකයා බැට් කළත් බෝල් කළත් හරි ම පරිණත යි. ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක්. මොක ද මේ වගේ ක්‍රීඩකයින් කණ්ඩායමේ ඉන්නවා කියන්නේ එයාලව ඕනෑ ම අවස්ථාවකදී ක්‍රීඩා කරන්න කැඳවන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.
Under the courtesy of bbc.com/sinhala