Monday, March 9, 2020

ගාල්ල මහ රෝහලෙන් විශ්මිත වකුගඩු සැත්කමක්...! වෛද්‍යවරයා මෙවැනි අත්දැකීමට මුහුණදී ඇත්තේ පළමු වතාවට...!!

ඒ වනවිට මැල්කම් වික‍්‍රමසිංහ මහතා ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිටියේය.
කුගඩු රෝගයෙන් පිඩාවිඳින රෝගියකු ගත කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනකි. කොටින්ම කිවහොත් කෙනෙකුගේ වකුගඩුවක් නරක් වුවහොත් එය මරණ සහතිකය සටහන් කරගත්තා වැනිය. මක්නිසාදයත් වකුගඩු රෝගියෙකු දිගින් දිගටම රුධිරකාන්දු පෙරණයට ලක්කළ නොහැකිය. ඔහුට යළි ජීවිත දානය ලබාදීම සඳහා කළයුත්තේ වකුගඩුවක් බද්ධ කිරීමය. ඒ හැර වෙනත් කිසිදු විකල්පයක් නැත. වකුගඩු රෝගියකුට වකුගඩුවක් බද්ධ කිරීම ද එතරම් ලෙසි පහසු කාරියක් නොවේ. ඒ සඳහා දායකයකු
සොයාගත යුතුයි. ලේ වර්ගය ගැළපිය යුතුය. ඒ විතරක් නොව වකුගඩුව බද්ධ කිරීමට ප‍්‍රථම පරීක්ෂණ ගණනාවකට මුහුණ දිය යුතුවේ.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම ඉතා සියුම් සැත්කමකි. එය ඉතා ප‍්‍රවේශමෙන් කළ යුතු සැත්කමකි. අප මේ කියන්නට යන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය තුළ සිදුකරනු ලැබූ විස්මිත වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් ගැනය. මෙකි වකුගඩු බද්ධ කිරීමේ විස්මිත සැත්කම නිසා ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශ‍්‍රාමික කර්නල්වරයකුට සිය ජීවිතය බේරාගැනීමට හැකිවිය. හේ ගාල්ලේ පදිංචි මැල්කම් වික‍්‍රමසිංහ මහතාය. දෙදරු පියෙකු වූ මැල්කම් වික‍්‍රමසිංහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා බළකායේ වසර 30 ක කාලයක් සේවය කොට විශ‍්‍රාම ලැබූ අයෙකි ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි. ඒ විතරක් නොව හේ දක්ෂ පාපන්දු ක‍්‍රීඩකයෙකි.
 
විශ‍්‍රාමික කර්නල් මැල්කම් වික‍්‍රමසිංහ මහතාගේ යුද හමුදා ජීවිතය තුළ හේ රට දැය වෙනුවෙන් ක‍්‍රියාන්විත ප‍්‍රදේශවලද රාජකාරි කළේය. යුද හමුදා සේවයේ යෙදී සිටියදී කර්නල් වික‍්‍රමසිංහ මහතාට ඉහෙන් බහින රෝගයක් නොතිබුණි. ඔහු යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගෙන ටික දිනකට පමණ පසු වකුගඩු රෝගයට ගොදුරුවිය. හේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුගෙන්ම ප‍්‍රතිකාර ලබා ගත්තේය. අවසානයේදී ඔහු රුධිරකාන්දු පෙරණයට ලක්කළේය. ප‍්‍රවේශම් වෙලා ඉන්න නැතිනම් ඔයාට වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවෙනවා. මැල්කම් වික‍්‍රමසිංහ මහතා පරීක්ෂා කළ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කීවේය. වික‍්‍රමසිංහ මහතා රුධිරකාන්දු පෙරණයට ලක්කළද එය දිගින් දිගටම කිරීමට නොහැකිවිය. අවසානයේ ඔහුට වකුගඩුවක් බද්ධ කළයුතු බවට මැල්කම් මහතා පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා තීන්දු කළේය. ඒ සඳහා දායකයකු සොයාගත යුතුයි. විශ‍්‍රාමික කර්නල් මැල්කම් වික‍්‍රමසිංහ මහතා දැඩි අරගලයක් කළ වකුගඩුවක් ලබා ගැනීම සඳහා දායිකාවක් ද සොයාගනු ලැබීය.

දකුණු පළාතේ ඇති වකුගඩු බද්ධ කිරීමේ එකම රෝහල වන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලයි. වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වන්නේ රංජුක උබේසිරි මහතාය. කරාපිටිය ශික්ෂණ රෝහල තුළ වකුගඩු හා නහර බද්ධ කිරීමේ සැත්කම් පළමු වතාවට ආරම්භ කරනු ලැබුවේදි විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතාය. ඒ සඳහා එවකට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතාද විශාල කාර්යභාරයක් ඉටු කළේය. කර්නල් මැල්කම් වික‍්‍රමසිංහ මහතා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම කරවා ගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් විය. රෝහලේ වකුගඩු ඒකකය තුළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කරගෙන යන්නේ ඉතා අඩු පහසුකම් මැද නොයෙකුත් අභියෝගවලට මුහුණ දෙමිණි.
 
ඒ කොයිහැටිවුවද විශ‍්‍රාමික කර්නල් මැල්කම් වික‍්‍රමසිංහ මහතාට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම කිරීමට සියලූ කටයුතු සූදානම් කෙරිණි. වකුගඩුව ලබාදුන් දායිකාවගේ දකුණු වකුගඩුව ගෙන කර්නල් වික‍්‍රමසිංහයන්ට බද්ධ කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා කටයුතු කළේය. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම පැය දෙකක පමණ කාලයක් තුළදි සිදුකරනු ලැබීය. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සාර්ථකය. මුත‍්‍රා වැඩ කිරීමද ඉතා හොඳින් සිදුවෙමින් තිබුණි. සැත්කමින් පසු කර්නල් මැල්කම් වික‍්‍රමසිංහ මහතා ටික වේලාවක් ශල්‍යාගාරයේ තබාගෙන සිටියේය. එය සාමාන්‍ය ක‍්‍රමයකි. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ශල්‍යාගාරයෙන් පිටවී යන්නට සූදානම් විය. ඒ වනවිට වික‍්‍රමසිංහ මහතාගේ උදරය ඉදිමෙමින් තිබුණි. රුධිරය දැඩිලෙස වහනය වෙමින් පැවතුණි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට මෙය අදහාගත නොහැකි දෙයක් විය. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම පළමුව රෝගියාගේ රුධිරය වහනය නතර කිරීමට පියවර ගනු ලැබීය. ඒ වනවිට ලේ පයින්ට් එකකටත් වඩා වහනය වී තිබුණි. සැත්කමින් පසුව ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් වකුගඩුවේ ශිරාව මැදින් පුපුරායෑමට ලක්ව රුධිරය වහනය වීමට පටන්ගෙන තිබුණි. එය වකුගඩු බද්ධ කිරීමේ සැත්කමේ ඇති වූ අඩුපාඩුවක් නිසා නොව. ශිරාවේ බිත්ති තුනී හා දුර්වලවීම නිසා මෙම තත්ත්වය උදාවිය හැකි බව ශල්‍ය වෛද්‍යවරයාගේ අදහස විය. ඒ වනවිට මැල්කම් වික‍්‍රමසිංහ මහතා ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිටියේය.
 
පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් බද්ධ කරනු ලැබූ වකුගඩුව ධමනියෙන් හා ශිරාවෙන් වෙන් කිරීමට කටයුතු කළේය. ඉන්පසු රෝගියාගේ පාදයේ ශිරාවක් ගෙන එය දෙකට පළා වකුගඩුවේ ශිරාවට බද්ධකොට නැවත වතාවක් වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සිදුකරනු ලැබීය. මෙවැනි තත්ත්වයන් දක්නට ලැබීම ඉතාම කලාතුරකින් සිදුවන්නක් බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ අදහස විය. යළි ශිරාව බද්ධ කිරීම නිසා රෝගියාගේ වකුගඩුව යළි ක‍්‍රියාත්මක තත්ත්වයට පත්විය. ඒ විතරක් නොව ඔහුට යළි ජීවත්වීමට වාසනාව ලැබුණි. සැබැවිනම් මෙය ඉතා දුර්ලභ ඝණයේ සැත්කමකි. කොටින්ම කිවහොත් කර්නල් මැල්කම් වික‍්‍රමසිංහ මහතාට අවස්ථා දෙකකදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්වීමට සිදුවිය. ඔහු පියවි සිහිය ලැබෙනවිටද ජීවිත අවදානමෙන් පසුවිය. වික‍්‍රමසිංම මහතාට තම දියණියන් දෙදෙනා සිහිපත් විය. ඔහුගේ දෑස්වලින් කඳුළුකැට රූරා වැටෙන්නට විය. ඔහුට යළි ජීවත්වීමේ වාසනාව ලැබී තිබුණි.
 
මේ වනවිට නිරෝගි සුවයෙන් පසුවන යුද හමුදාවේ විශ‍්‍රාමික කර්නල් මැල්කම් වික‍්‍රමසිංහ මහතා අප ඔහුගේ නිවසේදී මුණගැසුණි.
 
ඇත්තටම මම එගොඩ ගිහින් මෙගොඩ ආවා. මට කියන්න වචන නැහැ. වෛද්‍යවරු කියන්නේ දෙවිවරු. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා නොහිටින්නට මගේ ජීවිතය බේරාගැනීමට බැරිවෙනවා. මට යළි ජීවත්වීම සඳහා වාසනාව ලැබුණා. මගේ ජීවිතය බේරාදුන් රංජුක උබේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමට මම පිංදෙනවා. පළමු වතාවට තමයි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාත් මේ වගේ තත්ත්වයකට මුහුණ දීලා තියෙන්නේ. ඇත්තටම මා දැන් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා යැයි මැල්කම් වික‍්‍රමසිංහ මහතා කීවේය.
 
මෙකී සැත්කම පිළිබඳ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතාගෙන් මේ පිළිබඳ අප විමසුවේය. ඕක පත්තරේ දමන්න දෙයක් නෙවෙයි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා අප සමග කීවේය. නැහැ ඩොක්ටර් රෝගියා තමයි අපිට මේ ගැන කීවේ. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට එසේ කියමින් කරුණු පැහැදිලි කිරීමෙන් පසු මේ ගැන කථා කිරීමට ඔහු එකඟකරවා ගනු ලැබීය.
 
බද්ධ කිරීම සඳහා ගත්තේ වකුගඩුව ලබාදුන් දායිකාවගේ දකුණු වකුගඩුව. දකුණු වකුගඩුවේ ශිරාව මහා ශිරාවට තමයි සම්බන්ධ වෙන්නේ. එය හෘදය වස්තුවට රුධිරය ගෙන යන ශිරාවට සම්බන්ධයි. වකුගඩුව ප‍්‍රධාන ශිරාවෙන් වෙන්කරලා තමයි ගන්නේ. දකුණු වකුගඩුවේ ශිරාව කෙටියි. ඉතා තුනී එකක්. විශේෂයෙන් ගැහැනු අයගේ වකුගඩුවේ ශිරාවේ මෙවැනි තත්ත්වයක් දක්නට තියෙනවා. ශිරාවේ බිත්ති දුර්වල එකක්. නමුත් වකුගඩු බද්ධ කිරීම සාර්ථිකයි. හොඳින් යූරින් හැදුනා. දැඩි සත්කාර ඒකකයට රෝගියා යොමුකරන්න හිටියේ. නමුත් සුළු වෙලාවකින් රෝගියාගේ උදරය ඉදිමි ගෙන ආවා. මේ ගැන වෛද්‍ය සාලිය මට කීවා. ශිරාව මහපු තැන හොඳට තියෙනවා. නමුත් මැදින් පුපුරලා. වකුගඩුවෙන් හා ශිරාවෙන් රුධිරය වහනය වෙනවා. මුලින්ම රුධිරය වහනය කිරීම නතර කළා. වකුගඩුව අයින් කළා. ධමනියෙන් හා ශිරාවෙන් වෙන් කරලා වකුගඩුව අයින් කළා. පාදයේ ශිරාවක් ගෙන එය දෙකට පලා වකුගඩුවේ ශිරාවට බද්ධ කළා. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා කීවේය.
 
අවම පහසුකම් යටතේ වුවද කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරීම සඳහා පළමු වතාවට යතුරු සිදුරු සැත්කම් ක‍්‍රමය නොඑසේනම් ලැපරෝස්කොපි ක‍්‍රමය යොදාගෙන ඇත. ඒ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසිනි. වකුගඩු දායකයාගෙන් වකුගඩුව ලබා ගැනීමේදි වියතක් පමණ උදරය විවෘත කොට වකුගඩු ලබා ගැනීම සිදුකරයි. මෙහිදි තරමක විශාල ලොකු කැපුමක් දක්නට ලැබේ. එහෙත් ලැපරොස්කොපි ක‍්‍රමය තුළදි ලොකු කැපුමක් හා කැළලක් සිටින්නේ නැත. යතුරු සිදුරු සැත්කමේදී මිලිමීටර් 05, 10 පමණ කැපුම් තුවාලයක් පමණක් ඇතිවේ. යතුරු සිදුරු සැත්කමේ දි වියත් භාගයක් විතර කැපුමක් යොදලා තමයි වකුගඩුව ගන්නේ කැක්කුමක් නැහැ. වකුගඩු දායකයාට ඉතා පහසුයි. පළමු දිනයේ රෝගියාට අඳෙන් බැහැලා යන්න පුළුවන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා කීවේය.
 
විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකය තුළ මෙවැනි සැත්කම් 140 ක් පමණ සිදුකොට ඇත. එහෙත් වෛද්‍යවරයා මෙවැනි අත්දැකීමට මුහුණ දී ඇත්තේ පළමු වතාවටය. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කරගෙන යන්නේ දැඩි දුෂ්කරතාවන් මැදය. නව වකුගඩු ඒකකයක් සඳහා මහල් හතකින් යුතු ගොඩනැගිල්ලද ඉදිකොට ඇත. වකුගඩු ඒකකය සඳහා අවශ්‍ය උපකරණද ලබාගෙන ඇති බව පැවසේ. එහෙත් එය විවෘතවන දිනයක් තවමත් තීරණය කොට නැත. මෙකී නව වකුගඩු ඒකකය කඩිනමින් විවෘත කිරීම බලධාරීන්ගේ වගකීමකි. 

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka