
ගෝලීය වශයෙන් කොළරා රෝගීන්ගේ වැඩිවීමක් සිදු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය අනතුරු අඟවා ඇත්තේ, ඒ හේතුවෙන් රටවල් 43ක බිලියනයක ජනතාව අවදානමට ලක් වී ඇති බව ය.මෙම සතියේ පමණක් රටවල් තුනකට කොළරා රෝගය පැතිර ගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දී ඇත.
ප්‍රථම වතාවට, ලෝක සෞඛ්‍ය සංවිධානය, එම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ආධාර කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළරා වසංගතය පිළිබඳව කටයුතු කරන කණ්ඩායමේ නායක වෛද්‍ය පිලිප් බාර්බෝසා මේ පිළිබඳව පැවසීය.
ඔහු ප්‍රකාශ කර සිටියේ, අපිරිසිදු ආහාර හෝ ජලය භාවිත කිරීම නිසා ඇති වන මෙම රෝගයට එරෙහිව මේ වන විට ලොව පුරා රටවල් 22ක් සටන් කරමින් සිටින බව ය.
වසර ගණනාවක් රෝගීන් වාර්තා වීම පහත වැටීමෙන් පසුව 2022 වසරේදී කොළරා රෝගීන් ඉහළ ගිය අතර මෙම ප්‍රවණතාවය මෙම වසර දක්වා ම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ වන කලාප හයෙන් පහක ම රෝගීන් වාර්තා වී ඇති බව ත් පෙබරවාරි මස මුලදී ප්‍රකාශයට පත් කළ නවතම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය දළ විශ්ලේෂණය පෙන්නුම් කළේ, 2022 වසරේ සිට තත්ත්වය තවදුරට ත් පිරිහී ඇති බව වෛද්‍ය පිලිප් බාර්බෝසා සඳහන් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, සීමිත ලෙස ඇති එන්නත්, ඖෂධ සහ පරීක්ෂණ කට්ටල කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බව ය.
2023 වසරේදී ලබා ගත හැක්කේ, මාත්‍රා මිලියන 37ක් පමණක් බව පැවසූ ඒ මහතා ලබන වසර වන විට තව ත් මාත්‍රා ලබා ගැනීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරෙන බව ද කියා සිටියේ ය.
වත්මන් ගෝලීය ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස, කොලරාව පැතිරීම වැළැක්වීමට සහ ජීවිත බේරා ගැනීමට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 25ක අරමුදලකින් ආධාර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රථම වතාවට ඉල්ලා සිට ඇත.
අප්‍රිකාවේ, මොසැම්බික්හි කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති අතර පළමු කොළාරා රෝගියා සැප්තැම්බර් මාසයේදී නියාසා පළාතේ ලාගෝ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පෙබරවාරි 19 වන විට මොසැම්බික්හි මුළු සැක සහිත රෝගීන් 5,237ක් සහ මරණ 37ක් වාර්තා වූ අතර කොළරාවෙන් පීඩාවට පත් වූ පළාත් හය ම ගංවතුරෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ වන බව ද සඳහන් වේ.
පවතින වැසි තත්ත්වය දිගට ම පවතින විට ජනතාව තව ත් පීඩාවට පත් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කෙරේ.
2023 ජනවාරි 29 වන විට ඇස්තමේන්තුගත රෝගීන් 26,000ක් සහ මරණ 660ක් අප්‍රිකානු රටවල් 10කින් වසර ආරම්භයේ සිට ඇති බව ත් 2022 වසරේදී බලපෑමට ලක් වූ රටවල් 15කින් රෝගීන් 80,000කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 1,863 ක් වාර්තා වී ඇත.
මේ අතර ලොව පුරා, හයිටි, ඉන්දියාව, පකිස්තානය, පිලිපීනය සහ සිරියාව වැනි රටවල ජනතාව ද මෙම රෝගයට ගොදුරු වෙමින් පීඩාවට පත්වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත.