Monday, February 3, 2020

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අත්අඩංගුවට ගන්න නියෝගයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍ර‍සේන මහතා සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර ගුවන් යානා මිලට ගැනීමකදී සිදු වූ බව පැවසෙන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වන චෝදනා මත නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් උපදෙස් අනුවයි.

2013 වසරේදී ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇතිවූ ගනුදෙනුවකදී සිදු වූ බව පැවසෙන අල්ලස් ලබා දීමක් සම්බන්ධයෙන් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ බරපතළ මූල්‍ය වංචා සහ අල්ලස් සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන බ්‍රිතාන්‍ය කාර්යාලයක් සිදුකළ විමර්ශනයක් උපුටා දක්වමින්.

එහි පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේ අතරමැදි පාර්ශ්වයක් ලෙස යම් සමාගමක් ක්‍රියා කර ඇති බවයි.

එම සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳට අයත් බවත් එය බෘනායිහි ලියාපදිංචි කර ඇති සමාගමක් බවටත් විදෙස් වාර්තා පෙන්වා දී තිබුණි.

එම සමාගම මෙම ගුවන් යානා එයාර් බස් සමාගමෙන් මිලදී ගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බලපෑම් කර ඇති බවත් ඒ සඳහා එයාර් බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 17ක් අදාළ සමාගමට ගෙවීමට එකඟ වී ඇති බවත් එම වාර්තාවල දැක්වුණි.

ඉන් ඩොලර් මිලියන දෙකක් එයා බස් සමාගම මගින් අතරමැදි සමාගමට ගෙවා ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

ඒ අනුව අදාළ ගනුදෙනුවේදී සිදු විනැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ බලධාරීන්ට නියෝගයක්ද නිකුත් කළේය.

මෙවැනි පසුබිමක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මුදල් විශුද්ධිකරණ චෝදනාවට සැකකරුවන් ලෙස නම් කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි.

නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ උපදෙස් මාලාවේ වරෙන්තු ලබා ගැනීම සඳහා හේතු වන කරුණු රැසක් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රාජකාරි කළ කපිල චන්ද්‍රසේන වෙත EADS HQ/SSC FRANCE යන එයාර් බස් සමාගමේ මව් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක් ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට අයත් සිංගප්පූරු බැංකු ගිණුමකට අල්ලස් හෝ තුටු පඬුරු වශයෙන් ගෙවා ඇති බව අනාවරණ වන බව නීතිපතිවරයා එහි දන්වා ඇත.

නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මුදල් විශුද්ධිකරණ වරද කපිල චන්ද්‍රසේන විසින් සිදුකර ඇති බවත් ඔහුගේ බිරිඳ එයට අනුබල දී ඇතැයිද පෙනීයන බවයි.

ඒ අනුව කපිල චන්ද්‍රසේන සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය මුදල් විශුද්ධිකරණය කිරීමේ වරදට සැකකරුවන් ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට සාධාරණ සැකයක් මතු වී ඇති බවයි නීතිපතිවරයා පවසා ඇත්තේ.

තවද කපිල චන්ද්‍රසේන යන අය අල්ලස් පනතේ ප්‍රතිපාදන යටතේද වැරදි සිදුකර ඇතැයි ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් ඊට අදාළ විමර්ශන උධෘත සහ ලේඛන අවශ්‍ය කටයුතු සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්තාවක් සහිතව ඉදිරිපත් කිරීමට වහාම කටයුතු කරන ලෙස නීතිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේ සැකකාර කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරන බවයි.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගෙන් විමසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වූයේ කුමන වර්ෂයේද යන්නයි.

2016 වසරේ 08 මස 05වන දින මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇති බව විමර්ශන නිලධාරියා එහිදී පිළිතුරු ලබා දුන්නේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2011 වසරේදී ගුවන් යානා 14ක් මිලදී ගැනීම සඳහා යෝජනාවක් සම්මත වී ඇති අතර එහිදී එයාර් බස් සමාගම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වෙත කොමිස් මුදලක් ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

සිද්ධියේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු  බවත් ඇය ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයට බෘනායි රාජ්‍යයේ ලියාපදිංචි කළ " බිෂ් සොලූෂන් ඉන් " නමින් සමාගමක් ඇති අතර එම සමාගමට අයත් සිංගප්පූරුවේ ඇති බැංකු  ගිණුමකට
එයාර් බස් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් 2013 දෙසැම්බර්  මස 27  වන දා යොමු කර ඇති බවයි.

එම මුදල් එම ගිණුමෙන් අවස්ථා 4කදී කපිල චන්ද්‍රෙස්න නැමැති අයට අයතු ගිණුමකට මුදල් බැර වී ඇති බව ද විමර්ශකයන් කියා සිටියේය.

එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව විමසු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා සඳහන් කළේ සැකකරුවන් අධිකරණය පැහැර හැරීම සඳහා කටයුතු කරන්නේද යන්න පිළීබඳ සාධාරණ සැකයක් මතුවන බැවින් එම ඉල්ලීම සිදුකරන බවයි.

ඒ අනුව කරුණු විමසා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ නඩු විදාන සංග්‍රහයේ 139.1 (ආ) වගන්තිය ප්‍රකාරව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අද වරෙන්තුවක් නිකුත් කළේය.

ඒ අනුව නඩුව පෙබරවාරි 11වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළේය.

 
under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka