Wednesday, May 10, 2023

මම එහෙම තැලිලා පොඩිවෙලා හිටිය කෙනෙක් නොවෙයි..." "පුබුදුගේ අම්මා ජීවිතයේ පළමු වතාවට තමයි ෂූටින් එකකට ඇවිත් තිබුණේ... එයාගේ පුතාවත් රඟපාන දර්ශන තලයකට ගිහින් තිබුණේ නෑ" හැමෝම ආදරේ කරන මාෂි කියන කතාව...

නිහඬ සෙවණැලි, ද නිවුස් පේපර්, ආදි චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු ඇය මෙරට කලා ක්ෂේත්‍රයේ දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්ගේ බිරිඳයි. මේ දිනවල තිරගත වන යුගාත්‍රා චිත්‍රපරයේද ප්‍රධාන චරිතයක් ඈ නිරූපනය කරයි. ඇය නමින් මාෂි සිරිවර්ධන. 

මේ දිනවල සිනමාශාලාවලට එක් වූ යුගාත්‍රා චිත්‍රපටය ගැන සේම ඇගේ රංගන ජීවිතයේ අලුත් තොරතුරුත් මාෂි කලා පුවත්පතකට කියා තිබුනේ මෙන්න මෙහෙමයි.

මේ දවස්වල සමාධිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

යුගාත්‍රා චිත්‍රපටය තිරගත වෙන්න පටන් අරන් තවම වැඩි දවසක් නෑ. ඒත් ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. ප්‍රේක්ෂකයන්ටත් මේ චිත්‍රපටය අලුත් අත්දැකීමක් වෙයි. මමත් තවම සිනමාවට නවකයෙක්. ඒත් මට ප්‍රවීණ නළු නිළියන්ගෙන් පවා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. දැනටත් යුගාත්‍රා නරඹපු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ගලාගෙන එන්නේම සමාධි හැටියට මට ආමන්ත්‍රණය කරමින්. හරිම සතුටුයි. මම හිතනවා තව තවත් ඉදිරියේදි තරුණ ප්‍රජාව මේ චිත්‍රපටය ආදරයෙන් වැළඳ ගනිමින් ඉහළ ප්‍රතිචාරයක් දක්වයි කියලා. සෑම කෙනෙක්ම. දක්වන ඉහළ ප්‍රතිචාරය මම මේ දවස්වල අත්විදිමින් ඉන්නවා.

මේ දවස්වල මාෂි කියල කතා කරනවට වඩා සමාධි කියල කතා කරනවට ද ඔබ කැමැති?

සමාධි කියන්නේ ආදරණීය චරිතයක්. මගේ සැබෑ ජීවිතයටත් සමාධි සමීපයි. මටත් ඉක්මනින් දුක කියන දේ දැනෙන කෙනෙක්. ඒ වගේම තමයි සාමාධිත් ඇයටත් ඉක්මනින් දුක දැනෙන තැනැත්තියක්.

සමාධි බවට පත්වෙන්න ලැබෙන්නේ කොහොමද?

මගේ ආදරණීය සැමියා පුබුදු චතුරංග චන්න පෙරේරා බොහොම හිතවත් යාළුවන්. ඒ හිතවත්කම මත තමයි මාත් චන්න පෙරේරාව හඳුනාගන්නෙත්. අපි මීට කලින් ප්‍රිය සාදවලදී එකට හමුවෙලා තියෙනවා. ඒ එක් හමුවකදී තමයි චන්න අයියා මට කිව්වේ නංගි මේ වගේ චිත්‍රපටයක් තියනවා පුබ්බාගෙනුත් ඇහුවා මට මාෂි ඕනේ මේ වැඩේට කියලා. ඒකට පුබුදුත් හා කිව්වා කියලා. කොහොමත් චන්න පෙරේරා මීට කලිනුත් හොඳ චිත්‍රපට කරපු කෙනෙක්. අලුත් නළු නිළියන් සිනමාවට හඳුන්වා දුන් කෙනෙක්. චන්න අයියානේ මේ චිත්‍රපටයට දායක වුණේ. මුලින්ම පිටපත ලැබුණත් මට හරි අවබෝධයක් ලැබුණේ නෑ. පුබුදුත් මේ ස්ක්‍රිප්ට් එක කියවල ලස්සන චිත්‍රපටයක් කියලා මට තේරුම් කරල දුන්නා. ඒ අනුව මාත් සමාධි වෙන්න කැමති වුණා.

සමාධි වෙන්න ඔබට පහසු වුණා ද?

මම රංගනයෙන් එහෙම තැලිල පොඩිවෙලා හිටිය කෙනෙක් නොවෙයි. මමත් නොදැන මගේ ඇක්ට් එක එළියට ආවා. මගේ චරිතෙ ආත්ම දෙකක ඝට්ටනයක් මත දිග හැරෙන චරිතයක්. පිටපත කියෙව්වහම මට වැටහුණ දේත් අනික් චරිත සමඟ සමාධි කොයි වගේ කෙනෙක් ද කියලා මට අවබෝධ වුණ ආකාරය මත ස්වභාවිකවම මගේ ඇග තුළින් ඇට් එක එළියට ආවා. චන්න අයියාගේ අධ්‍යක්ෂණයත් විශේෂයෙන් මෙතනට බලපෑවා. මට නිදහස දීල තිබුණා. පිටපතේ හැටියට මට නිදහසේ සමාධි වෙන්න.

මාෂි මීට කලින් රංගනය කියන දේ හදාරල තිබුණා ද?

මට මුලින්ම ආදරණීය හීනයක් චිත ‍්‍රපටය ලැබුණට පස්සේ පුබුදු අයියා මාව අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවට සහභාගි කෙරෙව්වා. එතැනදී මම රංගනය ගැන යම් අවබෝධයක් ලැබුවා. පුබුදු එක්ක ඉන්නකොට උනත් මම රංගනය ගැන ගොඩාක් දේ ඉගෙන ගත්තා. මේ හැම දෙයක්ම මට රංගන සඳහා වැදගත් වුණා.

මාෂිගේ මුල්ම සිනමා අත්දැකීම වුණේ?

ආදරණීය හීනයක් ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ සරවන් තමයි එහි අධ්‍යක්ෂ වුණේ. බාසුරු සිරිවර්ධන තමයි චිත්‍රපටය නිෂ්පාදනය කළේ. මම මේ චිත්‍රපටයේ ඩොක්ටර් කෙනෙක්ගේ කැරැක්ටර් එකක් කළේ. මගේ කොන්ඩේ පවා වෙනස් කරල මේ චිත්‍රපටයේ මගේ රංගනයට මම ගොඩක් කැමැතියි. අදටත් මේ චිත්‍රපටය තිර ගත වුණේ නෑ. මුල්‍යමය ප්‍රශ්නයක් මත. මේ වන විට මම රඟපෑ ද නිවුස් පේපර්, නිහඬ සෙවණැලි චිත්‍රපට දෙකම තිරගත වෙලා ඉවරයි. දැන් තිරගත වන්නේ යුගාත්‍රා.

ඉදිරියටත් ඔබ සිනමාව තුළ රැදෙන්න ද කැමැති පුංචි තිරයට ඔබ අකමැතිද?

කුඩා කල පටන් මම පෙනී හිටියේ වෙළෙඳ දැන්වීම්වලට ටෙලි ඩ්‍රාමා වලට වුණත් මට ආරාධනා ලැබිල තියෙනවා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු එක්ක ඒවට සහභාගී වෙන්න බැරිවුණා. කොහොමත් මගේ ආශාව තියෙන්නේ සිනමාවට. නිළියක් වෙන්න ලොකු හීනයක් තිබුණේ නෑ. මගේ වෙලාවට මට ලස්සන පිටපත් ලැබුණා. ඒ නිසාම මම වාසනාවන්ත වුණා ලස්සන කතාවල රඟපාන්න.

ඉදිරියටත් ඔබ සිනමාව තුළ නිළි වෘත්තියට ද කැමති?

ආවොත් හොඳ වැඩක් කරනවා. නමුත් ලොකු බලාපොරොත්තු නම් නෑ. අපි කොහොමත් හිතන් ඉන්න හැමදේම ලැබෙන්නේ නෑනේ. ඉස්සරහට ලැබුණොත් හොඳ වැඩක් මම කරනවා.

හිතෙන්නේ නැද්ද වේදිකාවට පියවර තබන්න.

නිළියක් ලෙස බැබළෙන්න නම් හොඳම පාසල වේදිකාව. නමුත් මට ලොකු චකිතයක් තියෙනවා වේදිකාව තුළ මට ඒ දේ කරන්න මම තවම සුදුසු නෑ කියලා. වේදිකාවේ හරඹ කරන්න අතිදක්ෂයෙක් වෙන්න ඕනේ. තවම මම ඒ තත්ත්වයට පත්වෙලා නෑ. වේදිකාව කියන්නේ සජීවී මාධ්‍යයක්.

ටෙලි නාට්‍ය කලාවට ඔබ අකමැති නිළියක් ද?

ටෙලි නාට්‍ය සඳහා දීර්ඝ කාලයක් කැප කිරීමක් කළ යුතු දෙයක්. මගේ අධ්‍යාපන කටයුතු එක්ක ඒ වගේ දිගු කාලයක් සඳහා වෙන් වෙලා ඉන්න මට අපහසුයි. චිත්‍රපටයක නම් සීමා සහිත කාලයක් තුළ වැඩ අවසන් වෙනවා. නමුත් ටෙලි නාට්‍යවලට එක දිගට රැඳී සිටීමට මට කාලයක් නැති තරම්. සමහර අධ්‍යක්ෂවරු මාත් සමඟ උරණ වෙලාත් තියනවා. ටෙලි නාට්‍ය සඳහා රඟපාන්න භාර නොගැනීම නිසා. ඒ හැමෝටම මම ආදරෙයි. නමුත් මම හිතනවා මට ගැළපෙන එකක් දෙකක් කරගෙන හිටියම හොඳමට ඇති කියලා.

අද වෙනකොට ඔබ චිත්‍රපට හතරක පමණයි රඟපාල තියෙන්නේ. මේකටත් විශේෂ දෙයක් තියනවාද?

මට ලැබුණ හැම ආරාධනයක්ම මම භාර ගත්තේ නෑ. පෞද්ගලිකව වුණත් මට අවශ්‍ය වුණේ නෑ. ලැබෙන ලැබෙන දේ භාර ගන්න. විරාමයක් ඇතුව රඟපෑම තමයි මගේ අපේක්ෂාව. මම රඟපෑ චිත්‍රපටවලට යම් අසාධාරණයක් වෙයි කියලත් මම කල්පනා කළා. ලැබෙන හැම චිත්‍රපටයකම රඟපානවට සමහර අධ්‍යක්ෂවරු කැමැති වුණේ නෑ. මම රඟපෑ දෙයක් පෙන්වනතුරු තව නිර්මාණ සඳහා දායක වෙනවාට.

යුගාත්‍රා සමඟ ඔබේ රංගනය අපේ්ක්ෂාවෙන් තවත් අධ්‍යක්ෂවරු ඔබව සොයාගෙන ආවොත් ඒ හැම ආරාධනයක්ම භාර ගන්නවද?

බලමු. එහෙම මම ගැන පැහැදීමක් ඇති වුණොත් හොඳයි. පිටපත හොඳ නම් ආරාධනා ප්‍රතික්ෂේප කරන්නෙවත් නෑ. මට සිනමා නිර්මාණ සඳහාත් ආරාධනා ආවා ඒත් මම ඒ තරම් උනන්දු වුණේ නෑ. මම හොඳ නිර්මාණ කීපයක් වෙනුවෙන් ඊට පෙර දායක වී තිබීම නිසා.

චිත්‍රපටයක් රඟපෑමට භාර ගැනීමේදී ඔබ අධ්‍යක්ෂවරයා ගැන සැලිකිලිමත් වන නිළියක් ද?

ගොඩක් දුරට නෑ. අධ්‍යක්ෂවරයා ප්‍රවීණ ද ආධුනික ද කියල නෑ පිටපත හොඳ නම් කතාව ලස්සන නම් භාර ගන්න මම අකමැති වෙන්නෙ නෑ.

සමාධි චිත්‍රපටය පුරා ගොඩනැගීමේදී ඔබට අභියෝග පැමිණියාද?

බලපු ප්‍රේක්ෂකයොත් මගෙන් ඇහුවා ඇත්තම ලොකේෂන් ද මේවා කියලා. ලංකාවේ තියන හරිම ලස්සන ලොකේෂන් වල තමයි මේ චිත්‍රපටය රූපගත කළේ. අද අපි ඒ ලස්සන චිත්‍රපටයෙන් දැක්කත් ඒ දර්ශන ගන්න යන ගමන හරි දුෂ්කර වුණා. කන්දක් බහින්න වුණා. සමහර ලොකේෂන් වලට යන්න සමහර අවස්ථාවල අධික සීත නිසාවෙන් ෂූටින් කරන්න බැරිවුණ අවස්ථා තිබුණා. මාව වෙව්ලන්න පටන් ගත් අවස්ථා තිබුණා. සමහර අවස්ථාවල චන්න අයියගෙන් බැනුම් අහපු අවස්ථාත් තිබුණා. ඒ වෙලාවට මම ඇඩුව අවස්ථාත් තිබුණා. බැන්න දවස්වලට මම දවසම අඩල ඉන්නේ. ඉතිං අඩන සීන්වලට මම අමුතුවෙන් අඩන්න ඕනෙ නෑ. ඔර්ජිනල් අඩපුවත් සීන් වලට ගත්තා. මස්කෙළිය, නුවරඑළිය ප්‍රදේශවල වැඩි වශයෙන් ෂුට් කළා. එක දවසක් අපේ කලා සහය අධ්‍යක්ෂකට සර්පයෙක් දෂ්ට කළා. මමත් හොඳටම බය වුණා. මගේ මුඩ් එකත් හොඳ නෑ නමුත් ෂුටින් නතර කළේ නෑ. බයත් හිතේ තියාගෙන ෂූටින් කළා. බැනුම් ඇහුවා, ඇඩුවා මේ ඔක්කොම අස්සේ ෂූට් කළා. මට එච්චර වැටහීමක් තිබුණේ නෑ. ඒත් අද චිත්‍රපටය දකිනකොට මට හිතෙනවා ඒ අය මට බැන්නේ අපිව හැසිරෙව්වේ මේ ලස්සන නිර්මාණයක් කරන්න නේද කියලා. අද ඒ මහන්සියේ ලස්සන අටුව් පුට් එකක් ඇවිත් තියනවා.

පුුබුදු චතුරංග හමුවීමත් සමඟ ද ඔබට රංගන වරම් හිමිවන්නේ?

මම අවුරුදු පහේ ඉඳලා වෙළෙඳ දැන්වීම්වල රඟපෑවා. 2016 දී අයි.ටී.එන්. අවුරුදු කුමරිය වුණාට පස්සේ තමයි මම වැඩිපුර මිනිස්සු අතරට ගියේ. ඊට පස්සේ පුබුදු සමඟ විවාහ වීමත් සමඟ ඔහුගේ ජනප්‍රියත්වයත් එක්ක මාව තව තවත් මිනිස්සු අතරට ගියා. කලා ක්ෂේත්‍රයේ ගොඩක් අය මාව හඳුනාගත්තේ පුබුදු හමුවීමත් සමඟ. අධ්‍යක්ෂවරු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් අතර මට සුහද බවක් ඇති වුණේ පුබ්බාගේ හමුවත් එක්ක මම තනිව ගමනක් ආව නම් මෙතරම් ඉක්මන් ජනප්‍රියත්වයක් මට නොලැබෙන්න තිබුණා. පුබ්බාට තිබුණු ක්ෂේත්‍රයේ අයගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ ගෞරවය ආදරය මටත් එලෙසම ලැබුණා. මගේ වාසනාවකට ඒ හැමෝගෙන්ම ඉහළ ගෞරවනීය පිළිගැනීමක් මට ලැබුණා.

සිනමා කැමරාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

පළමු දර්ශනය ගන්නා විට කොයි නිර්මාණයෙත් හිතට පොඩි බයක් දැනුණා. කුඩා කාලයේම මම කැමරාවට මුහුණ දීලා තිබුණ නිසා මට එච්චර වෙනසක් නම් දැනුණේ නෑ. ඩයලොග් මතක නැති වන අවස්ථා නම් තිබුණා. ඒ වෙලාවට නැවත රූපගත කිරීම් කරපු අවස්ථා තිබුණා.

රංගනයේදී සෙසු ශිල්පීන්ගෙන් මොනවගේ සහයක් ද ඔබට ලැබුණේ?

මම බොහෝ විට රඟපෑවේ රංගනයේ අත්දැකීම් ලැබු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සමඟ. ද නිවුස් පේපර් චිත්‍රපටයේ රඟපෑවේ වේදිකාවේ පරිණත නළු නිළියන් සමඟ. ඒ වගේම එහි පරිණතභාවයක් ලැබු ශිල්පීන් දෙපළක් වූ කුමාර තිරමාදුර, සරත් කොතලාවල ශිල්පීන්ගේ රංගනය තුළ වගේම ඔවුනගේ අධ්‍යක්ෂණය තුළ. මේ චිත්‍රපටයේ මම කළ තරුෂි පුවත්පත් කලාවේදිනියගේ චරිතය. මේ චරිතය මට ඔවුන් කරන්න නිදහසක් ලබා දුන්නා. ඔවුන් මුලින්ම මගේ ඔලුව හැදුවා. මාෂි අමතක කරලා තරුෂි වෙන්න මගේ ඔළුව හදල තමයි. මගේ රංගනය ඔවුන් ගත්තේ යුගාත්‍රා වල සමාධි කියන්නේ ඊට වෙනස් සුකුමාල ආදරණීය දුව පැන ඉන්න කෙනෙක්. ඒ ෆ්‍රී එක තුළ මම අවබෝධයෙන් සමාධි තුළ ජිවත් වුණා.

පාසල් කාලයේ පටන් ඔබේ සිහිනයක් තිබුණ ද කවදා හෝ නිළියක් වෙනවා කියලා?

නෑ. මට එහෙම තිබුණේ නෑ. අවුරුදු කුමරිට යැව්වෙත් අම්මි තමයි. ඒ වෙලාවේ මම හිතුවේ නෑ. අවුරුදු කුමරිය වෙයි කියලා ඒත් වුණා. මම ආසයි කලාකරුවන්ට, සිනමාවට ආදරෙයි. මම හොඳ රසිකාවක්. නමුත් මම හිතුවේ නෑ නිළියක් වෙයි කියලා. මගේ දෛවය ඒක වෙනස් කරලා.

පුබුදු වුණත් කැමති ද මාෂි නිළියක් විධියට ක්ෂේත්‍රයේ දකින්න?

එයාට මාව හමු වූ මුල්ම දවසේ මම එතකොට අම්මිත් එක්ක හිටියේ. එතකොට එයා එක පාරම කිව්වේ හානේ මෙයා හොඳයිනේ. කවද හරි මට ෆිල්ම් එකකට ගන්න කියල තමයි මා ළඟට ඇවිත් කතා කළේ. නමුත් යාළු වුණාට පස්සේ එහෙම කැමැත්තක් නම් දැක්වුයේ නෑ. නමුත් බැන්දට පස්සේ එයා කැමැතියි මම රඟපානවට ඒකට බාධාවක් නෑ.

චිත්‍රපට රංගනයටත් පෙර ඔබ ටී.වී. කොමර්ෂල් සඳහා පෙනී සිටින නැතැත්තියක්. ඒ අවස්ථාව ඔබට උදාවන්නේ කොහොමද?

මගේ පාසල වුණේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් විද්‍යාලය. ප්‍රසිද්ධ දැන්වීම් ආයතනයක්. අපේ ඉස්කෝලෙන් ළමයි ටිකක් එකතු කරගෙන කැලැන්ඩරයක් කළා. මුලින්ම මම පෙනී හිටියේ කැලැන්ඩර්වලට. ඒ කාලේ කැලැන්ඩර් කියන්නෙත් ලොකු දෙයක්. ඒ හරහා තමයි මට දැන්වීම් සඳහා පෙනී ඉන්න අවස්ථාව ලැබුණේ. පස්සෙන් පහු මටත් ලැජ්ජා හිතුණා දැන්වීම්වල ඉන්න කොට. පාසලේ යාළුවෝ ටීචර්ලා හඳුනාගන්න කොට කොච්චර දැන්වීම් සඳහා පෙනී හිටියත් කවදාවත් ඉස්කෝලේ නාට්‍යයක නම් රඟපාලත් නෑ,

යම් අයුරකින් පුබුදු හමුනොවුණා නම් ඔබ කවුරු වෙන්න ද හීන දැක්කේ?

මම පොඩි කාලෙදීත් කියල තියෙන්නේ මට අම්මා කෙනෙක් වෙන්න ඕනෙ කියලා. ඒක තමයි පුංචි සන්ධියේ ඉඳලා මගේ තිබුණ හීනය. ගුරුවරු මගෙන් කවුරු වෙන්න කැමැති ද කියල ඇහුවහම මම කියල තියෙන්නේ අම්මා කෙනෙක් වෙන්න ඕනෙ කියලා. මම අධ්‍යාපනය හෑදැරුවේ ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට ගිහින් ව්‍යාපාර කළමනාකරණය ගැන ඉගෙන ගන්න. මම හිතුවේ මම ගෘහණියක් වුණත් හොඳට ඉගෙන ගෙන ඉන්නවා කියලා. ඒක තමයි මගේ අරමුණ වුණේ. ඒ අරමුණ මම කොයි දේ අස්සෙත් ඉටු කරගත්තා. මට ලොකුවට හීන තිබුණේ නෑ. මම කවදහරි අම්මා කෙනෙක් වුණත් මගේ දරුවන්ට දෙයක් දෙන්න මට දැනුමක් තියෙන්න ඕනෙ කියලා. අධ්‍යාපනය කියන දේ අපි ලබල තිබුණොත් අපි මොනවා කළත් ඒ දේට ඒක ලොකු ශක්තියක්. මම කියන්නේ කලාවට කවුරු හරි නවකයෙක් ආවත් ඔහුට පළමුව හොඳ අධ්‍යාපනයක් තියනවා නම් තමන්ගේ ගමන හරි පහසුවෙන් යන්න පුළුවන් කියලයි. මම කියන්නේ.

නිළියක් ලෙස ක්ෂේත්‍රයේ රැඳෙන්න ඔබ අපේක්ෂා කරන චරිත තියනවද?

මට ලොකුවට චරිත සඳහා ආසාවක් නෑ. ලැබෙන දෙයක හොඳ දෙයක් කරන්න තමයි මම කැමැති. ආදරණීය චරිතවලට තමයි මම කැමති. තිරය තුළ පෙම්වතියගේ භූමිකාවට මම එතරම් කැමැති නෑ. වෙනස් විධියේ ආදරණීය චරිතවලට තමයි මම වඩාත් කැමැති. යම් අධ්‍යක්ෂවරයෙක් මාව දැකල එයාලම මාව විචාරය කරල මට මෙන්න මේ චරිතෙයි සුදුසු කියල ලබාදෙන චරිතයකට මම කැමැතියි.

මාෂි කවදාවත් චරිත ඉල්ලපු නිළියක් නොවෙයිද?

කොහෙත්ම නෑ. මාව චරිත හොයාගෙන ආව මිසක් අද වෙනකන් මම චරිත හොයාගෙන ගිය නිළියක් නම් නොවෙයි. මෙතෙක් මම කාගෙන්වත් චරිත ඉල්ලලවත් නෑ. ඉදිරියටත් මම එහෙම කරන්නෙත් නෑ. මගේ වැලිව් එක මම කියනවා. කැමැති නම් නිර්මාණය හොඳ නම් කරනවා. ඒ ඇරෙන්න තව කෙනෙක්ට ලැබෙන්න තියන දෙයක් අඩු මුදලක් කියල මගේ ගොඩට එකතු කරගන්න කෙනෙක් නොවෙයි මම.

ස්ක්‍රිප්ට් එක අතට ආපු ගමන් ස්වයං තීරණයක ද ඔබ ඉන්නේ?

ඔව්. පුබුදු මට නිදහස දීලා තියනවා. එයා කවදාවත් මට නරකක් වෙන්න තියන්නේ නෑ. මට වැඩිය මේ ක්ෂේත්‍රය ගැන එයාට අවබෝධයක් තියනවා. මට පිටපතක් ගැන තීන්දුවක් ගන්න එයා නිදහස දීලා තියනවා. ඒ ආශිර්වාදය මත මම කවදාවත් නරකක් නොකරන බව එයාටත් ඉරහඳ වගේ විශ්වාසයි.

රිදී තිරයට ආ නවක නිළියක් ලෙස ඔබට යුගාත්‍රා හරහා ප්‍රවීණයන්ගෙන් මොනවගේ ආභාසයක් ද ලැබුණේ?

මම හරිම වාසනාවන්ත වුණා. නදිකා ගුණසේකර, සනත් ගුණතිලක, ලක්ෂ්මන් මෙන්ඩිස්, චන්න පෙරේරා වගේ ප්‍රවීණයන් ඇසුරේ රංගනයේ නියැළෙන්න. මගේ මවට රඟපෑවේ නදීකා ගුණසේකර ඈ අති විශිෂ්ඨ රංගනයක නියැළෙනවා. මේ වගේ ප්‍රවීණයන්ගේ ඇසුරේ රඟපානකොට මට කිසිම ආධුනික බවක් දැනුණේ නෑ. ඒ අය අපේම පවුල්වල සාමාජිකයන්සේ කුලුපගව තමයි මේ කාර්ය සිද්ධ කළේ.

ඔබේ මවත් ලොකු කැප කිරීමක් කළා කියල ආරංචියි?

මගේ අම්මි තමයි මගේ තනියට හැම දවසෙම ආව ගියේ. අපි පාන්දර හතරට අවදි වුණා. අම්මිත් ලොකු කට්ටක් කෑවා. රැයක් දවාලක් නැතිව පුබුදු අයියාගේ අම්මත් දවසක් මගේ තනියට ෂූටින් යන්න ආවා. පුබුදුගේ අම්මා ජීවිතයේ පළමු වතාවට තමයි ෂූටින් එකකට ඇවිත් තිබුණේ. එයාගේ පුතාවත් රඟපාන දර්ශන තලයකට ගිහින් තිබුණේ නෑ. ඒ වන විටත් මම වෙනුවෙන් ඒ අම්මත් ආවා. එදා තමයි ඒ අම්මත් දැක්කේ පුතා කරන රස්සාවේ කටුක බව.

යුගාත්‍රා සිනමා අත්දැකීම් විදින්නට ප්‍රේක්ෂකයන්ට ඔබ ලබාදෙන්නේ මොනවගේ ආරාධනයක් ද?

මේක වෙනස්ම සිනමා අත්දැකීමක්. තුන් කොන් ප්‍රේමයක් මත දිග හැරෙන කතාවක්. මේක අපි හැමදාම දකින රොමැන්ටික් කතාවලට වඩා ටිකක් වෙනස් කතාවක්. කතාව වුණත් රසවත් අපි නොසිතන දෙයක් තමයි කතාව තුළ ගලාගෙන යනකොට සිද්ධ වෙන්නේ. කුතුහලය කැටි වෙච්ච අපුර්වතම සිනමා අත්දැකීමක්. යුගාත්‍රා මගේ අවසන් දර්ශනයේ දී වුණත් බොහෝ දෙනාගේ ඇස්වල කඳුළු. ඒ තරමට ප්‍රේක්ෂකයාට දැනෙන සිනමා අත්දැකීමක්. පුබ්බා විතරක් මේ චිත්‍රපටය හය පාරක් බැලුවා. හය පාරක් මේ චිත්‍රපටය බැලුවත් එයාට මේක එපා වෙලා නෑ. මම ඉතිං පුබ්බාට කියනවා අනේ බබෝ එපා නම් ඇස්වහගෙන ඉන්න කියලා. ඒත් එයාට එහෙමවත් එපා වෙලා නෑ. තවමත් ඒක එයාට එපා වෙලා නෑ. ඒ තරම් හොඳ චිත්‍රපටයක්. පුබ්බා වුණත් හොඳ විචාරකයෙක්, චිත්‍රපට රසිකයෙක්. ඒ වගේ කෙනෙක් චිත්‍රපටය බලල හය පාරක් ඇඩුවා. ඒ තරම් හිතට සංවේදි චිත්‍රපටයක් මිනිස්සුන්ගේ හිතට සැහැල්ලුවක් ලබන්න මේ වෙලාවේ හොඳ සිනමා නිර්මාණයක් තමයි යුගාත්‍රා. මම ආරාධනය කරනවා මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට වගේම මේ රටේ සිනමා රසිකයන්ට වෙනස්ම ආකාරයේ රොමැන්ටික් ආශ්වාදයක් විදින්න එන්න යුගාත්‍රා පෙන්වන සිනමා ශාලාවකට ඇවිත් බලන්න මම කියන දේ හරි ද කියල. මගේ රංගනය චිත්‍රපටය ගැන ඔබට දැනෙන දේ මටත් කියන්න. මම ආශයි ඒ ප්‍රතිචාරය අත්විඳින්න. අඩුපාඩු ඇත්තම් විවේචනය කරන්න. ඒක අපිට ඉදිරියට ගොඩක් වැදගත්. අපේ වැරදි හදාගන්න.

under the courtesy of sarasaviya.lk news web






------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka