මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ විවාහ ගිවිසගත් නව යුවළක් එහි පවතින සම්ප්‍රදායයන් බිඳිමින් ඡායාරූප ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම යුවළ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු යොදවා දළදා මැදුරෙහි හේවිසි මණ්ඩපය ඇතුළු අභ්‍යන්තර ස්ථාන ගණනාවක මෙලෙස ඡායාරූප ලබාගෙන සිය සමාජ මාධ්‍යවල ප්‍රචාරය කිරීමෙන් පසුව මෙලෙස විමර්ශනයක් කිරීමට පොලිසිය ක්‍රියා කර තිබේ.
මේ වනවිට දළදා මාලිගය තුළ සහ එහි පිටත පරිශ්‍රයේ ඡායාරූප ගැනීම සඳහා යම් යම් සීමාවන් පනවා තිබියදීත් මෙම යුවළ මහනුවර ප්‍රසිද්ධ විහාරයක හිමිනමකගේ අනුදැනුම හා සහයෝගයෙන් මෙම ඡායාරූප ලබාගෙන ඇති බව මූලිකව සිදු කළ කරුණු විමසීමකදී අනාවරණය වී ඇත.
එම මනාල තරුණයාගේ පියා මෙම හිමිවරුන් සමග සමීප සම්බන්ධයක් ඇති පුද්ගලයෙකු බව පැවසෙන අතර ඒ අනුව, මෙසේ දළදා මාලිගා පරිශ්‍රය ඡායාරූප සඳහා යොදා ගන්නට ඇති බවට සැලකෙයි.
කෙසේ වුවද, දැඩි ආරක්ෂක විධිවිධාන පැවැතියදී ඔවුන් මෙම කටයුත්ත සිදු කර ඇති අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ පිළිබඳව කළ විමසීමකදී සඳහන් කළේ, තමන් ද නොදැනුවත්ව මෙම ඡායාරූපගත කිරීම සිදුව ඇති බව ය.
මේ අනුව, මෙම යුවළ සහ ඡායාරූප ශිල්පියා මහනුවර පොලිසියට කැඳවා මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේ ය.