Wednesday, March 18, 2020

සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගියාට විදුහල්පති අනිවාර්ය නිවාඩු ගුරුවරුන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් ගුරුවරියන් දෙදෙනා දුෂ්කර මාරු

ගුරුවරුන්ගේ නොසැලකිල්ල මෙම අනතුරට මූලික හේතුව බව නිගමනය කර ඇත
ඌව පළාතේ පිහිටි හාලිඇල විද්‍යා විද්‍යාලයේ සිසු සිසුවියන් අධ්‍යාපන චාරිකාවකට ගෙන ගිය අවස්ථාවේ මැදවච්චිය ගෝමරන්කඩවල වැවේ දිය නෑමේදී දියේ ගිලීමෙන් සිසුන් සිව්දෙනෙකු මිය යෑම පිළිබඳව ඌව
පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කරන ලද මූලික පරීක්‍ෂණයේදී අවසන් පරීක්‍ෂණ පවත්වන තෙක් එම සංචාරය භාරව ගිය ගුරුවරුන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත්, අනෙක් ගුරුවරියන් දෙදෙනා අනිවාර්ය දුෂ්කර පාසල්වලට මාරු කිරීමටත් බලධාරීන් තීරණය කොට ඇත.

 එම විදුහලේ විදුහල්පතිවරයා කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කොට වයස් සම්පූර්ණව සේවා දිගුවක් ලබා සිටි හෙයින් අනිවාර්ය නිවාඩු යැවීමටත් පරීක්‍ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

 හාලිඇල/බ/ඌව විද්‍යා විද්‍යාලය මගින් සංවිධානය කරන ලද අධ්‍යාපන චාරිකාවකට සහභාගී වී සිටියදී එම විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබමින් සිටි අනුහස් සමාධි, උමේෂ් ශෙහාර, නෙතික සන්ණිත් ගලපිටගෙදර, තරුෂ අංජන ශ‍්‍රීපවන් යන සිසුන් 2020 පෙබරවාරි 19 වැනි දින සවස මෙසේ දියේ ගිලී මියගොස් තිබිණි.

 එම අනතුර සම්බන්ධ පරීක්‍ෂණවල නිගමනයන්ට අනුව මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ, අදාළ නියෝජ්‍ය විදුහල්පති ආර්. එම්. අශෝකපාල, එම විදුහලේ ගුරුවරුන් වන පූජ්‍ය නන්නපුරාවේ ධම්මසිරි හිමි, ටී. බී. සේසත් බුද්ධික චන්ද්‍රානන්ද, ඞී. එම්. වික‍්‍රමසූරිය, දොරේසාමි ශ‍්‍රී කාන්තන් යන අයයි. ඞී. එම්. පත්මිණි මංගලිකා දිසානායක සහ ඩබ්ලිව්. එම්. දයානි විජේකෝන් යන ගුරුවරියන් දෙදෙනා වසර දෙකක අනිවාර්ය දුෂ්කර සේවයේ යෙදවීමට කටයුතු කර තිබේ. බ/ඌව විද්‍යා විද්‍යාලයේ විදුහල්පති එච්. එස්. පී. පීරිස් මහතා චාරිකාවට සහභාගී නොවුණද, ඔහු සෘජුවම වගකීම් පැහැර හැරීමක් සිදුකර ඇති බව තීරණය වීම නිසා ඔහු බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කොට ඉදිරි දින කීපය තුළ අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමට තීරණය කොට ඇත.

 ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය සඳහන් කළේ මියගිය සිසුන් සිව්දෙනාගේ හදිසි මරණ පරීක්‍ෂණය සිදු කළ ගෝමරන්කඩවල හදිසි මරණ පරීක්‍ෂක ඒ. එස්. එම්. රූමි මහතා විසින් මරණ පරීක්‍ෂණයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි මත ගුරුවරුන්ගේ නොසැලකිල්ල මෙම අනතුරට මූලික හේතුව බව නිගමනය කර මහෙස්ත‍්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කර තිබීම සහ මේ සම්බන්ධයෙන් පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති බවයි.

 අනතුර සිදු වී දින කීපයක් තුළ චාරිකාවට සහභාගී වූ ගුරුවරුන්ට තාවකාලිකව ස්ථාන මාරුවීම් ලබාදී, වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණයක් පවත්වා දින 14 ක් ඇතුළත නිර්දේශ සහිත පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලූරේ මහතා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නියෝග කොට තිබිණ.

 ඒ අනුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය විසින් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කර මුලික විමර්ශන කටයුතු කර ලබාගත් නිර්දේශ සහිත වාර්තාව ආණ්ඩුකාරවරයා වෙත ලබාදී තිබිණි.

 වැඩ තහනමට ලක් වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා හා ගුරුවරුන් සිව්දෙනා සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විනය පරීක්‍ෂණයක් පවත්වා එහිදී අනාවරණය වන කරුණු මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka