Tuesday, January 28, 2020

වූහාන්හි නිවාසවල සිර වූ ජනතාව කෑගසමින්, අසල්වැසියන් දිරිගන්වන සංවේදී වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට - Video

චීනයෙන් බිහි වූ මාරාන්තික නව කොරෝනා වෛරසය කඩිනමින් මෙලොවින් තුරන් නොවනු ඇති බවට වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.

කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ෆිස්මාන් පවසන පරිදි වෛරසය අවම වශයෙන් තවත් මාස කිහිපයක් ලොව පුරා සංසරණය වෙමින් පවතිනු ඇති.

කොරෝනා වෛරසය පිළිබඳව මාර්ගගත පුවරුවක් පවත්වාගෙන යන කැනඩාවේ නෝර්ත් ඊස්ට් විශ්වවිද්‍යාලය පවසන පරිදි වෛරසයේ අවදානම ඉදිරි සතියේ හෝ මාසයේදි අවසන් වනු ඇතැයි සිතිය නොහැකියි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයන් සිව් දෙනෙකුට

සම්ප්‍රේෂණය වීමේ අවස්ථාවක් පවතින බවයි.

එය සාමාන්‍ය තත්ත්වයක් නමුත් ඇතැම් විට ඊට වැඩි සංඛ්‍යාවකටද වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව නෝර්ත් ඊස්ට් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ෆිස්මාන් පවසනවා.

මෙම මාරාන්තික වෛරසය චීනය ද ඇතුළුව මේ වනවිට රටවල් 18ක ව්‍යාප්තව ඇති අතර ඊට ඇතුළු වූ ආසන්නතම රටවල් වූයේ ශ්‍රී ලංකාව සහ ජර්මනියයි.

චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළේ මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වූ චීනයේ පුද්ගලයන් 106 දෙනෙකු මේ වනවිට මරණයට පත්ව ඇති බවයි.

චීනයේ පුද්ගලයන් 4515කට වෛරසය ආසාදනය වී ඇති අතර එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තා අනුව පුද්ගලයන් 976 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්.

චීනයේ තවත් පුද්ගලයන් 6973කට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සැක කරනවා.

කෙසේ වෙතත් සුවය ලැබූ පුද්ගලයන් 60 ‍දෙනෙකු ඊයේ පස්වරුව වනවිට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම වෛරසය ආසාදනයවීමෙන් චීනයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ වූහාන් නගරය පිහිටි හුබෙයි පළාතෙන් වන අතර එම ගණන 100ක්.

චීනයේ අගනුවර වන බීජිං නගරයෙන්ද වෛරසයට ගොදුරු පුද්ගලයෙකුගේ මරණයක් ඊයේ වාර්තා වුණා.

කෙසේ වෙතත් කැනඩාවේ නෝර්ත් ඊස්ට් සහ හොංකොංහි විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පවසන පරිදි චීනයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 40,000 ඉක්මවා තිබිය හැකියි.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන හුබෙයි පලාතේ සිට පැමිණෙන පුද්ගලයන් දින 14 ක් නිරෝධායන ස්ථානයක රඳවා නිරීක්ෂණය කිරිමට බීජිං සහ ෂැංහයි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

වෛරසය හමුවූ හුබෙයි පළාතේ වූහාන් හි නිවාසවල සිර වූ ජනතාව කෑගසමින් අසල්වැසියන් දිරිගන්වන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

අත්‍යවශ්‍ය කාරණයක් හැරුණු කොට හුබෙයි පලාතේ සංචාරය කිරිමේ සීමා තවදුරටත් බලාත්මක නමුත් ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ, ඖෂධ සහ ආහාරපාන බෙදා හැරීමට බලධාරීන් කටයුතු කරනවා.

ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා දින 15කින් ඉදි කෙරෙන ඇඳන් 1000කින් සමන්විත රෝහලේ පළමු වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.

කොරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන මවක් වූහාන් හි රෝහලකදී සාර්ථකව දරුවකු ප්‍රසූත කළ බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීමට ෂැංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සමත් වී ඇති බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත වාර්තා කරනවා.

එහි දැක්වෙන්නේ මෙම ඖෂධය දියරයක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බවයි.

කොරෝනා වෛර වසංගත තත්ත්වය පාලනයට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව ඇති අතර එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසන්නේ ඒ සඳහා චීනයට ඇති හැකියාව පිළිබඳ තමන්ට පූර්ණ විශ්වාසයක් තිබෙන බවයි.

චීනයට අයත් අර්ධ ස්වයං පාලිත ප්‍රදේශයක්වන හොංකොං හි දේශ සීමාව ආසන්නයේ ප්‍රතිකාර ලබාගැනිම සඳහා පැමිණි ජනතාව අතර දැඩි තදබදයක් පවතින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර වෛරසයේ තිඹිරි ගෙය වූ චීනයේ වූහාන් නගරයෙ සිටින තම රටවැසියන් ඉවත් කරගැනීමට ඇමරිකාව, ප්‍රංශය, ජපානය ඇතුළු රටවල් චීන බලධාරින් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ජපානය හෙට උදෑසන වූහාන් බලා විශේෂ ගුවන් යානයක් පිටත් කර යැවීමට නියමිත බව වාර්තාවනවා.

යුරෝපා සහ ආසියානු ඇතුලු ලොව රටවල් රැසක් මේ වනවිට චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ජනතාවට උපදෙස් දී ඇති අතර, චීන ජාතිකයන් තම රටවලට පැමිණීමේදී විශේෂ වීසා ක්‍රමවේද හඳුන්වාදීමටත් පියවර ගෙන තිබෙනවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka