Tuesday, October 10, 2017

උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක - විස්තර මෙන්න

උතුරු කොරියාව මත සම්බාධක පැනවීමට ලංකා රජය රෙගුලාසි නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.. රජය මෙම පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික ,රසායනික සහ ජෛව.. අවි ප්‍රගුණනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවක් අනුවය. මෙම නියෝග නිකුත් කර ඇත්තේ විදේශ අමාතය තිලක් මාරපන මහතා විසිනි.

ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරමින් උතුරු කොරියාව කරනු ලබන න්‍යෂ්ටික අවි හා න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින තුරු සහ බැලිස්ටික් මිසයිල හා න්‍යෂ්ටික මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්හිටුවන තුරු උතුරු කොරියාව සම්බන්ධයෙන් සම්බාධක පනවන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට දැනුම් දී තිබේ.ඒ අනුව එහි සාමාජිකයකු වන ශ්‍රී ලංකාව මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ උතුරු කොරියාව 1970 සිට රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා පවත්වාගෙන ගියද රටවල්
දෙකම නේවාසික දූත මණ්ඩල පවත්වන්නේ නැත.
රෙගුලාසි අනුව සම්බාධක පනවනු ලබන බවට වගබලා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත විදේශ ඇමතිවරයා විසින් නිසි බලධාරියකු පත් කරනු ඇත.

මෙමගින් න්‍යෂ්ටික වැඩපිළිවෙලට සම්බන්ධ කිසිදු උපකරණයක් උතුරු කොරියාවේ පුද්ගලයකු වෙනුවෙන් භාවිතය, හුවමාරු කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, තොග රැස්කිරීම, අත්පත් කරගැනීම, ළඟ තබාගැනීම, නිෂ්පාදනය, මේ හා සම්බන්ධ සේවා සැපයීම හෝ සහාය ලබාදීම, උපදෙස් ලබාදීම, තාක්ෂණික පුහුණුව ලබාදීම, මූල්‍යමය සේවා සැපයීම, වත්කම් සැපයීම හා ලබාගැනීම මෙරට සහ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තහනම් කර තිබේ.

උතුරු කොරියාවට ඉන්ධන සේවා සැපයීම, නැව් බද්දට හෝ කුලියට ලබා දීම හෝ නැව් කාර්ය මණ්ඩලය කුලියට ලබාදීම ද මෙමගින් තහනම් කර තිබේ. උතුරු කොරියානු මූල්‍ය ආයතනවලට ලංකාවේ නව ශාඛා, අනුබද්ධ ආයතන හෝ නියෝජිත කාර්යාල විවෘත කිරීමට ඉඩ නොදෙනු ඇත.

උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්, උතුරු කොරියානු රාජ්‍ය නියෝජිතයින්, රාජ්‍ය හෝ නියෝජිත නිල කාර්යාලවල සේවය කරන උතුරු කොරියානු ජාතිකයින්, උතුරු කොරියා වෙනුවෙන් හෝ එහි නියෝග මත ක්‍රියා කරන විදේශීය ජාතිකයින් සහ උතුරු කොරියාවට සම්බන්ධ අනෙක් පුද්ගලයින් නෙරපා හැරීම සඳහා රජයට නිර්දේශ කිරීමේ  බලය රෙගුලාසි පනවන බවට සහතික කිරීම සඳහා පත් කරන ලද බලධාරියාට ඇත.

තහනම් කර තිබෙන ක්‍රියාකාරකම් සම්බන්ධ බවට තහවුරු වුවහොත් උතුරු කොරියානු රජයේ ආයතන හෝ උතුරු කොරියානු සේවකයින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන අරමුදල්, මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනම් කිරීමට මෙම නිසි බලධාරියාට බලය ඇත.

මෙම රෙගුලාසිවලට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇති අනෙකුත් රෙගුලාසි ද ශ්‍රි ලංකා රජය ප්‍රකාශයට පත් කළේය.

මෙම රෙගුලාසි මගින් න්‍යෂ්ටික, රසායනික හෝ ජෛව අවි නිෂ්පාදනය,අත්පත් කරගැනීම, ළඟ තබාගැනීම .වැඩි දියුණු කිරීම, ප්‍රවාහනය, හුවමාරු කිරීම, භාවිතය හෝ ඒ හා සම්බන්ධ දෑ ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම තහනම් කරනු ලැබ තිබේ.

සාමය සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා රසායනික හා ජීව විද්‍යාත්මක ආයුධ ආශ්‍රිත අමුද්‍රව්‍යය ශ්‍රී ලංකාව තුළ අපනයනය, තැනින් තැනට ගෙනයාම, නැවකින් නැවකට ගෙන යාම හෝ ප්‍රතිඅපනයනය අදාළ ලිඛිත නීතියට අනුව සිදු කෙරෙනු ඇත.

මෙම රෙගුලාසි යටතේ වැරදි කරනු ලබන පුද්ගලයකු මහාධිකරණයේ නියෝග අනුව වසර 25 දක්වා වූ සිර දඬුවමක් හෝ රුපියල් මිලියන පහකට වඩා නොවැඩි දඩයක් හෝ එම දඩුවම් දෙකම හෝ ලැබීමට යටත් වෙයි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka