Tuesday, March 10, 2020

"මට වයස අවුරුදු 19-20 වගේ කාලෙදි බරපතළ විදිහට ආදර සම්බන්ධතාවල පැටලී හිටියා.." - රවින්ද්‍ර රන්දෙණිය - Photos

"මහා වළකට ඇදගෙන වැටිලා යටට යන්න පටන් ගත්තා..."
"කාටවත් බේර ගන්නත් බෑ, මට මරණ බිය තදින්ම දැනුණා.."
 

බොහෝම සතුටින්, නිදහසේ ජීවිතය ගෙවෙනවා. පරිසරයට ආදරය කිරීම, සංගීතය, රස විඳීම, පොත්
කියවීම වැනි පුරුදු නිසා ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ඉන්නවා.

ඔය තරම් නිරෝගීව කඩවසම්ව තවමත් ඉන්න එකේ රහස?
මට දැන් අවුරුදු 75 ක්. මම හිතනවා මම කායිකවත් මානසිකවත් නිරෝගී කියා. වයලීන වාදකයෙකුට තම වයලීනය වටිනවා වගේ ගායකයෙකුට තම කටහඬ වටිනවා වගේ රංගන ශිල්පියෙකුට ඉතාම වටින දේ තමයි තම ශරීරය තම පෙනුම නිරෝගීව, ප්‍රිය මනාපව තබා ගැනීම මාගේ වෘත්තිය අනුව කළ යුතුම දෙයක්.

එම නිසා ක්ෂේත්‍රයට පිවිසුන කාලේ ඉඳලම ශාරීරික සුවතාවය ආරක්ෂා කර ගැනීමට මම පෙළඹුණා.
දැන් ඉතින් දවසින් දවස වයස යන නිසා කෑම බීම ගැනත් ගොඩක් සැලකිලිමත්. ඒ හැරෙන්න මුහුණට හෝ ශරීරයට යම් යම් ආලේපන ගැල්වීම නම් මම පුරුද්දක් විදිහට කවදාවත් කරලා නැහැ.

මානසික සතුට රඳවා ගන්න?
සතුට කියන දේ නම් අපිම සොයා යා යුතු දෙයක්. අපේ ජීවිතය සරල වෙන කොට ආසාවල් පසුපස හඹා යාම සීමා කරන කොට අපි ඉබේම අපේ සතුටට ළං වෙනවා. අනිත් දේ තමයි මේ ලෝකේ තමාව හදන්න පුළුවන් තමන්ට විතරයි. තමාට සතුට දෙන්නෙත් තමාට දුකක් දෙන්නෙත් තමාමයි. ‘‘යූ ආ ද බෙස්ට්’’ කියලා නිතර හිතුවොත්, අපිට කවදාවත් ගැටුමක් ඇති වන්නේ නැහැ. තමන්ට තමන් ගැන ආත්ම විශ්වාසයක් තිබෙනවා නම් තමන්ගේ වටිනාකම තමන් අඳුනනවා නම් අපිට ඇත්තටම අපේ හිත රිදවා ගන්න අවශ්‍ය වන්නේ නැහැ.

ඇත්තටම ධනාත්මකව ජීවිතේ දැකීම වගේම කිසිමදාක මම ගැන ආඩම්බර නොවී අභිමානයෙන් සිතිය හැකි නම් අපේ ජීවිතේ හැමදාම සතුටින් තියා ගත හැකියි. මේ සියලු දේ මම අනුගමනය කරනවා.

කලාකරුවෙකුට ජනප්‍රියත්වය කියන දේ?

මම හිතන්නේ කලාකරුවෙක් එය ගොඩ නගා ගත යුත්තේ තමා සතු රංගන කෞෂල්‍යයෙන්, කැපවීමෙන්, උත්සාහයෙන්, නොපසුබට ධෛර්යයෙන් කියායි මම විශ්වාස කරන්නේ. අනිත් දේ තමයි ජනප්‍රියත්වය කියන්නේ තමා කරා ආ යුතු දෙයක් මිස තමා සොයා යා යුතු දෙයක් නොවන බවයි මම විශ්වාස කරන්නේ. ඔබ කියන ඔය ජනප්‍රියත්වය මට නම් රඟපෑමට ආ මුල් කාලයේ ලැබුණේ නෑ. මම ජනාදරයට පාත්‍රවන්නේ රඟපෑමට පැමිණ වසර 6ක් විතර ගියාට පසුව.

නමුත් ඒ අභිමානවත් ජනාදරය සදාකාලිකවම පැවතුණා. ඇත්තටම ලොවක් හඳුනන අප සිනමා සක්විත් ගාමිණී ෆොන්සේකා මහතාවත් සිනමාවේ සිහින කුමරා ලෙසින් විරුදාවලි ලැබූ විජය කුමාරතුංග මහතාවත් අපි කවදාවත් දැක නැහැ රිය පෙරහරවලින් ගිහින් හරසර පානවා. ඇත්තටම ස්වතන්ත්‍ර නිර්මාණවලින් තොරව තාවකාලිකව ලබන ජයග්‍රහණයක් වෙනුවෙන් මෙවැනි ප්‍රසිද්ධියක් ලබා දීමට උත්සාහ දැරීමෙන් සැබෑවටම සිදු වන්නේ එම කෙනා තාවකාලිකව ලැබුණු සියල්ල සාදාකාලිකව නොලැබී යාමෙන් අසරණභාවයට පත් වීම.

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ.
ඒක හරි අහඹු විදියට සිදු වූ දෙයක්. මම උසස් පෙළ හැදෑරුවේ විද්‍යා විෂයන්ගෙන්. නමුත් මම දන්න කාලේ ඉඳලාම සාහිත්‍යයට හරිම ආසයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගුණදාස අමරසේකරයන්ගේ පොත් මම හරිම ආසාවෙන් කියෙව්වා. ඔය ආසාව නිසාම මම උසස් පෙළින් පසුව ලයනල් වෙන්ට්ඩ් හි පැවති රංග කලා කේන්ද්‍රයේ රංග ශිල්පී ශාලිකාවෙන් කලාව ගැන හදාරනු ලැබුවා. ඒ කාලයේදී මාගේ කලාවට තිබූ කැමැත්ත කැපවීම උනන්දුව නිසාම මට පුළුවන් වුණා වේදිකා නාට්‍යයක රඟපාන්න. ‘මුහුදු පුත්තු’ තමයි මා රඟපෑ පළමු වේදිකා නාට්‍යය. එහි ප්‍රධාන චරිතය රඟ දැක්වූවා.

ඒ ආරම්භයක් සමග චිත්‍රපටවල රඟපෑමට දොරටු විවර වුණා. ඇත්තටම එය දෛවෝපගත සිදුවීමක්.

අද වෙන විට චිත්‍රපටි කීයක රඟපෑම් කටයුතු කර තිබෙනවාද?
රඟපෑමට පැමිණ අවුරුදු 49 ක්. මේ කාලයේදී දේශීය චිත්‍රපට සියයකට ආසන්න ප්‍රමාණයක් විදේශීය චිත්‍රපට දාහතරක් විතර රඟපාලා තිබෙනවා. මේ සියලුම රඟදැක්වීම්වල ප්‍රධාන භූමිකාව රඟ දැක්වීමට ලැබීම භාග්‍යයක් කොට සිතනවා.

රඟපෑමේදී වැඩියෙන් ආසා කවුරු සමඟ රඟපෑමටද?
මාලනි ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, නීටා ප්‍රනාන්දු, ස්වර්ණා මල්ලවආරච්චි වගේ කලාකරිණියන් සමග රඟපෑමේදී මටත් මගේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් වුණා. ඒ අතරිනුත් සිනමා රැජින මාලිනිගේ රඟපෑම ගැන විශේෂයෙන්ම කිව යුතුයි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ නිළියක්. රංගන කෞෂල්‍යය උපරිමයි. ඒ වගේමයි ස්වර්ණාගේ තාත්වික දක්ෂ රංගනය ගැන සැබෑවටම අගය කළ යුතුයි.

රඟපෑමට පැමිණි කාලයේදීම බොහෝ අයගෙන් ආදර සබඳතා වෙනුවෙන් ඇරයුම් ලැබෙන්නත් ඇති?
නිල් දිය දහරා චිත්‍රපටයෙන් පස්සේ තමයි මාව බොහෝ දෙනෙක් දැන ගන්නේ. ඒ කාලයේදී ආපු රසික ලියුම්වලින් සියයට 90 විතරම තිබුණේ බොළඳ ආදරේ. සමහර අය මගේ පින්තූර ඉල්ලා එවලා. සමහරු අත්සන් කරලා එවන්න කියලා සමරු පොත්වල පිටු එවනවා මුද්දර ගහපු ලියුම් කවරවල. ඒ හැමෝටම පුළුවන් විදිහට ඉල්ලීම් ඉටු කරන්න මම ඒ දවස්වල උත්සාහ ගත්තා. සමහර රසිකයන් මට සාහිත්‍ය පොතුත් තැපෑලෙන් එව්වා.

තරුණ කාලෙදී ආදර සම්බන්ධතා එහෙම තියෙන්න ඇති.
අම්මෝ ඔව්. අවුරුදු 19-20 වගේ කාලෙදි බරපතළ විදිහට ආදර සම්බන්ධතාවල පැටලී හිටියා. හැබැයි ඉතිං රඟපෑමට එනකොට නම් මට පෙම්වතියක් හිටියේ නැහැ.

ජීවිතයට දැනෙන්න හිතට ලොකු ආදරයක් දැනුණේ?
මගේ ලොකු පුතා ඉපදුණු මුල්ම දවසේ ඔහුව අතට ගත්තදා.

මෙතෙක් කාලයකට දැකපු සුන්දරම මනාලිය?
මගේ බිරිඳ ප්‍රීති මනාලියක් ලෙසට සැරසුණු දවස.

ජීවිතේ අමතක නොවන සිදුවීම?
සිදුවීම් කිහිපයක් තියෙනවා. ඒ අතරේ මට අදටත් හිතට දැනෙන සිදුවීමක් තමයි තරුණ කාලයේදී යාළුවෙක් එක්ක හෝර්ටන් තැන්නට ගිය වෙලාවේ රාත්‍රියේ දී අතරමං වුණා.

අන්ධකාරයේ යන්න තැනක් නැතුව ඉන්න කොට ඇත්තටම ජීවිතේ අත් හැරියා කියලා දැනුණා. පසු දා උදෑසන හිරු එළිය වැටෙන කොටයි හිතට ජීවිතය ගැන බලාපොරොත්තුවක් දැනුණේ.

තවත් දවසක් ගඟේ නාන්න ගිහින්, මහා වළකට ඇදගෙන වැටිලා යටට යන්න පටන් ගත්තා. පීන ගන්නත් බෑ. යටටම යනවා. කාටවත් බේර ගන්නත් බෑ. මේ වෙලාවේ මට මරණ බිය තදින්ම දැනුණා. හාස්කමකට වගේ ටික වෙලාවකින් මමම කකුල් ගහ ගහා උඩට ආවා.

රඟපෑම වැනි වෘත්තියක් ඔබට ලැබුණේ?
මා විශ්වාස කරනවා එය දේව වරමකින් ලැබුණ දෙයක් කියලා. මා අද ලබන ගෞරවය, ජනතා ආදරය, පිළිගැනීම මේ සියල්ල මට ලැබුණේ මා විසින්ම කලාව තුළින් ගොඩනගා ගත් දෙයින්.

ජීවිතය ගැන ආපසු හැරී බලද්දී?
ඇත්තටම මට මගේ ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන්. අපිට සමහර අය කියනවා එයා හරි හොඳ කෙනෙක්. තවත් සමහරුන්ට කියනවා නරකයි කියලා. හොඳ ගොඩක් තියෙන නරක අඩුවෙන් තියෙන අයට තමයි අපි හොඳ කියන්නේ. මුළු ජීවිත කාලෙම නරකම කරලා හොඳ අඩුවෙන් කරන අයව අපි හඳුන්වන්නෙ නරක අය කියලා. ජීවිත කාලය පුරාවට අපි කෙනෙකුගේ දියුණුවට බාධා කරලා නැත්නම් යහපත්ව ජීවත්ව සිටිනවා නම් සිතුවිලිවලින් පවා අන් අයට යහපතක් කරනවා නම් මම හිතනවා ඒ මානසික තෘප්තිය ලෝකයක් වටිනවා. එහෙම බැලුවාම මට මගේ ජීවිතය ගැන සැබෑවටම තෘප්තිමත්.

අද ඔබ?

දරු තිදෙනෙකුගේ ආදරණීය පියෙක් වාගේම මුණුබුරන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර සීයා කෙනෙක්. පවුල් ජීවිතය වගේම වෘත්තිය ජීවිතය සාර්ථකව කළා කියලා අභිමානවත් සතුටක් තිබෙනවා.

අසුන්තා එදිරිසූරිය

under the courtesy of gossip.hirufm.lk news web





------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka