Wednesday, March 18, 2020

“කාන්තාවක් අඩනිරුවතින් රේල් පාර උඩ වැටුණා. එක පාදයක් විලුඹ අසළින් කැපී වෙන්වෙලා..” - ලක්ෂ 55කට යට නොවූ දුම්රිය නියාමකගේ මනුස්සකම ගැන සංවේදී කතාවක්

"එයා බඩගාගෙන දුම්රිය පීල්ලෙන් ඇතුළට යන්න ඇති..."
 
යාපනය හා තලෙයි මන්නාරම්තොට සිට පැමිණි ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා විය. කාර්යාල වේලාව වූ හෙයින් දුම්රියට යළි අංගණය බලා යාමට පැයක පමණ කාලයක් බලා සිටින්නට සිදු විය. පස්වරු 5.35 පමණ දුම්රියට අංගණයට යෑමට සංඥාව ලැබුණි.

මඟීන් රහිත දුම්රිය ඉබි ගමනින් ඉදිරියට ඇදුණේ නියාමකවරුන්ගේ සංඥාව ලැබුණු නිසාය. ඒ සමඟම දුම්රිය මඟීන් කෑ මොර දුන් අතර කවුරුන් හෝ දුම්රිය බඳේ ගැටී දුම්රිය මඟට වැටෙනු නියාමකවරු දුටුවහ. ඔවුහු වහා තිරිංග යොදා දුම්රිය නතර කළහ.

ඉක්මනින් මඟියා වැටුණු ස්ථානයට ඔවුහු දිව ගියහ. දුම්රිය මඟෙහි කාන්තාවක් අඩ නිරුවතින් වැටී සිටිනු ඔවුහු දුටුවහ.

ප්‍රධාන නියාමකවරයා ලෙසින් කටයුතු කෙළේ එච්.සී. සෝමරත්නය. උප නියාමකවරයා ලෙසින් කටයුතු කෙළේ පී.එස්. ක්‍රැල්ෂම්ය.

කාන්තාවගේ ඉහළ කොටසේ හැට්ටයක් පමණක් තිබුණු අතර පහළ කොටස මුළුමනින්ම නිරුවත් වී ඇත්තේ ඇය ඇඳ සිටි ඇඳුම් දුම්රිය රෝද සමඟ ඇදී ගොස් ඉරී ගිය නිසාවෙනි.

ප්‍රධාන නියාමක සෝමරත්න වහා දිව ගොස් තම ගමන් බෑගයේ තිබූ සරමක් ගෙන ආවේය. දුම්රිය මඟට බැස දුම්රිය රේල් පීලි අතර වැටී සිටි කාන්තාවට එය අන්දවා අනතුරට පත් වූවන් ගෙන යන අකුලන ඇද ගෙන්වා ගෙන උප නියාමක ක්‍රැල්ෂම් සහ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයේ සහ මඟීන් කිහිප දෙනකුගේ සහායෙන් ඇය දුම්රිය වේදිකාවට ගත් අතර ඒ වන විටත් ඔහු 1990 ගිලන් රථ සේවාව අමතා තිබුණි.

වේදිකාවට ගොඩ ගත් ඇයගේ එක් පාදයක් විලුඹ අසලින් කැපී වෙන්වී ගොසිනි. අනෙක් පාදය විලුඹට උඩින් කැපී වෙන්වී ගොසිනි.

අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය වහාම රෝහල්ගත කරන්නට ප්‍රධාන නියාමකවරයා විසින් කටයුතු කරන ලදී. ඒ සමඟම ඇය සතුව තිබූ පාන්කඩ මල්ලක් බඳු ගමන් මල්ලක්ද රැගෙන නියාමකවරු දුම්රිය මරදාන දුම්රිය ස්ථානය කරා ගෙන ගියහ. උප නියාමකවරයා දුම්රිය රැගෙන අංගනයට ගිය අතර දුම්රියෙන් බැස ගත් සෝමරත්න ඇයගේ පාන්කඩ මල්ලක් බඳු කුඩා ගමන් මල්ල පරීක්ෂා කෙළේය.

එතැන් සිට කතාව ඔහුගේ හඬින්ම අවදි කළ යුතුයැයි සිතමි.

"කකුල් දෙකම කැපිලා තිබුණ නිසා රෝගියා ඉක්මනින්ම ගිලන් රථයෙන් රෝහලට පිටත් කරලා අපි දුම්රිය මරදානට ගෙනැල්ලා, ඒ කුඩා මල්ලේ තිබුණු දේවල් මොනවාද කියල බැලුවා. සිලි සිලි කවරයක දමා තිබුණු පරණ ඇඳුමක් වගේම බදුල්ලේ ඉදල දවස් දෙකකට කලින් කොළඹ ආපු දුම්රිය ටිකට් එකක් තිබුණා. ඒ වගේම එදා රාත්‍රී දුම්රියේ තලෙයි මන්නාරමට යන්න ගත්ත ටිකට එකකුත් තිබුණා. ඒත් එක්කම මම ඒ මල්ල තවත් අවුස්සලා බැලුවා. මගේ ඇස් උඩ ගියා. ඒ මල්ල සල්ලිවලින් පිරිලා තිබුණා. පරණ රුපියල් 2000 කොළයි නිල්පාට රුපියල් 1000 කොලයි පිරිලා තිබුණා. ගණන් කරලා බැලුවා රුපියල් තිස් නම ලක්ෂ අටදහස් තුන්සිය විසි නමයක් (3908329/=) එහි තිබුණා..."

"ඒ විතරක් නෙමෙයි විශාල රත්තරන් චේන් 4ක් ලොකු රත්තරන් වලල්ලක් කරාඹු දෙකක් වගේම වටිනා ඔරලෝසුවක් එහි තිබුණා. සල්ලියි රත්තරන් බඩුයි සේරම වටිනාකම මං හිතන්නේ ලක්ෂ 55ක් විතර ඇති. තව බැංකු පොත් දෙක තුනකුත් තිබුණා. එකපොතක මට මතක විදිහට රුපියල් ලක්ෂ 8ක් වගේ තිබුණා. හැදුනුම්පතත් ඒ වගේම පාසල් ගුරුවරියක් හැටියට සේවය කරපු සේවා හැඳුනුම්පතකුත් තිබුණා..."

"මම ඒ සේරම භාණ්ඩ ලේඛන ගත කළා. විශාල මුදලක් නිසා දුම්රිය සාමාන්‍යාධිකාරිතුමාටත් දැනුම් දුන්නා. මරදාන දුම්රිය ස්ථානාධිපතිතුමාට මුදල් රන් ආභරණ ඇතුළු අනෙක් සියලුම දේ බාර දුන්නා..."

"අවුරුදු 37ක මගේ සේවා කාලය තුළ මම මුහුණ දුන්න විශේෂිතම අත්දැකීමක් මේ. ඒ සල්ලි අවුරුදු ගාණක් කිසිම ප්‍රයෝජනයකට අරගෙන නැහැ. මං හිතන්නෙ යුද්ද කාලෙ හංඟලා තිබිලා දැන් තමයි එළියට ගන්න ඇත්තේ. නිල්පාට ඒ 1000 කොළ දැන් දකින්නත් නැහැ. රුපියල් 2000ත් දැන් නැහැනෙ. ඒ සල්ලි මිටි බැදල තිබුණ රබර් පටි උණුවෙලා තිබුණෙ. එච්චර පරණයි. කොහොම වුණත් අනුන්ගේ දේවල් අපට වැඩක් නැහැ. දුම්රිය මඟියෙක් කෑම එකක් අමතක වෙලා ගිහින් තිබුණත් අයිතිකාරය හොයා ගන්න පුළුවන් කමක් තිබුණොත් කොහොම හරි ඒකත් දීල තියෙනවා. අපි ජනතාව වෙනුවෙන් කරන රාජකාරියක් කරන්නේ. ඒ මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරමින් දුම්රිය ගෙන යෑමයි..."

"අපට පුළුවන් උපරිම විදිහට ඒ සේවාව ලබා දෙනවා. මගේ අවුරුදු 37ක සේවා කාලය තුළ මම කරපු දේ ගැන මට හොඳ සතුටින් ඉන්න පුළුවන්. මම මීට කාලෙකට කලින් මරදාන නියාමක පරීක්ෂක ලෙසින් කටයුතු කළා. ඒ අවස්ථාවෙත් මම පුළුවන් උපරිම විදිහට කටයුතු කරා..."

"අනතුරට පත් වෙච්ච කාන්තාව දුම්රිය මාර්ගය අයිනේම ගිහින් තියෙන බවයි අපට පේන්නෙ. දුම්රිය අද්දල ඉස්සරහට යද්දි දුම්රිය බදේ වැදිලා හරි පය පැටලිලා හරි වේදිකාවෙන් දුම්රිය මඟට වැටිලා තියෙනවා. ඒ වැටුණත් එක්කම එයා බඩගාගෙන දුම්රිය පීල්ලෙන් ඇතුළට යන්න ඇති. ඒ නිසයි කකුල් දෙක රෝද වලට කැපිලා තියෙන්නෙ. වේදිකාවෙන් දුම්රිය මඟට වැටුණු කෙනෙක් රේල් පීලි දෙක අතරට යන්න විදිහක් නැහැ..."

"අවාසනාවට වගේ එයා අවසිහියෙන් එහෙම යන්න ඇති. දුම්රිය හෙමින් ඉස්සරහට ගත්ත නිසා හොඳයි නැත්නම් එතැනම ජීවිතය නැති වෙන්න තිබුණා. දුම්රිය වේදිකාවන් අසල රැඳී සිටින්න එපා කියන අවවාදය දෙන ගමන් කවුරුන් විසින් හෝ දුක් මහන්සියෙන් හරි හම්බ කරන දේ අපේ කර ගන්න හිතන්න එපා කියන ඉල්ලීමයි මට කරන්න තියෙන්නෙ..."

සෝමරත්න මහතාගේ අවවාදයත් ඉල්ලීමත් දෙකම ගැන අප අවධානය යොමු කළ යුතුය.

මේ අනතුරින් අවාසනාවන්ත ලෙස දෙපා අහිමි වූ කාන්තාව තලෙයි මන්නාරම ශා මරියා පාර පදිංචිකාරියකි. ඇය නමින් මරියා සෙල්වි කෲසෝය.

වයස අවුරුදු 65ක් වූ ඇය විශ්‍රාමික ගුරුවරියකි. ඇය තනිවම පැමිණ තිබූ අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හෙයින් ඇයගෙන් විස්තර ලබා ගැන්ම අපහසු විය.

ලක්ෂ 55ක මුදලක් යනු කෝටි භාගයකට අධිකය. දහඩිය වගුරවමින් එදිනෙදා සොයා ගන්නා තුට්ටු දෙකට තට්ටු කරන පුද්ගලයින් වෙසෙන රටේ එවන් අතිවිශාල මුදලක් හිමිකාරියගේ ඥාතීන්ට ලැබෙන්න සලස්වා සෝමරත්න රටටම ලබා දුන්නේ ආදර්ශයකි. ඔහුගේ භාර්යාව වන විශ්‍රාමික ගුරුවරියක වන ඉන්ද්‍රාණි රත්නමාලි මහත්මිය පවසන්නේ තම සැමියා ගැන ආඩම්බර වන බවයි.

කිසි දිනක අනුන්ගේ දෙයක් කෙරෙහි ආසා නොකරන අනුන්ට හැකි උපරිම සේවාවක් ලබා දෙන්නට ඔහු කටයුතු කරන බවද ඇය කීවාය. තම ස්වාමිපුරුෂයා නාවලපිටිය, අනුරාධපුර ඇතුළු සියලු පෙදෙස්වල රාජකාරී කරද්දී දියණියත් පුතාත් බලාගෙන ඇය නොමඳ සහායක් ලබා දුන්නේ ඒ රාජකාරියට හැකි උපරිම දායකත්වයක්ද ලබා දෙමිනි

සෝමරත්නගේ දියණිය වන කසුරි සුචේතනා ද සය හැවිරිදි කුඩා දරුවකුගේ මවකි. එසේම ඇයද මාදම්පේ මුගුණුවටවන ග්‍රාම නිලධාරීවරිය ලෙස කටයුතු කරයි.

තම පියාණන් ගැන ආඩම්බර මෙන්ම සතුටු වන බව පවසන ඇය තම පියාණන් තමන්ට අවවාද ලබා දුන්නාට වඩා ආදර්ශයෙන්ම කටයුතු කළ බව කියයි. කිසිදු විටෙක කිසිවකුගේ සිත් නොරිදෙන ලෙසින් කටයුතු කළ යුතු බව පියා දුන් ලොකුම අවවාදය බව ද ඇය කීවාය. ආගමට දහමට දැඩි ළැදිකමක් තම පියාණන් දක්වන්නේ තමන් කුඩා කල සිටම බවත් ඒ අනුව පවුලේ සියලු දෙනාම ආගමික ජීවිතයකට අනුව කටයුතු කරන බවද ඇය කීවාය. සෝමරත්නගේ පුතණුවන් වන කසුරි සුචේතන සිවිල් ඉංජිනේරුවරයෙකි. ඔහු කොළඹ නේවාසිකව සිට රාජකාරියට යයි.

පවුලේ සියලු දෙනා එක්වූ විට පන්සලකට යෑම නොවැරදීම සිදු වන්නකි. ඒ ආභාසය නිසාම සෝමරත්න මෙවන් සත්ක්‍රියාවන් සිදු කරන්න ඇත. මහජනතාව දුම්රිය රියැදුරන්ට නියාමකවරුන්ට නිතරම ගල් මුල් ගසති. ඒ දුම්රිය වර්ජන නිසාය. එහෙත් ඔවුන්ගේ සැඟවුණු මෙවන් මනුස්සකම් ගැන උදම් අනන්නේ ඒ ගුණ වයන්නේ කලාතුරකිනි.

ඇගැයීම කළ යුතු තැන ඇගැයීම් සිදු කළ හොත් සෝමරත්නලා තවත් බිහි වනු ඇත.

තාරක වික්‍රමසේකර
under the courtesy of silunina.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka