ආන්දෝලනයට ලක් වූ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජන. 22 වැනි දා පැය දෙකක ප්‍රකාශයක් සටහන් කරගත් බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියන් පැවසීය.
එහිදී තමන් වහන්සේ සතු සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබා දුන් බව ද එහිමියෝ කීහ.
හය ශ්‍රේණිය මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් තිබූ ආකාරය තමන් වහන්සේට දැනගන්නට ලැබුණු ආකාරය පිළිබඳව නිලධාරීන් දීර්ඝ ලෙස කරුණු විමසූ බව ද සුමංගල හිමියෝ සඳහන් කළහ.
මෙම අසභ්‍ය වෙබ් අඩවිය මොඩියුලයට ඇතුළත් කර තිබුණේ සැලසුම් සහගතව බවට එහිදී පෙන්වා දුන්නේ යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
“ළමයින්ට පෙළපොතක් හෝ මොඩියුලයක් ප්‍රින්ට් කරලා එළියට එන්නේ දීර්ඝ ක්‍රියාවලියකින් පසුවයි. අඩුම ගානේ 15 වාරයක් වගකිවයුත්තන් ඒ පොත් පරීක්ෂා කරනවා. මෙවැනි අත්වැරදීම් කාගෙවත් පහත් අරමුණු වෙනුවෙන් දරුවන්ට සිදුනොකළ යුතුයි. ඒ නිසා මෙය කළවුන්ට ජාතියේ නාමයෙන් දඬුවම් ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා” යැයි සුමංගල හිමියෝ පැවසූහ.