නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කරනු ලැබ තිබේ.
එමෙන් ම, එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද නියෝග කර ඇත.
මෙම නියෝගය ලබා දී ඇත්තේ, පියුමි හංසමාලි නමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල අද (මාර්තු 21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.
එහිදී පියුමි හංසමාලී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ අධිකරණය හමුවේ සඳහන් කළේ, තම සේවාදායිකාව රූපලාවණ්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බව ත් ඒ යටතේ මේ වනවිට ගනුදෙනුකරුවන් 34,506 දෙනකුට අධික පිරිසකට කුරියර් මාර්ගයෙන් එම ආලේපන අලෙවි කර තිබෙන බව ත් ය.
තම සේවාදායිකාව අඩු මිලකට අදාළ ආලේපන ලබාගෙන රුපියල් තිස් හතලිස් දහසක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවට ඊයේ දින සියලු මාධ්‍යවලින් ප්‍රවෘත්ති පළ කර තිබූ බව ත් එය සම්පූර්ණයෙන් අසත්‍ය වන අතර මේ තුළින් සිය සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවන බව ත් ඔහු පැවසීය.
ඒ අනුව, තම සේවාදායිකාවගෙන් ආලේපන මිල දී ගත් ගනුදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් බිය වී මෙම ආලේපන මිල දී ගැනීමෙන් ඈත් වී තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බව නීතිඥවරයා සඳහන් කළේ ය.
නිරූපණ ශිල්පිණියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා ‘අම්බපාලි අද සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති’ බව සඳහන් කර සිටියේ ය.
ඒ අනුව, තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීම වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීතිවිරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරණා කියා සිටියේ, පියුමි හංසමාලි නමැත්තිය රුපියල් 30,000කට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා තිබෙන බව සඳහන් කොට ඇති බව ය.
2023 වසරේ නොවැම්බර් මස 22 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රබල කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් අතර එම ජාවාරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණයවී ඇතැයි ද කියා සිටියේය.
පියුමි හංසමාලි නමැත්තියට අයත් සුඛෝපභෝගී මෝටර් රථය මේ වනවිටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දුන්නේ ය.
එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවි කර තිබුණේ, සත්‍ය වශයෙන් ම ආලේපන ද එසේත් නැත්නම් කිසියම් නීතිවිරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට සිදුවී ඇති බව කියා සිටියේය.
මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පුද්ගලයින්ගෙන් විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසියට බලය තිබෙන බව තමා පිළිගන්නා බව ය.
මෙම තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමට වගබලා ගන්නැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තැනැත්තියගේ ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගත යුතු බව සඳහන් කළේ ය.
ඒ අනුව, මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියම කරනු ලැබීය.
Under the courtesy of ceylontoday.lk