මහ සඟ සමුළුවෙන් ආණ්ඩුවට දස වැදෑරුම් ප්‍රඥප්තියක්

0

බුද්ධාගම සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථාපිත අයිතියට ගරු කිරීම ඇතුළු දස වැදෑරුම් යෝජනාවලියකින් සමන්විත මහ සඟ සමුළු ප්‍රඥප්තියක් ඊයේ (පෙබ. 20) කොළඹ පැවති මහ සඟ සමුළුවේදී එළිදැක්විණි.

මහ සංසංඝරත්නයට එල්ල වන තාඩන පීඩන හා අපවාද මුල් කරගෙන මෙම සඟ සමුළුව පැවැත්වුණු බව මෙම ප්‍රඥප්තිය ඉදිරිපත් කරමින් මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියෝ පැවසූහ.

කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහ සම්මේලන මූලස්ථාන පරිශ්‍රයේ පැවති මහ සඟ සමුළුවේදී ඉදිරිපත් කළ සංඝ ප්‍රඥප්තියේ මෙසේ සඳහන් විය. 

බුද්ධාගම සිංහල දේශයේත්, සිංහල ජාතියේත් උරුමය සහ ජාතික ආගම ලෙස වසර 2300ක් ඔස්සේ ගොඩනැඟී ලොව ශ්‍රේෂ්ඨතම සංස්කෘතික උරුමයන්ගෙන් සහ ආචාර සමාචාර, අධ්‍යාපන, සාහිත්‍ය, කලා, රාජ්‍ය පාලන ආදී සියල්ලෙහි පදනම ද වෙමින් අප්‍රමාණ අභියෝග මධ්‍යයේ ඒකාබද්ධව මුහුණ දෙමින් එක් සිංහල ජාතියක් දක්වා පැමිණ ඇති මේ යුගයේ බුද්ධ ශාසනය, භික්ෂුන් වහන්සේ සහ ජනතාව මුහුණ දෙන සමාජයීය අර්බුද මර්දනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සියලු භික්ෂුන් වහන්සේ සහ බෞද්ධ නායකයන් එක්ව 2026 පෙබරවාරි 20 වැනි දින කොළඹ 07, බෞද්ධ මහ සම්මේලනයේදී සංවිධානය කෙරුණු මහ සඟ සමුළුවේදී ශ්‍රී ලංකාවේ මහජන ඡන්දයෙන් පාලනය කරනු ලබන නූතන ජනාධිපති ප්‍රධාන ආණ්ඩුවටත්, රජයට සහ අනාගත රජයන්ටද පහත දැක්වෙන ප්‍රතිපදා පිළිගෙන ක්‍රියාත්මක කරන ලෙස අපි අවධාරණය කර කියා සිටින්නෙමු.

අර්හත් මහ මහින්ද මාහිමිපාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය රැගෙන විත් එය මේ භූමියෙහි ස්ථාපනය කිරීම එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ දෙවන පෑතිස් මහ රජාණන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු වූ බවත් එදා සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ බුද්ධ ශාසනය එකිනෙකට සම්බන්ධව පැවැති බවත් එම සම්බන්ධය මත සදාචාරාත්මක දේශයක් ගොඩනැඟීමේ වගකීම පාලකයාට මෙන්ම ආගමටද පැවැරුණු බවත් හා බුදු දහමේ ඉගැන්වීම් රාජ්‍යානුශාසනා කිරීමේ කාර්යභාරය ඓතිහාසිකව භික්ෂුන් වහන්සේ විසින් සිදු කර ඇති බැවින් මේ අයිතිය පිළිගන්නා ලෙස අපි රජයට අවධාරණය කර සිටිමු.

පෙර රජදරුවන් විසින් සුරක්ෂිත කොට පෝෂණය කරන ලද බුදු දහමත් ඒ හා බැඳුණු සියලු සංස්කෘතීන්ද සිද්ධස්ථානයන්ද, ආරක්ෂා කිරීමේ වගකීම උඩරට ගිවිසුමෙන්ද තහවුරුව, 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද සම්මත කොට අධිකරණය මඟින්ද බුද්ධ ශාසනය යන්න නිර්වචනය කොට ඇති බැවින් එම ව්‍යවස්ථානුකූල අයිතිය රජය විසින් ආරක්ෂා කළ යුතු බවද අපි රජයට අවධාරණය කර කියමු.

ජාතියේ එක්සත්කමත්, සමඟියත්, සහජීවනයත් රඳා පවතින්නේ ඓතිහාසිකව ගොඩනැඟුණු ගිහි පැවිදි සම්බන්ධතාව නිසා බවත් සොළීන්ට, බටහිර කුමන්ත්‍රණකරුවන්ට මෙන්ම කොටි සංවිධානයට පවා මේ සම්බන්ධතාව විනාශ කරලන්නට නොහැකි වූ බවත් එය බිඳ දමන්නට, විරසක කරන්නට සමාජ මාධ්‍ය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන යන අදූරදර්ශී ක්‍රියාමාර්ග පරාජය කරන්නට රජය විසින් අවශ්‍ය කටයුතු යෙදිය යුතු බවත් අපි අවධාරණය කර කියා සිටිමු.
අතීත පාලකයන් බුදු දහම කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් කටයුතු කළ බවද, නොබොහොසත්හු ලක්දිව රජ නොවිය යුතු බවට ශිලා ලේඛන ගත කර ඇති බැවින්ද, බුදු දහමින් නිර්දේශිත පරිදි බෞද්ධ දේශපාලන දර්ශනයට අනුගතව විශේෂයෙන් දසරාජ ධර්ම, සතර සංග්‍ර වස්තු ක්‍රියාවට නංවමින් පාලනය කිරීමේ අවශ්‍යතාවද, සතර අගතියෙන් තොරව රට පාලනය කිරීමේ අවශ්‍යතාවද අපි රජයට අවධාරණය කර කියා සිටිමු.

අතීතයේ සිටම බුද්ධ ප්‍රතිමාව ලංකාවේ සැදැහැවත් බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට ලක් වූ උතුම් පූජනීය වස්තුවක් වූ බවද සමාධි, අවුකන, ගල් විහාරය වැනි මහ නිර්මාණ පැරැණි රජ දරුවන් මහත් පරිශ්‍රමයෙන් ඉදි කළේ ජනතාවගේ ශ්‍රද්ධාව දියුණු කරනු පිණිස බවත් අද දක්වා මෙම ආගමික හා සංස්කෘතික උරුමයන් මහත්සේ වන්දනාවට ලක්වන බවත් එබැවින් බුද්ධ ප්‍රතිමාවට නිගරු වන කවර ආකාර හෝ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව හෝ වෙනත් කවර සමාජ ආයතන විසින් හෝ සිදු නොකළ යුතු බවත් ඊට අවශ්‍ය පියවර නීත්‍යනුකූලව ගත යුතු බවත් අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටිමු.

බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානය අනුරාධපුර මහ විහාරය වන බවත් එතැන් සිට භික්ෂුන් වහන්සේ රටේ ජනතාවගේ ප්‍රධාන ආචාර්යයන් වහන්සේ වූ බවත් එයින් සදාචාර සම්පන්න සිසු පරපුරක් ගොඩනැඟුණු බවත්, උසස් සාහිත්‍ය කලාවක් රටට උරුම කරමින් භික්ෂුව අධ්‍යාපනිකව ඉටු කළ මෙහෙවර අගය කළ යුතු බවත් විද්‍යොදය, විද්‍යාලංකාර පිරිවෙන් අරඹා සහ ඒ ඔස්සේ විශ්වවිද්‍යාල දක්වා ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය දියුණු වූ අයුරු පදනම් කොට නූතන පිරිවෙන් සහ පාසල් අධ්‍යාපනය ගොඩනැංවීම සිදුකළ යුතු බවත් විෂය මාලා සංවර්ධනයේදී බෞද්ධ අධ්‍යාපන මූලධර්ම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවත් අපි රජයට අවධාරණය කර කියා සිටිමු.

පෙර ජනාධිපතිවරුන් විසින් අමාත්‍ය ධුරය දරමින් ක්‍රියාත්මක කරන ලද බුද්ධ ශාසන අමාත්‍යාංශය මේ වන විට නිසි අමාත්‍යවරයෙකු නොමැති වීමෙන් අකර්මණ්‍ය වී දියාරු වී යන අවස්ථාවට පැමිණ ඇති බැවින් අමාත්‍යාංශයෙන් සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සේවා සපයා ගැනීමට පැමිණෙන භික්ෂුන් වහන්සේලාට, බෞද්ධ ජනතාවට ඒවා කාර්යක්ෂමව ඉටුකර දීමට එහි නිලධාරීන් අපොහොසත්ව ඇති හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ආයතනයක් බවට පත් කර වන්නට අපි රජයට අවධාරණය කර සිටිමු.

බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වන “දේවෝ වස්සතු කාලෙන” නම් ගාථාවෙහි එන පරිදි රටෙහි ආර්ථික, දේශපාලනික, සාමාජීය දියුණුවෙහි මූලික පදනම ලෙස සලකන දැහැමි රාජ්‍ය පාලනයක් පිළිබඳ ජනතාවගේ ඓතිහාසික ප්‍රාර්ථනා මල්පල ගන්වන ලෙසින් රජ්‍ය මෙහෙය වන ලෙස අපි රජයට අවධාරණය කරමු.

බෞද්ධ පුරා වස්තු, පූජනීය ස්ථාන, විහාර, දේවාලගම් පෞද්ගලිකව භික්ෂුන්ගේ නොව රටේ ජාතික උරුමයන් වන බැවින් කවරාකාරයෙන් හෝ ඒවාට හානියක් නොවන පරිදි ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවැරී තිබෙන බව අපි අවධාරණය කර කියා සිටිමු.

ශ්‍රී ලංකාවේ කවර තැනක හෝ භික්ෂුවකට ශීලාදී ගුණ ධර්මයන් වඩමින් ගෞරවනීය ලෙස තමාගේත්, ලෝකවාසී ජනතාවගේත් මෙලොව පරලොව දෙකෙහි අභිවෘද්ධියට හේතු වන ලෙස පරාර්ථ චර්යාවෙහි යෙදෙන විට උන්වහන්සේලාට නිග්‍රහ වන ලෙසින් අදහස් ප්‍රකාශ කිරීම, මත පැතිරවීම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විවිධ අපහාස උපහාසයට ලක් කිරීම, චෝදනා කිරීම ආදී භික්ෂු ගෞරවය කෙලෙසන ආකාරයේ කටයුතු රාජ්‍ය යටතේ සිදු නොවිය යුතු බව අපි රජයට අවධාරණය කර කියා සිටිමු.

සඟ සමුළුව අමතමින්  කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී ධර්ම මහ සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල මාහිමිපාණෝ, අභයාරාමාධිපති මවුබිම සුරැකීමේ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආන්නද නාහිමිපාණෝ අනුශාසනා කළ අතර  මේ අවස්ථාවට ත්‍රෛනිකායික මහ සංඝරත්නය ප්‍රමුඛ ගිහි පිරිසක් එක්ව සිටියහ.

Under the courtesy of ceylontoday.lk


ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!