Friday, February 14, 2020

දොස්තර කලබල වෙලා කටුනායක වැඩ කරනවා කිව්ව ගමන්ම හෝටලයක වැඩ කරන තරුණිය මිනී කාමරයට දාලා වෙන් කරලා

දොස්තර ඇහුව කොහෙද වැඩ කරන්නෙ කියල - මම කිවුව කටුනායක කියල

 “කොරෝනා කියා මිනී කාමරයක දාලා හිර කළා - මං ගුවන් සේවිකාවක් නොවෙයි”

කොරෝනා වයිරසය වැලඳුන බව කියන අනුරාධපුරයේ තරුණියක පිළිබඳව ඉකුත් දින කිහිපයේදී සමාජ මාධ්‍ය හා තවත් මාධ්‍ය කිහිපයක් හරහා ප්‍රචාරය විය.

මෙසේ ප්‍රචාරයට ලක්වූයේ අනුරාධපුර, කළුවිල ප්‍රදේශයේ තරුණියක සම්බන්ධයෙනි.

ඇයට කොරෝනා තියා උණවත් වැලඳී නොතිබියදී අනුරාධපුර රෝහලත් ඇතැම් සමාජ මාධ්‍ය ජාලාත්
එක්ව වගකීම් විරහිතව කටයුතු කළ නිසා ඇයට වූ චිත්ත පීඩාවත්, කායික පීඩාවත් අපමණය.

ඇයට කතා කළේ වෙච්ච දේ රටට කියන ලෙස ඉල්ලා සිටිමිනි. මේ ඇයගේ කතාවයි.

මේ තරුණියට තාම වයස අවුරුදු විසිදෙකකි. අනුරාධපුර, කළුවිල ප්‍රදේශයේ ගමක උපන් මේ තරුණිය සොඳුරු පාසල් දිවියට ආයුබෝවන් කීවේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි පසුවය.

කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය හා හා පුරා කියා රැකියාවකට ගියේ අනාගත පැතුම් මල්ලක්ද අත තබාගෙනය. ඇය රැකියාව කළේ කටුනායක ගුවන් තොටුපොළට ආසන්නයේම පිහිටි හෝටලයකය.

පිළිගැනීමේ නිලධාරිනියක ලෙස රැකියාව කළ ඇයට ඉකුත් 06 වැනිදා වූ නස්පැත්තිය පිළිබඳ මෙලෙස සටහනක් තබන්නේ මෙරට ඇතැම් මාධ්‍යවල හා ඇතැම් සමාජජාලා වෙබ් අඩවිවල මුග්ධ වැඩ පිළිබඳ පසු විපරමක් අවශ්‍ය නිසාය.

කොරෝනා වයිරසය ගැන මේ වනවිට නොදන්නා කෙනෙක් නැති තරම්ය.

මේ වයිරසය චීනයේ සිට ලොව සතර අත ගලා යද්දී ශ්‍රී  ලංකාවට පැමිණ සිටි චීන කාන්තාවකටත් කොරෝනා වයිරසය ශරීරගත වී ඇතැයි වාර්තා වූ පසු රටම කැලඹීමට පත්වූ වගද ඇත්තකි.

මේ අල්ලපනැල්ලේ සාමාන්‍ය උණ රෝගීන් පවා කොළඹ අයි.ඩී.එච්. උණ රෝහලට යොමු කර ඒ අය පරික්ෂා කර සැකහැර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ගත් පියවර ගැන අප තුළ ඇත්තේ ප්‍රසාදයකි.

කටුනායක ගුවන්තොටුපොළ, වරාය, ආරක්ෂක අංශ, වෛද්‍යවරු, වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත වගකිවයුතු නිලධාරීන් "කොරෝනා වයිරසය" හමුවේ ගත් ආරක්ෂිත පියවරද අපි අගය කරමු.

නමුත් ඒ කතා පසෙකට තබා අනුරාධපුරයේ කළුවිල ප්‍රදේශයේ මෙකී තරුණියට "කොරෝනා" වයිරසය වැලඳී ඇතැයි කියමින් අනුරාධපුර මහ රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් ඇතැම් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ක්‍රියාකළ ආකාරයත්, එයට සමාජ මාධ්‍ය හරහා ලබාදුන් වගකීම් විරහිත ප්‍රචාරණයත් නිසා මෙකී තරුණියත්, ඇගේ අසරණ මවත්, ඥාති හිතමිත්‍රාදීනුත් විදි මානසික, කායික පීඩාව අපමණය.

ඇය කතා කර ඇයට කළ හිරිහැරය පිළිබඳ දැනුම් දුන්නේ "අනේ තවත් කෙනකුට මෙහෙම කරන්න එපා කියන ආයාචනය සමඟිනි."

"මම වැඩ කරමින් හිටියේ කටුනායක ගුවන්තොටුපොළට ආසන්න හෝටලයක. පසුගිය 06 වැනිදා මම නිවාඩු අරන් අනුරාධපුර ගෙදරට ගියා. අම්මයි මායි විතරයි පවුලේ ඉන්නේ. අම්මා සිවිල් ආරක්ෂක අංශයේ වැඩ කරන්නෙ. මම එදා ගෙදර ආවට පස්සේ ඇඟපත අමාරුවක් දැනුණා. ඊට කලින් දවසක මගේ නහයට දූවිලි ගියා. ඒ හින්දා සෙම ගතිය ටිකක් වැඩි වුණා. මම ඒ ගැන අම්මට කිව්වහම අම්මා තමයි බේත් ගන්න යමු කියලා කිව්වේ. අම්මගෙ වදෙන් බේරෙන්න බැරි තැන 08 වැනිදා අනුරාධපුර රෝහලට ගියා. කොහෙද වැඩ කරන්නෙ කියලා ‍ෙදාස්තර ඇහුවම මම කිව්වා කටුනායක කියලා. ඊට එහා මට මුකුත් කියන්න දුන්නෙ නෑ. ‍ෙදාස්තරලා, නර්ස්ලා, ඇටෙන්ඩන්ලා ඔක්කොම මගේ දිහා අමුතු  සතෙක් දැක්ක වගේ බලලා කලබල වුණා. අම්මයි, මමයි ළඟට කාටවත් එන්න නොදී අපි දෙන්නව කලින් ඕ.පී.ඩී. එක තිබුණු තැන කාමරයකට දාලා ‍ෙදාර වැහුවා. ඔයාලා එළියට එන්න එපා. කොරෝනා වයිරසයද කියලා අපිට සැකයි. එහෙම කියලා අපිව කාමරයේ හිර කළා. ඒක මිනී තියෙන කාමරයක්. මිනීවල අතපය ගැටගහන ලණුත් තිබුණා.

උදේ 8.45 ඉඳන් දවල් 12.30 විතර වෙනකන් කන්න බොන්නත් නැතුව ඒ කාමරයේ අපි දෙන්න හිරකරලා තිබ්බා.

බඩගින්නෙ ඉන්න බැරි තැන අම්මගෙන් සල්ලි ඉල්ලගෙන නර්ස් කෙනෙක් බනිස් ජෝඩුවකුයි, කිරි පැකට් එකකුයි ගෙනත් දුන්නා.

බනිස් ගෙඩිය දෙකට කඩලා අපි දෙන්න කෑවා. ඊට පස්සේ අපිට "කොරෝනා" හැදිලද කියලා සැකයි කියලා අපිව කොළඹ ගෙනියන්න ලෑස්ති කළා.

මට කිසිම අමාරුවක් නෑ. මම අම්මටත් බැන්න මේ මොන විකාරයක්ද කරගත්තෙ කියලා.

හවස 4.35ට විතර ඇම්බියුලන්ස් එකක දාලා අපිව අයි.ඩී.එච්. උණ රෝහලට ගෙනාවා. අපිට විශේෂිත කොළ ඇඳුමක් ඇන්දුවා.

ගිලන් රථයේ හිටිය සේවකයන් දෙන්නා ගිලන් රථයේ ඉස්සරහට ගොඩ වුණා. අන්තිමට අයි.ඩී.එච්.

රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය දෙවියො වගේ අපිට සැලකුවා, කන්න දුන්නා. ඇපල් පවා දුන්නා. මගේ ලේ අරන් පරික්ෂා කරලා ඒ අය කිව්වේ ඔයාට කිසිම ලෙඩක් නෑනේ දුවේ කියලා.

මමත් ඒ අයට කිව්වා මට ලෙඩක් නෑ තමයි කියලා. අනුරාධපුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය තමයි මේ පිස්සු වැඩේ කළේ කියලා මම කිව්වා. ඒ ‍ෙදාස්තරටත් හිනා.

අන්තිමට බලද්දී අනුරාධපුර මහ රෝහලේ අය ස්පීකර්වලින් පවා ප්‍රචාරය කරලා කොරෝනා ලෙඩෙක් හමුවුණා.

ප්‍රවේශම් වන්න කියලා. සමාජ වෙබ් අඩවි, ෆේස් බුක් හරහාත් මේක ප්‍රචාරය කරලා. අපේ ගමේ අයට ආරංචි වෙලා තියෙන්නෙ කොරෝනා හැදිලා මං මැරුණයි කියලා.

බලන්න අපේ මිනිස්සු මොන තරම් නපුරුද? කුරිරුද? කුහකද? ගමේ සමහරු අපේ ගේ පළාතටවත් එන්නැතිව මේ බොරුව හැමතැනම පතුරලා.

වගකිවයුතු මාධ්‍යවලත් මේ බොරුව රස කර කර පතුරවලා. මට මතක් වුණේ කෝපි කඩේ අබිලින්. මේ රටේ ඇතැම් මාධ්‍යයත් අබිලින්ගේ වැඩේ තමයි කරන්නෙ.

මම පැය විසිහතරක් තුළ ආපසු ගෙදර එනකොට මට මේ රට ගැනම පුදුම හිතුණා. අපිට කොරෝනා හැදිලා මැරෙනකන් මේ මිනිස්සු බලාගෙන ඉන්නවද කියලා මට හිතුණා.

ඒ හින්දමයි මම "මව්බිම" පත්තරේට කතා කරලා මේ අවනඩුව කිව්වේ. ඇත්තටම රටට වෙලා තියෙන දෙයක්. එහෙන් ෆේස්බුක්. මෙහෙන් තුට්ටු දෙකේ වෙබ් අඩවි. අනෙක් පැත්තෙන් පිරිහුණු මාධ්‍ය භාවිතය.

ඒ හින්දා මම මෙ සියලුදෙනාගෙන්ම එකම එක ආයාචනයක් කරනවා. වගකීමෙන් වැඩ කරන්න. මාධ්‍ය හසුරවන්න. මේ වැඩවලින් අහිංසක අසරණ මිනිස්සු විඳවන මානසික වේදනාව ගැන මට හොඳට දැනුණා. එච්චරයි."

සටහන - ශිරාන් රණසිංහ


-------------------