Tuesday, May 9, 2023

මීන නුවන් යුගින් බලන දිව්‍යාලා: මුහුදු වැදි ප්‍රජාවේ කඳුළු කතාව

මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කි.මීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන මදුරංකේනිකුලම්හි ය. සී.ආර්. පොතක් අතැතිව පාර දිගේ කඩිමුඩියේ ඉදිරියට ඇදෙමින් සිටි දිව්‍යා නවත්වා ඇගේ නම ඇසුවෙමි. ඇගේ දෑස් වල අල්ප මාත‍්‍රයක් හෝ බියක් නොතැවරුණු නමුත් ඇගේ දුප්පත්කම සඟවන්නට ඈ පැළඳ සිටි ඇඳුමට නොහැකි විය. අනතුරුව ඈ පාසලේ ඉගෙන ගන්නා ශ්‍රේණිය සහ ගෙදර ඉන්නේ කවුද යන පැනය ඇසුවෙමි. සත්වන වසරේ ඉගෙන ගන්නා බව කී ඈ මිත්තනිය සහ අයියා පමණක් ගෙදර ඉන්න බව කීවා ය. ''එතකොට කෝ අම්මා?” මම ඇසීමි. ''අම්මා රට” ප‍්‍රශ්නයට වඩා ඇගේ පිළිතුර ඉක්මන් විය. ''මොන රටේ ද?” ''දන්නෙ නෑ” නැවතත් දිව්‍යාගේ පිළිතුර කෙටි වූයේ මා මග හරින්නටදැයි සිතුනි. ''එතකොට තාත්තා කෝ” ''දන්නෙ නෑ” යනුවෙන් නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නාය. දිව්‍යා කවදාවත් ඇගේ පියා දැක නැත. ඇය පමණක් නොව ඈ ජීවත්වන ගමේ දරුවන් ගණනාවක් ම දන්නේ තමන්ගේ මව පමණක් වන අතර උප්පැන්න සහතිකයේ පියාගේ නම නැති දරුවන් ගණනක් සිටිති.

මදුරන්කේනිකුලම පිහිටා තිබෙන්නේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේයි. මෙහි ජීවත්වන ජනතාව පොදුවේ හඳුන්වනු ලබන්නේ මුහුදු වැදි ප‍්‍රජාව යනුවෙනි. මොවුන්ගේ  විශේෂත්වය වන්නේ පැරණි වැදි ප‍්‍රජාවේ වැදි භාෂාව වෙනුවට දමිළ භාෂාව කතා කරන එකම ජන කොටසක් වීම නිසයි. පැණි එකතු කිරීම, මාළු ඇල්ලීම, ගොවිතැන් කටයුතු සහ කුලී වැඩ ඔවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපායයි. තාක්ෂණික කුසලතා සහ උසස් අධ්‍යාපන සුදුසුකම් වැඩි වැඩියෙන් අගය කරන සහ විශාල නගරවල හොඳ වැටුප් සහිත රුකියා බහුලව දක්නට ලැබෙන ලෝකයක, මදුරන්කේනිකුලමේ හැදී වැඩෙන දරුවන්ගේ ජීවිත අවස්ථා මොනවාද? මේ පිළිබඳව සොයා බැලීමට මම මෙම පුරාණ ප‍්‍රජාව සොයා ගියෙමි. 

සතීෂ්කරන් යාන්තම් වයස අවුරුදු 18 පිරෙන කඩවසම් ඉළන්දාරියෙකි. ගමේ පාසල වන මදුරංකේනිකුලම් රජයේ දෙමළ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු වැඩ දෙකක් පමණක් සමත් වී ඇත. ''අපේ ඉස්කෝලෙ සමහර විෂයන්වලට ගුරුවරු හිටියෙ නෑ. ගණිතයට හිටියෙ නෑ. ඉංග‍්‍රීසිවලට හිටියෙ නෑ.” ඔහු පැවසී ය. තමාට වැඩි දුර අධ්‍යාපනය ලැබීමට හෝ වෘත්තීය අධ්‍යාපනය ලැබීමට අවකාශයක් නොලැබුණු නිසා වෘත්තිය ලෙස තම පියා මෙන් ගොවිතැන් කටයුතුවල නිරතවීමට සිදුව ඇතැයි ඔහු චෝදනා කළේය. සතීෂ්කරන්ගේ ප‍්‍රකාශය ගැන මා සොයා බැලූ අතර. ඔහු ජීවත් වන ප‍්‍රදේශය ආසන්නයේ කිසිදු වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් නොමැත. මදුරංකේනිකුලමේ වැඩි දුර අධ්‍යාපනයට කැමැත්තක් දක්වන්නකු පවා සැතපුම් 50ක දුරක් ගෙවා වාලච්චේන වෙත පැමිණිය යුතුය. වෘත්තීය අධ්‍යාපනික පහසුකම් නොමැති නිසා නුපුහුණු ශ‍්‍රමිකයන් ලෙස කුලී වැඩට යාමේදී බරපතල ශ‍්‍රම සූරා කෑමට ඔවුහු ගොදුරු වෙති.

පාසලේ පවතින දැඩි ගුරු හිඟයට ප‍්‍රධාන හේතුව ප‍්‍රවාහන දුෂ්කරතාවයි. පාසලට පැමිණෙන ගුරුවරුන් කි.මී. 70කට වැඩි ඈත ප‍්‍රදේශවලින් පැමිණෙන අතර මදුරන්කේනිකුලම අතුරු මාර්ගය නිතර අනතුරු සිදුවන, යතුරු පැදි අබලන් වන, වල් අලි තර්ජන බහුල මාර්ගයකි. එම සියලු බාධක ගෙවා උදෑසන පාසලට පැමිණ පංති කාමරයට ඇතුළු වන ගුරුවරයා කිසිදු උද්යෝගයක් නොමැතිව ඉතා තෙහෙට්ටුවෙන් ඉගෙන්වීම් කටයුතු කරයි. පවතින දුෂ්කතා නිසා බොහෝ දෙනෙක් වෙනත් ස්ථානයකට ස්ථාන මාරුවක් ලබා ගැනීමට තැත් කරයි. ඊට අමතරව ඇතැම් ගුරුවරු මෙම පාසලට තාවකාලික අනුයුක්තයක් ලබා හෝ දඬුවම් ස්ථාන මාරුවක් ලබා පැමිණ සිටීමත් සැලකිල්ලට ගත යුතුය.

''පාසලේ දැඩි ගුරු පුරප්පාඩුවක් තියෙනවා” මාර්කේනිකුලම් පාසලේ ද්විතීක අංශයේ ගුරුවරයෙක් වන මුත්තුවේල් රාසන් මහතා පැවසීය. ''මේ අවුරුද්දේ ප‍්‍රාථමික අංශයට ගුරුවරු තිදෙනෙක් ඉන්නවා. මීට කලින් කිසි කෙනෙක් හිටියෙ නෑ. එතකොට ළමුන් උදේ පාසලට ඇවිත් පාසල් වේලාව අවසන් වෙනකම් නිකරුණේ පංති කාමරය තුළ කාලය ගෙවලා ගෙදර යන තත්ත්වයක් තිබුණා. මේ විදිහට මූලික අංශයේ ගැටලු නිසා මූලික අධ්‍යාපනයේ දී ලබාගත යුතු අවම ප‍්‍රගතිය නොලබා ද්විතීක අංශයට ළමුන් පැමිණෙනවා. එනිසා ද්විතීක අංශයේ පංති කාමරය තුළ අකුරු පවා අඳුරන් නැති ළමුන් ඉන්නවා. ද්විතීක අංශයේ ළමුන්ට උගන්වද්දි අපිට තියෙන ලොකුම අභියෝගය ඒක” ප‍්‍රාථමික ගුරුවරුන්ගේ හිඟය සියලු ගැටලුවලට මුල බව තමන්ට හැඟෙන බව ඔහු පෙන්වා දුන්නේය. මම විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් කරුණු විමසීමක් කළත් ඔහු අදහස් දැක්වීමට කැමති වූයේ නැත.

මදුරන්කේනිකුලම අයත් කුංජාන්කුලම් ග‍්‍රාමයේ වසර 07ක් පුරා සේවය කරන ග‍්‍රාමසේවක දයාලන් මහතාට අනුව ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ප‍්‍රධාන හේතුව දෙමාපියන් ය. ''දෙමාපියෝ හිතන්නේ තම ළමුන් සාමාන්‍ය පෙළින් පසු ඉගෙන ගත්තත්, තමන් කරන රස්සාවම කරන නිසා දැන්ම අපි කරන රස්සාව ම කරපුවාවේ කියලා.” දයාලන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ දෙමාපියන්ගේ එම පසුගාමී අදහස් ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටීමට බලපාන බවත්  දෙමාපියෝ තම දරුවන් තමන්ට බරක් යැයි සිතන බැවින් ළමුන් හැකි ඉක්මනින් විවාහ කර දීමට කටයුතු කරන බවත්ය. 

මදුරන්කේනිකුලම් ගම්වාසීන්ගේ උන්නතිය සඳහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව විවිධ විෂයන් භාර නිලධාරීන් 15ක් පමණ සිටියත් තවමත් ගමේ ප‍්‍රගතියක් පෙන්වීමට නොහැකි වී ඇතැයි කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන නිලධාරී කේ. ජයවදනන් මහතා කියා සිටී. සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන්ගේ කිසිදු දායකත්ව නැතැයි හෙතෙම තවදුරටත් කීවේය. ''මදුරන්කේනිකුලම ග‍්‍රාමයේ දෙමාපියෝ සිය දරුවන් ඔවුන් සිටින තැනින් එළියට ගෙනඒමට ඉඩ දෙන්නේ නැහැ.''

දෙදරු පියකු වන හතළිස් හැවිරිදි සෙල්ලයියා අන්නකුමාර් ඊට එකඟ නොවේ. පාසල් කටයුතු නිසි පරිදි සිදු නොවීම නිසා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇතැයි ඔහු සිතයි. ''ගුරුවරු දුර පළාත්වල ඉඳන් ගමේ ඉස්කෝලෙට එනවා. වැස්ස දවස්වලට ගමට එන්න බෑ. වතුර පිරෙනවා, ගංවතුර ගලනවා. ගමේ ළමයින්ට ඉස්කෝලේ යන්නත් බෑ. වැවත් පිටාර ගලනවා.”

උසස් අධ්‍යාපනය හැදෑරීමට ආශාවක් ඇති මදුරන්කේනිකුලම් සිසුන්ට, විකල්ප දෙකක් තිබේ. එක්කෝ දරුවා කිලෝමීටර් 13ක් ඉතා දුෂ්කර දුරස්ථ මාර්ගයක ගමන් කර තවත් කිලෝමීටර් 20ක් ප‍්‍රධාන මාර්ගයේ බස් රථයකින් ගමන් කර වැඩි පහසුකම් ඇති වාකරේට ළඟා විය යුතුය, එසේ නොමැති නම්, කිලෝමීටර් 15 ක් පමණ ගමන් කර අඩු පහසුකම් ඇති පාංචේනයට යා යුතුය.

මංකේනිකුලම්හි උසස් පෙළ අධ්‍යාපනය ලබන එකම ශිෂ්‍යාව සින්නතම්බි පංචාතිරම්ගේ දියණියයි. ඇය ගමේ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවාය. එම පාසලේ සාමාන්‍ය පෙළ සමත් නොවූ ඇය මාංකේනි පාසලට මාරු කිරීමට ඇයගේ පියා කටයුතු කළේ ය. එහිදි සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු උසස් පෙළ සඳහා පාංචේනෙ පාසලට ඇතුළත් කරනු ලැබුවාය. ඒ පියාගේ උනන්දුව නිසා ය. දෛනිකව පංචාතිරම්ගේ දියණිය වල් අලි ප‍්‍රහාරයෙන් මුදවා මහපාරට රුගෙන යාමේ සහ නැවත රැගෙන ඒමේ වගකීම පියා විසින්ම දරයි. ''පාන්දර 5ට ගෙදරින් යන්නේ. එතකොට තමයි 6.30 බස් එකට පාරට යන්න පුළුවන්. අපි ගමට සී.ටී.බී. බස් එකක් ඉල්ලූවා යන්න එන්න අමාරු නිසා. එයාලා කියනවා මේ පාරේ බස් දුවන්න බැහැ දූවිලි නිසා” ඔහු පැවසීය. ප‍්‍රවාහන දුෂ්කරතාව මාංකේනිකුලම් ග‍්‍රාමවාසි ජනයාගේ ඉරණම බවට පත්වී ඇත. ''දුව ස්කෝලෙ යවන්න විතරක් එක දවසකට රුපියල් 400ක් ඕන. මාසෙට 10,000ක් විතර වියදම් වෙනවා.” පංචාතිරම් මැසිවිලි නැගීය. 

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ ආදිවාසි ප‍්‍රජාවේ නායකයා වන වේලායුදම් මහතාද මදුරන්කේනිකුලම් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ප‍්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳවද ඔහුට ඇත්තේ කනස්සල්ලකි. අධ්‍යාපන කාර්යාලයේ ලේකම් මුණගැසී සියලු විෂයයන්ට ගුරුවරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් එම හිඟයට විසඳුම් ලැබී නැතැයි ඔහු කීවේය. තාවකාලික ගුරු අනුයුක්තිය වෙනුවට ස්ථිර පත්වීම් මදුරන්කේනිකුලම පාසලට ලබාදීම සාධනීය විසඳුමක් යැයිද වේලායුදම් මහතා අවධාරණය කළේය.

කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ කේ. ජයවදනන් පවසන්නේ මදුරන්කේනිකුලම පාසලේ ගණිතය, විද්‍යාව, ඉංග‍්‍රීසි වැනි අනිවාර්ය විෂයයන් කිහිපයකටම ගුරු හිඟයක් පවතින නමුත් වන අලි ප‍්‍රශ්නය ගුරුවරුන්ගේ ජීවිතවලට හා ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බැවින් ඔවුන් ස්ථාන මාරුවීම් ලබා ගන්නා බවයි. ඔහු පවසන්නේ මෙතරම් කුඩා පාසලක සම්පූර්ණ විෂය පරාසයම ඉගැන්වීමට අවශ්‍ය විශේෂඥ ගුරුවරු ලබාදීම අපහසු බවයි මම මදුරන්කේනිකුලම ගමෙන් පිටව කොළඹ එනවිට බර කල්පනාවකට වැටීමි. මදුරන්කේනිකුලම් ගම්මානයට ගිය ගමනේදී මා පසුකර ගියේ නගරවල වෙසෙන ධනවත් ව්‍යාපාරිකයන්ට අයත් ගම අවට තිබූ වෙල්යායවල් පසුකරමිනි.මදුරන්කේනිකුලම තරුණ ජීවිත ගෙවී යාමට ඉඩ ඇත්තේ මේ වෙල්යායවල් තුළ බව මට මතක් විය. 18 හැවිරිදි සතිස්කරන්ගේ වචන මා තුළ නැවත නැවතත් රුව්දුන්නේය.'' ''අපි වෙනත් රුකියාවක නියැලීමට කැමතියි, නමුත් අපට වෙනත් රුකියාවක් ලැබෙන්නේ නැහැ. පාසලේ මගේ පන්තියේ සිසුන් දහ දෙනෙක් හිටියා දැන් ඔවුන් දහ දෙනාම කම්කරුවන් ලෙස වැඩ කරනවා'

 under the courtesy of deshaya.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka