අපයෝජන සිද්ධිය: DNA පරීක්ෂණයට රුධිර සාම්පල දෙන ලෙස පල්ලේගම හිමියන්ට නියෝග කෙරේ.

0

බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (ජූනි 12) නියෝග කළේ ය.

ඒ අනුව, එළඹෙන ජූනි මස 16 වන දා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් රජයේ රස පරීක්ෂකවරයා වෙත තම රුධිර සාම්පල ලබාදෙන ලෙස සැකකාර හිමිනමට නියෝග කළේ ය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ, නිට්ටඹුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවක් මගින් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නේ, අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 4 වන දා DNA පරීක්ෂණයක් සඳහා නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණ බව ය.

එම නඩු භාණ්ඩ වූයේ, අදාළ දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත්, රුධිරය තැවරී ඇතැයි සැක කෙරෙන ඇඳුම් ය.

එම නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් DNA පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහිදී දැරියගේ ඇඳුම්වල DNA ඇලීල අන්තර්ගතව ඇති බව රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් තහවුරු වී ඇති බව පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ ය.

රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වූ එම DNA ඇලීල සමග සැසඳීම සඳහා සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමග සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ගැළපෙන්නේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා හිමිනමට රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝග කරන මෙන් පොලිසිය අධිකරණයෙන් අයැ ද සිටියේ ය.

මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රුධිර සාම්පල ලබා දීමට නියෝග කළ අතර ඉන් අනතුරුව සිදුකරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ ය.

බාල වයස්කාර දැරිය බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මීට පෙර බන්ධනාගාරගත කර සිටි අතර පසුව උන්වහන්සේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබිණි.

එසේ ම, සැකකාර හිමියන් දරමින් සිටි අටමස්ථානාධිපති තනතුර සහ නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පදවිය ඉකුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

Under the courtesy of ceylontoday.lk
ssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!