Monday, February 17, 2020

"උඹටත් සමයංට වගේ බස් එකේ බුදියගන්න ඕනද? ඒක ද කරගන්න ඕන" - අධිකරණ භූමියේදීම මරණ තර්ජන කරන අපේ රටේ පාතාලය

“ඒ කූඩුවේ ඉන්නේ කවුද? රණාලේ සමයංගේ ගෝලයෙක් ද?

 පුළුවන් නම් කෙළින් මරන්න වරෙන්කෝ”

ය ඉකුත් බදාදා දිනයකි. කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ප්‍රධාන ගේට්ටුව අසල නවතා තිබූ බන්ධානාගර බස් රථය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන් කිහිපදෙනකු රැගෙන යනු පෙනිණි.

අධිකරණ කටයුතු නිමවීමෙන් අනතුරුව නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන මේ රැඳවියන් අතර අවි දරාගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින්ගේ දැඩි රැකවල් ඇතිව රැගෙන යන එක් රැඳවියෙකි. ඔහු පාතාල ක්‍රියාකාරිකයකු වන “කංජිපානි ඉම්රාන්” ය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියේ රඳවා සිටි තවත් එක්

රැඳවියෙකි. ඔහු නමින් කටුගම්පලලාගේ උදේශික විදුරංග
ය.

“කෙළින් වරෙන්. කෙළින් ඇවිල්ලා හැප්පියන් ඔහෙම එන්නේ නැතුව. පුළුවන් නම් කෙළින් මරන්න වරෙන්කෝ” සිරමැදිරියේ කූරු අතරින් එල්ලීගෙන උදේශික විදුරංග එලෙස කිව්වේ සිරමැදිරිය අසලින් බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන කංජිපානි ඉම්බ්‍රාන්ටය.

“උඹටත් සමයංට වගේ බස් එකේ බුදියගන්න ඕනෑ ද? ඒක ද කරගන්න ඕනෑ. මට හිතෙන්නේ බස් එකේ බුදියගන්න ඕනෑ වෙලා වගේ” ඒ කංජිපානි ඉම්රාන්.

බන්ධනාගාර නිලධාරීන් බාරයේ ආරක්‍ෂක නිලදරුවන් ද සමගින් යමින් සිටි මේ පාතාල ක්‍රියාකාරීන්ගේ සංවාදය එතැන සිටි බොහෝදෙනකුට ඇසුණි. “ඒ කූඩුවේ ඉන්නේ කවුද? රණාලේ සමයංගේ ගෝලයෙක් ද?” රැස්ව සිටි පිරිස කුතුහලයෙන් විමසන්න වූහ.

එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආයුධ එක්රැස් කිරීම සහ එම ආයුධ දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට ලබාදී සංවිධානාත්මක අපරාධ සිදුකළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි සැකකරුවන් 12 දෙනා අතරින් කටුගම්පලාගේ උදේශික විදුරංග යන සැකකරු ද එක් අයෙකි.

මොහු සමග එම සිද්ධියටම අදාළව අත්අඩංගුවේ පසුවන ඊතනවත්ත ආරච්චිගේ අමිල නුවන් නොහොත් “ගොත අසංක” සහ සංජීව සමරත්න නොහොත් “ගනේමුල්ලේ සංජීව” නමැති පාතාල ක්‍රියාකාරීන් දෙදෙනා ද සිරමැදිරියේ රඳවා සිටියහ. රැඳවුම් නියෝග අවසානයේ මෙම සැකකරුවන් අතුරින් කිහිපදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත භාරයට පත්කෙරුණේ ඉකුත් 24 වැනිදාය.

එදිනම දහවල් 2.30ට පමණ බන්ධනාගාරය තුළදී සැක අංක 568 උදේශික විදුරංග යන අයට විෂ ද්‍රව්‍යයක් අඩංගු යැයි සැක කළ හැකි සිරින්ජරයකින් පිටට අනින්නේ “ඩොලී” නමැති සිරකරුවා විසිනි. සැක අංක 305 මොහොමඩ් මන්සූර් මොහොමඩ් මර්ෆාඩ් නොහොත් “ඩොලී” වනාහි කංජිපානි ඉම්රාන්ගේ ගෝලයකු බවට බන්ධනාගාරය තුළ කතාබහක් ඇතිවී තිබේ. කෙසේ වෙතත් අධිකරණයෙන් රක්ෂිත භාරයට පත්කළ දිනම මෙවන් සිද්ධියක් සිදුවීම තුළ බන්ධනාගාර නිලධාරීහු වහාම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකිරීමට බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ද සිදුකරති.

ගොත අසංක සහ ගනේමුල්ලේ සංජීව යන දෙදෙනා කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළ දී ඝාතනයට ලක්වූ රණාලේ සමයං ගේ ගෝලයින් බවට සඳහන් වෙයි.

කංජිපානි ඉම්රාන් සහ උදේශික විදුරංග මුහුණට මුහුණ මුණගැසුණු දිනයක එවන් වූ කතාබහක් ඇතිවිණි. “කෙළින් වරෙන්. කෙළින් ඇවිල්ලා හැප්පියන් ඔහෙම එන්නේ නැතුව.” විදුරංග කංජිපානිට කියන්නේ එහෙයිනි. “සමයං වාගේ බස් එකේ බුදියගන්න ඕනෑ ද” යි කංජිපානි පිළිතුරු දෙයි.

කංජිපානි ඉම්රාන් යනු මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල ක්‍රියාකාරීන් සමග සමීප ඇසුරක් පැවැත්වූ අයකු බවට දැන් දැන් ආරක්‍ෂක අංශ තොරතුරු සොයා ගෙන ඇත. කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටියදී මාකඳුරේ මධූෂ්ගේ දියණියගේ උපන්දින සාදයේදී පොලිසියට කොටුවූ අයෙකි. පසුව එරටින් පිටුවහල් කිරීමෙන් පසු මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමෙන් පසු රක්ෂිත භාරයට පත්කර සිටි සැකකරුවෙකි.

පාතාලයෝ අවසන් ගමන් යන්නේ ලෙයට ලෙයින් පළිගැනීමේ පාතාල න්‍යාය හේතුවෙනි. කඩුවෙල ප්‍රදේශයේ පාතාලයේ රජ්ජුරුවෝ වීමට සිහින බලමින් සිටි රණාලේ සමයං ඇතුළු රැඳවියෝ පස්දෙනකු සහ බන්ධනාගර නිලධාරීන් දෙදෙනකු ඇතුළු පිරිසක් නාඳුනන තුවක්කු කල්ලියකින් ඝාතනය ​​වෙන්නේ ඉකුත් 2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා දිනකය.

එය මෙහෙයවා ඇත්තේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් “අංගොඩ ලොක්කා” නමැත්තා විසින් බවට මේ වනවිට ආරක්‍ෂක අංශ තහවුරු කරගෙන ඇත. පාතාලයේ “ගෝඩ් ෆාදර්” ලෙසින් හැඳින්වූ මාකඳුරේ මධූෂ්ගේ උදව්වෙන් අංගොඩ ලොක්කා මේ ඝාතනය සිදුකර ඇතැයි මේ සම්බන්ධයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරුණු ඉදිරිපත් කිරීමක් ද සිදුකර ඇත. මෙම සිදුවීමෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පළා යන්නේ “ලඩියා” නමැති තවත් පාතාල ක්‍රියාකාරිකයකු ද සමග බව සඳහන් වෙයි.

අද වනවිට මඳකට විරාමයක් තබා ඇතැයි සිතෙන මේ පාතාල ක්‍රියාකාරකම් කොයි මොහොතේ හෝ නැවතත් එළියට එන්නේ පාතාල කිරුළ තමන් වෙත නතුකරගැනීමේ අභිලාෂයෙන් පසුවන පාතාල නායකයින් නිසාය. සැලැසුම් සහගත ප්‍රහාර එල්ල කරමින් සිය අභිප්‍රාය සපුරා ගැනීමට මේ පාතාලයෝ සිතන්නේ අවි ගත්තෝ නසින්නේ අවියෙන්මැයි යන ලෝ දහම ද මෙනෙහි කරමින් වීම හාස්‍යයට කරුණකි.

අංගොඩ ලොක්කාගෙන් මරණ තර්ජන ඇති නිසා බන්ධනාගාරය තුළදී තමාට ආරක්ෂාව සලසා දෙන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝගය කරන ලෙසට ගොත අසංකත් ගනේමුල්ලේ සංජීවත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ හේතුවෙනි.

සැකකටයුතු අන්දමින් බෑගයක් කරේ දමා මාර්ගයේ යමින් සිටි පුද්ගලයකු පුලියන්කුලම් පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්‍ෂක සේනාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පරීක්‍ෂාවට ලක්කරන්නේ ඉකුත් 2019 වර්ෂයේ ජනවාරි මස 1 වැනිදාය.

පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ බිය වන නාඳුනන තැනැත්තා බෑගය ද දමා පලා යයි. වහා ක්‍රියාත්මක වූ පොලිසිය ඉතා ආරක්‍ෂාකාරී පියවරයන් අනුගමනය කරමින් සැකකටයුතු බෑගය සෝදිසියට ලක්කරයි. එහිදී පලා ගිය පුද්ගලයා “ආනන්ද රාසා” නමැති එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයකු බවට තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකිවිණි. වෙඩි තැබීමට සූදානම් කර තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 18ක්, මැගසින් 1ක්, ජීව අත්බෝම්බ 4ක්, සෝලා බලයෙන් ක්‍රියා කරන පවර් බෑන්ක් 1ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක්, සැම්සුන් වර්ගයේ ජංගම දුරකතනයක් ඇතුළු ආම්පන්න රාශියක් එම ගමන් මල්ලේ තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. වහා ක්‍රියාත්මක වූ ආරක්‍ෂක අංශ ගමන් මල්ලේ විස්තර පසුපස හඹා ගියහ.

ඒ අනුව, ඒ-9 මාර්ගයේ පූතූර් කෝවිල දෙසට යන විට හමුවන දුම්රිය මාර්ගය අසලදී යුද උපකරණ තොගයක් ද සමග සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විණි.

වවුනියාවේ පදිංචි මෙයියමුත්තු රාසා සුදාහරන් නොහොත් “ගුණා”, කනගරායකුලම් පදිංචි ශ්‍රීකාන්තන් දර්ශනී නොහොත් “පොන්නම්බලම්”, වවුනියාවේ පදිංචි ගනේෂ් මූර්ති සිදුහත් නොහොත් “සිදු”, පූබාලසිංගම් සූරියබාලන් නොහොත් “සදන්”, තලෛසිංගම් කාන්දරූබන් නොහොත් “කාර්තික්”, කිලිනොච්චියේ පදිංචි උමාගනේෂන් දයානිදි මෙම සැකකරුවෝ වෙති.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනතේ 3 වැනි වගන්තිය සහ 5 වැනි වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත පොලිසිය තුළ රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වවුනියාව අධිකරණය වෙතට ඉදිරිපත් කර තිබිණි. 2011 අංක 1 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ එනම් ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තහනම් කිරීමේ නියෝගය මත මෙම සැකකරුවවන් යළි එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට විමර්ශන කළ යුතුව ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කරගත් තොරතුරු මත රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සොයන්නට විය. මේ අතර වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙනු ලබයි. එහිදී රාජ්‍ය බුද්ධි තොරතුරු මත පදනම්ව මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනකු ඉකුත් වසරේ පෙබරවාරි මස 2 වැනිදා දිනයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වෙයි.

වවුනියාවේ පදිංචි රාසලිංගම් සිවරාජ් නොහොත් “වීරා” නොහොත් “කඩල් වීරන්”, පුලියන්කුලමේ පදිංචි කල්‍යාණකුමාර් ශෂිකුමාර්, මීරිගම පදිංචි ගජමන්හේවා පතිරන්නැහැලාගේ මනුජය ප්‍රමෝද් කාවින්ද පතිරණ, වේයන්ගොඩ පදිංචි කුමාරකලත්තගේ මාලන් ඩොන්සර් විජය සිරිවර්ධන, කරුණානායක පතිරන්නැහැලාගේ ඉන්ද්‍රජිත් රංගන කරුණානායක පතිරණ, රාජගිරියේ පදිංචි මඩපාතගේ දොන් හිමාල් හර්ෂණ, කඩුවෙල පදිංචි මුණවීර කම්කානම්ගේ ප්‍රදීප් දේශප්‍රිය සහ කොළඹ 15 පදිංචි ඇනස්ලි ප්‍රභාගර් වික්‍රමසිංහ එම සැකකරුවෝ වෙති.

මෙම සැකකරුවන් අතරින් පළමු වැනි, දෙවැනි, තෙවැනි, සහ පස් වැනි සැකකරුවන් අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී හෙරෛායින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියේ යැයි කියන සිද්ධියකට අදාළව අත්තනග්ලල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් ද විභාග වෙයි.

මෙම සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිදුකර ඇති මනුෂ්‍ය ඝාතන මෙන්ම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබිණි.

මෙම සැකකරුවන් මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ නිරතව සිටින පුද්ගලයින් බවත් මෙයින් පළමු සැකකාර රාසලිංගම් සිවරාජ් නොහොත් “වීරා” නොහොත් “කඩල් වීරන්” සහ හත් වැනි සැකකරු වන මුණවීර කම්කානම්ගේ ප්‍රදීප් දේශප්‍රිය යන අය කප්පම් මුදල් නොදුන්නැයි බෲස්වත්ත, හේවාගම, කඩුවෙල පදිංචි කේ.ඒ. සුසන්ත යන අයගේ නිවසට යතුරුපැදියකින් ගොස් වෙඩි තැබීමක් සිදුකර ඇති බවත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

මොවුන්ගෙන් වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේදී කොළඹ අපරාධ කොට්ඨාසය මන්නාරම ප්‍රදේශයේ සැඟව සිටි තවත් සැකකරුවන් හතරදෙනකු අත්අඩංගුවට ගන්නේ ඉකුත් මාර්තු මස 1 වැනිදාය.

මඩකළපුවේ පදිංචි ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා”, මන්නාරම පදිංචි වසන්ත ජූඩ් නිරෝෂන්, නැදුන්කර්නි පදිංචි විජයන් සැලන් කුමාර නොහොත් “සැලඩ්” සහ වෙලේනායි පදිංචි ඝනපති කදිරවේලු නොහොත් “සාමි” එම සැකකරුවෝ වෙති.

එල්ටීටීඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීම, ආයුධ සන්තකයේ තබාගෙන සිටි “ආනන්ද රාසා” යන අයට ආධාර අනුබල දීම, ආනන්ද රාසා යන අයගේ ස්වාමීත්වයේ තිබූ ගිනි අවි දෙකක් වේන්ද්‍රන් නොහොත් අප්පා යන අය සමග රැගෙනවිත් දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලිකරුවන් වෙත ලබාදීම, ආනන්ද රාසා සමග දුරකතනයෙන් සබඳතා පැවැත්වීම, ද්‍රවිඩ දේශපාලන නායකයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ සැලැසුම් කිරීම මෙන්ම විදෙස්ගතව සිටින හිටපු එල්ටීටීඊ නායකයින්ගෙන් මුදල් ආධාර ලබාගැනීම, මහා පරිමාණ හෙරොයින් ජාවාරම සහ පීඩාකාරී විනාශකාරී ආයුධ භාවිත කිරීම මෙම සැකකරුවන්ට විරුද්ධව කොළඹ අපරාධ කොට්ඨාසය චෝදනා නගා තිබිණී.

ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා” යන අය හිටපු එල්ටීටීඊ ප්‍රබල සාමාජිකයකු වූ ආනන්ද රාසා යන අය සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති අතර ඔහු ළඟ තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් කොළඹ ප්‍රදේශයේ සංවිධානාත්මක කල්ලියක් වෙත මුදලට විකුණා ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය සිය විමර්ශනවලදී හෙළි කරගෙන තිබිණි.

එසේම, මේ වනවිට විදෙස්ගතව සිටින ජෙගදීස්වරන් වේලුපිල්ලෙයි නඩරාසා නොහොත් “සමර්” සහ පණ්ඩිදරන් යනුවෙන් හඳුන්වන එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයින්ගේ මෙහෙයවීම මත එවකට එම සංවිධානය වළ දමා තිබූ අවි ආයුධ සොයා ගොඩ ගැනීමට ද මෙම ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා” යන අය කටයුතු කර ඇතැයි ද විමර්ශනවලදී හෙළිවී තිබේ.

විදෙස්ගතව සිටින ජෙගදීස්වරන් වේලුපිල්ලෙයි නඩරාසා නොහොත් “සමර්” සහ පණ්ඩිදරන් යන අයගේ අනුදැනුම සහ මෙහෙයවීම මත ද්‍රවිඩ දේශපාලනඥයකු වන සුමන්තිරන් මහතා ඝාතනය කිරීම සඳහා අවස්ථා කිහිපයකදී උත්සාහ කිරීම මෙම ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා” යන අය සිදුකර ඇති ක්‍රියාවක් බව ද පොලිසිය තොරතුරු සොයා ගෙන තිබිණි.

නඩරාසා නොහොත් සමර් සහ පණ්ඩිදරන් යන අයගේ මෙහෙයවීම මත මෙම ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා” යන සැකකරු විසින් විදෙස්ගත පුද්ගලයකු වන මහේන්ද්‍රතිලක මදන් බාබු නොහොත් “මධූ” යන අයට අයත් බැංකු ගිණුමකින් මෙරටට මුදල් ගෙන්වා ගෙන ඇති බව ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

එසේම, මෙම ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා” විසින් විජය සැලන් යන අයගේ ඉල්ලීම මත අයියප්පන් කෝවිල අසල සිල්වා වීදිය වට්ටකච්චි කිලිනොච්චිය ස්ථානයේ පිහිටි සින්න තම්බි කන්දයියා යන අයගේ නිවස පිහිටි භූමියට පිටුපස පිහිටි මෙතෙක් අයිතිකරුවකු හඳුනා නොගත් ඉඩමක අඩි එකහමාරක පමණ යටින් පොළොවේ වළ දමා තිබී ක්ලේමෝ බෝම්බයක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වූයේ ඉකුත් 2019 මාර්තු මස 1 වැනිදාය.

එසේම, ඊට පසු දින එනම් මාර්තු මස 3 වැනිදා වේන්ද්‍රන් නමැත්තා තාවකාලිකව ලැගුම්ගෙන සිටි ආනන්දපුරම් කිලිනොච්චිය පදිංචි මාරිමුත්තු විජයකුමාර් යන අයගේ නිවසේ කාමරයේ තිබී ක්ලේමෝ බෝම්බය පිපිරවීමට භාවිත කරන දුරස්ථ පාලකය සොයා ගැනීමට ද පොලිසිය සමත් විණි.

මෙම ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා” යන සැකකරු ලබාදුන් පිස්තෝල දෙක ලබාගත් රාසලිංගම් සිවරාජ් නොහොත් “වීරා” නොහොත් “කඩල් වීරන්” යන අය ඊතනවත්ත ආරච්චිගේ අමිල නුවන් නොහොත් “ගොත අසංක” සමග යතුරුපැදියකින් ගොස් අංගොඩ කැලණිමුල්ලේදී ඝාතනයක් සිදුකළහ. ඒ ඉකුත් 2017 වර්ෂයේ ජනවාරි මස 5 වැනිදාය. කැලණිමුල්ල අංගොඩ දී එලෙස ඝාතනයට ලක්වෙන්නේ දෙල්ගහවත්ත අංගොඩ ලිපිනයේ පදිංචිව සිටි සුරංග කුමාර පෙරේරා නොහොත් “රත්තරන්” යන අයයි.

රත්තරන් යනු අංගොඩ ලොක්කාගේ පාර්ශ්වයේ කෙනකු බවත් ගොත අසංක සහ ගනේමුල්ලේ සංජීව යන අය රණාලේ සමයං පාර්ශ්වයේ අය බවටත් ආරක්ෂක අංශ තොරතුරු සොයා ගෙන තිබිණි. මෙහිදී අරුණ උදයශාන්ත පතිරණ නොහොත් “රණාලේ සමයං” ඝාතනය ​වෙන්නේ 2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථය තුළදීය.

පාතාල බල අරගල යුද්ධයේදී අංගොඩ ලොක්කාගේ බලපරාක්‍රමය හමුවේ රණාලේ සමයං ජීවිතයෙන් සමුගන්නේ ඒ අයුරිනි. මේ වනවිට රණාලේ සමයංගේ තැන ගැනීමට කඩුවෙල “ඌරුජුවා” උත්සාහ දරමින් සිටින හැඩකි. රක්ෂිත භාරයේ සිටිමින් මොහු රණාලේ සමයං සිදුකළ ක්‍රියාදාමයේ ඉතිරිය පිරිමහමින් යන අයුරු පෙනෙන්නට ඇති බවට එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කරන්නේ ආරක්‍ෂක අංශවල ඇස්වලට වැලි ගසමින් හංවැල්ල ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් මුදල් එකතු කිරීම ජයටම සිදුවෙමින් පවතින බැවිනි.

එසේම, ගොත අසංකගේ උපදෙස් මත වීරා ඉන් අනතුරුව ක්‍රියාත්මක වෙන්නේ කඩුවෙල ප්‍රදේශයේ සුසන්ත යන අයගෙන් කප්පම් ලබා ගැනීම සඳහා ගොස් වෙඩි තැබිමක් සිදුකිරීමය. මේ සඳහා වීරා සමග යතුරුපැදියේ ගමන් සගයා වෙන්නේ මුණවීර කන්කානම්ලාගේ ප්‍රදීප් දේශප්‍රිය යන සැකකරුයි.

මේ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මයික්‍රෝ වර්ගයේ ගිනි අවි දෙකත් සමග ඊතණවත්ත ආරච්චිගේ අමිල නුවන් නොහොත් “ගොත අසංක”, කටුගම්පලාගේ උදේශික විදුරංග සහ සංජීව සමරරත්න නොහොත් “ගනේමුල්ලේ සංජීව” යන අය අත්අඩංගුවට ගැනිණි.

මේ අනුව මෙම සිද්ධියේ තවදුරටත් විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් මෙහි නව වැනි සැකකරු වූ මෙම ප්‍රැන්සිස් සේවියර් ජොන්සන් ඩඩ්ලි නොහොත් “වේන්ද්‍රන්” නොහොත් “අප්පා” යන අය තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ඉකුත් 31 වැනිදා කරුණු වාර්තා කර තිබිණි. මෙහි අනෙක් සැකකරුවෝ මේ වනවිට රැඳවුම් නියෝග අවසානයේ රක්ෂිත භාරයේ පසුවෙති.

පාතාලයට ගිනි අවි ලැබෙන එක් මාර්ගයක් මෙන්ම, එල්ටීටීඊ තහනම් සංවිධානයේ හිටපු වෙඩික්කාරයින් ලැබෙන්නේ කෙසේ ද යන්නට මෙම ක්‍රියාදාමයෙන් යම්තාක් දුරට පසක් වෙයි. පාතාලයෝ එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් හා සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය නොවෙයි.

පාතාලයේ “ගෝඩ් ෆාදර්” ලෙසින් නම් ලබා ගැනීමට කැමැතිව සිටි මධූෂ් ලක්ෂිත හෙවත් “මාකඳුරේ මධූෂ්” ද අවස්ථා කිහිපයකදී එම තහනම් සංවිධානය සමග ඇයි හොඳයිකම් පෑ බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මේ වනවිට මාකඳුරේ මධූෂ් පසුවෙන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මතය. රණාලේ සමයං පරලොව ගොස්ය. උෟරුජුවා බන්ධනාගාරයේය. අංගොඩ ලොක්කා මෙරටින් පලා ගොස්ය. සීතල පාතාල යුද්ධය මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ආරක්‍ෂක අංශ ද සීරුවෙන් සිටියි.

එය සමාජයේ යහපැවැත්මට අත්‍යවශ්‍ය වූ කාරණයකි. සාධාරණ සමාජයක සාමකාමීව ජීවත් වීමේ නිදහස සෑම වැසියකුගේම අයිතිවාසිකමකි. එසේ හෙයින් නිදහසේ ජීවත් වීමේ මිනිස් අයිතිය ළඟා කරගැනීමට ආරක්‍ෂක අංශ ගන්නා වූ උත්සාහය නුදුරේදීම සාක්ෂාත් වනු ඇතැයි සිතමු.

නිමන්ති රණසිංහ

under the courtesy of lankadeepa.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka