ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හත්දෙනෙක් හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ. ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරු සැකකරුවන් හත්දෙනා මේ මස 27 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
හැටන් පොලිස් බලප‍්‍රදේශය යටතේ පාලනය වන හැටන් ෂැනන් තේ වත්තේ වතු නිවාස පේලියක පිටුපස ඉතා සූක්‍ෂ්ම ලෙස විශාල වළක් හාරා වළ තුළ වූ මැණික් ඉල්ලම් ගොඩගනිමින් සිටි සැකකරුවන් හත්දෙනකුයි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.
වතු නිවාසයක සිට අනවසරෙන් විදුලි බලය ද ලබාගෙන අත්අඩංගුවට ගත් සැකකරුවන් විදුලියෙන් කි‍්‍රයාකරන ජලය ඉසින පොම්පයක් ද භාවිතයට ගනිමින් විදුලි ආලෝකය ද ලබාගෙන අනවසර මැණික් ගැරීමේ ජාවාරමේ නිරතව සිට ඇත.
සැකකරුවන් ගොඩ දමා තිබූ මැණික් ඉල්ලම් පස් තොගයක් සහ මැණික් ගැරීමට උපයෝගී කරගත් වතුර ඉසින පොම්පයක් ඇතුළු උපකරණ රාශියක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වතු යායේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අවුරුදු 25 - 50 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන නිසා පොලිස් නිලධාරීන් වැටලීම් සිදු නොකරන බවට විශ්වාසයක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් අනවසර මැණික් ගැරීම සිදු කර ඇති බවයි. මෙම වැටලීම සිදු කළ හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු කියා සිටියහ.
ඡායාරූප හා සටහන නුවරඑළිය - නාලක රත්නායක
under the courtesy of divaina.com news web