පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තාගේ බෙල්ල උදරය පපුව යන ප්‍රදේශවලට එල්ලවී ඇති වෙඩි ප්‍රහාරයකින් ශරීර අභ්‍යන්තරයට සිදුව ඇති බහුවිධ තුවාල හේතුවෙන් ඔහුගේ මරණය සිදුව ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (පෙබ. 28) තීන්දු කළා ය.
පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් නිකුත් කර තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය එම තීන්දුව ප්‍රකාශයට පත් කළා ය.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ හා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුණු බවය.
මෙම සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් පසුගිය දිනවල අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් අතර ගනේමුල්ල සංජීව නමැත්තාගේ සහෝදරියක් වන දිල්රුක්ෂි සමරත්න අද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා ය.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සාක්ෂි මෙහෙයවීම සිදුකළ අතර සාක්ෂි ලබා දුන් දිල්රුක්ෂි නමැති කාන්තාව මෙසේ ප්‍රකාශ කළා ය.
“සංජීව මගේ මල්ලි. මේ සිද්ධියට පෙර ඔහු හිටියේ බූස්ස බන්ධනාගාරයේ. සතියට දෙවතාවක් මම මල්ලි බලන්න බන්ධනාගාරයට ගියා. ඔහුට තිබෙන නඩු ගැන මට දැනීමක් නැහැ. පසුගිය 19 වන දා ඔහුව නඩුවක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව මා දැන සිටියේ නෑ. එදා පෙරවරු 10:30ක් 11:00 විතර මට කෝල් එකක් ආවා. මල්ලිට වෙඩි තියලා කියලා කිව්වා. ඒ එක්ක ම මම ලෝයර් ලක්ෂ්මන් පෙරේරාට කතා කළා. එයා කිව්වා වෙඩි තිබ්බා කියලා ආරංචියි කියලා. පසුව උසාවියේදී මල්ලිට වෙඩි තබලා බව මම දැනගත්තා.
පසුගිය 20 වන දා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගී වුණා. එහිදී මිය ගොස් ඇත්තේ සංජීව කුමාර සමරත්න යන මගේ මල්ලී කියලා මම හඳුනාගත්තා. පසුව කෙසෙල්වත්ත පොලීසියට ප්‍රකාශයක් ලබාදුන්නා. පසුව මමයි අම්මයි මෘත දේහය භාරගත්තා”
මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මරණයට පත් වූ සංජීව කුමාර සමරත්න නමත්තාට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.
විශේෂයෙන් ම ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීම වැදගත් බව එම නීතිඥවරු පෙන්වා දුන්හ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මරණයට අදාළ හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවාය.
මරණයට අදාළ ලියාපදිංචි සහතිකයන් නිකුත් කරන ලෙසත් එම සහතිකය පවුලේ ඥාතීන්ට ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සිද්ධියට අදාළ නඩුව යළි මාර්තු මස 07 වන දා කැඳවීමටද මෙහිදී නියෝග කෙරුණි.
Under the courtesy of ceylontoday.lk