Sunday, April 19, 2020

කොරෝනාවෙන් මළොත් මොන ජගතෙක් වුණත් අන්තිම ගමන යන්නේ මෙහෙමයි

“මේ හැමෝම අර විශේෂිත ආරක්ෂා සහිත ඇඳුම අඳින්න ඕනෑ. අත් වැසුම් හා සපත්තු පවා දමන්න ඕනෑ.” 

කොරෝනා රෝගය හේතුකොටගෙන මියයන පුද්ගලයන් සම්බන්ධව අවසන් කටයුතු සිදු වන්නේ ජාත්‍යන්තර නීති රෙගුලාසිවලට අනුවය. ඒ නීති රීතිවලට අභියෝග කිරීමට කිසිවකුට නොහැකිය.
මෙවැනි පුද්ගලයකුගේ මළසිරුරක් දින ගණන් තබා ගැනීම ඒ නීතියට පටහැනිය. මියගොස් පැය 24ක් යන්නට මත්තෙන් එම දේහය අඩි 8ක් ගැඹුරු වළක භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම ජාත්‍යන්තර නීතියයි. මේ නීතියට කිසිවකුගේ ජාතිය, ආගම හා තරාතිරම බලපාන්නේ නැත. එය මෙරට මෙන්ම ලෝකයේ සුපිරි රටවලදී මියගිය කොරෝනා රෝගීන් ඉදිරියේ ක්‍රියාත්මක වූ නීතිය හා සසදා බලන කල මැනවින් පැහැදිලිය.

මේ නීතිරීති හා රෙගුලාසි නොදත් ඇතැමුන් දේශපාලන වාසි තකා, විවිධ මතවාද සමාජය පුරා වපුරන්නට උත්සාහ ගන්නා අන්දම පසුගිය කාලයේ අහන්නට දකින්නට ලැබුණේය. එහෙත් කොරෝනා රෝගය ඉදිරියේ ඒ වගේ වාසි ලබාගන්නට නොහැකිය. එය අසාර්ථක කටයුත්තකි.

සාමාන්‍යයෙන් ලෝකයම පිළිගත් ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක වන මියගිය කොරෝනා රෝගියකුගේ අවසන් කටයුතු සිදුවන්නේ මේ ආකාරයටය. එය ඔබ සාමාන්‍යයෙන් දන්නා තොරතුරුවලට වඩා එහා ගිය අමුතුම විදිහේ ආරක්ෂාකාරී පිළිවෙතකි.

“කොරෝනා රෝගියකු මිය ගියාට පස්සේ ඒ වෙනුවෙන් ක්‍රියා කරන කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ඔවුන්ට ලොකු වගකීමක් පැවරිලා තිබෙනවා. ඒ වගකීම ඉටුකරන්න ඕනෑ තමන්ගේ ආරක්ෂාව වගේම රටේ ආරක්ෂාව ගැනත් හිතලා.”

මෙසේ කියන්නේ අයි.ඩී.එච්. උණ රෝහල පිහිටා ඇති ගොතටුව බලප්‍රදේශයේ ස්ථාපිත සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරි නලින් ෆොන්සේකා මහතාය. ඔහු ඇතුළු එම කාර්යාලයේ ප්‍රධානි වෛද්‍ය ප්‍රදීපා හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි මහත්වරුන් මේ දිනවල දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන්නේ උණ රෝහලේදී මියයන කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ අවසන් කටයුතු තම නිලධාරීන්ට පැවරී ඇති රාජකාරි බව මනාව වටහා ගෙනය.

“කොරෝනා රෝගියෙක් රෝහලේ වාට්ටුවකදී හෝ දැඩි සත්කාර ඒකකයේදී මියගියොත් රෝහලේදී සිදුවිය යුතු වගකීම් කොටස කරන්නේ ඔවුන්. ඒ අනුව අදාළ පුද්ගලයාගේ නහය, කට, කන් වගේ තැන්වලට පුළුන් ඔබනවා. මොකද ඒ සිදුරුවලින් විසබීජ පැතිරේවි කියන බියට. ඊට පස්සේ මේ දේහය විශේෂිත බෑගයකට දමනවා.  (Body Bag) මේ වැඩකටයුතු කරන්නේ ක්ලෝරින් දියර ස්ප්‍රේ කරලා විසබීජ නසන ගමන්.

මේ විදිහට සූදානම් කරන දේහය ඊළඟට රෝහලේ ඇති මෘත ශරීරාගාරයේ වෙනම තැනක තබනවා. ඒ පුද්ගලයාගේ ඥාතියකුට පෙන්වන්න.

රෝහලට එන ඥාතියාට අදාළ මියගිය පුද්ගලයාගේ මුහුණ පමණක් පෙන්වන්නේ මීටර් 4ක් පමණ දුරින් ඉන්නට උපදෙස් ලබාදෙමිනි. ඉන් අනතුරුව සැණෙකින් බෑගයට යළි සීල් තබන්නේ පෙර ලෙසම අවට වටපිටාවට හා බෑගය තුළට පවා ක්ලෝරීන් මිශ්‍ර දියර ස්ප්‍රේ කිරීමෙන් පසුවය.

නලින් ෆොන්සේකා මහතා පවසන්නේ මේ ක්‍රියාවට සම්බන්ධ වන සියලුම රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිස් පෙර කී ලෙසට විශේෂිත ඇඳුමකින් සැරසී සිටින බවය. එමෙන්ම ඒ වැඩ කටයුතු නිම වූ සැණින් එම ඇඳුම් පිරිසුදු කිරීමට වහා කටයුතු කරන බවය. එමෙන්ම ඇතැම් දේ පුලුස්සා දමන බවය.

“මේ විදිහට සූදානම් කරන දේහය ඉන් පසුව අපට ලබාදෙනවා. ඒ වගේම දේහය අරන් යන වාහනයත් ලැබෙන්නේ රෝහලින්.”

“කොරෝනා රෝගය හේතුකොටගෙන දේහය මිනී පෙට්ටියක දමා සීල් කරන වෙලාවෙත් වඩා සැලකිලිමත් වෙනවා. දේහය ඇති බොඩි බෑග් එකට ක්ලෝරීන් දියර ස්ප්‍රේ කරලා මිනී පෙට්ටියටත් ඒ දියර ස්ප්‍රේ කරලා තමයි පෙට්ටියට සීල් තියන්නේ.”

“මේවා කරලා ඉවර වෙලා කනත්තට අරන් යද්දී අපේ නිලධාරීනුත් යනවා. ඊට අමතරව විසබීජ නසන දියර අරන් තවත් සේවකයන් දෙදෙනෙක් යනවා.”

“මේ හැමෝම අර විශේෂිත ආරක්ෂා සහිත ඇඳුම අඳින්න ඕනෑ. අත් වැසුම් හා සපත්තු පවා දමන්න ඕනෑ.”

“ඔයගොල්ලෝ දැකලා ඇති මේ දේහය ආදාහනාගාරයට දැම්මාට පස්සේ ඒ ඔවුන් ඇඳ සිටි ඇඳුම් සියල්ල ඒ තුළටම දමා පුලුස්සනවා. කවුරුත් දැකලා ඇති. ඒක අනිවාර්යයි.”

“ඒ වගේම ඒ ප්‍රදේශයම ජීවානුහරණය කරනවා. දේහය අරන් ගිය රථයෙත් විසබීජ නසනවා. සේවකයෝ ස්නානය කරනවා. සාමාන්‍ය ඇඳුම් ඒ වෙලාවේම සෝදනවා.”

කොරෝනා මරණ සිදු වූ මුල් අවස්ථාවලදී අදාළ දේහයන් ආදාහනය කෙරුණේ ජාත්‍යන්තර නීති රෙගුලාසිවලට අනුව වුවද එහිදී ඥාතීන්ගේ මැදිහත් වීම ගැන හෝ එම දායකත්වය ගැන මතවාද ගොඩනැඟුණේ නැත. එහෙත් මුස්ලිම් කොරෝනා රෝගියකුගේ ආදාහනයෙන් පසුව මේ සම්බන්ධව එම ජන සමාජයේ දේශපාලනඥයන් යම් යම් මතවාද ගොඩනඟන්නට පටන් ගන්නා බවක් පෙනිණි. විශේෂයෙන්ම ආදාහනය හා ආගමික චාරිත්‍ර පිළිබඳ ඔවුහු හඬ නැඟූහ. එහෙත් රටේ ආරක්ෂාව ගැන සිතූ බොහෝ දෙනාගේ අදහස වූයේ ආදාහනය හැරුණුකොට භූමදානය සඳහා අවසර නොදිය යුතු බවය. එමෙන්ම අවශ්‍ය නම් ආගමික චාරිත්‍ර ඉටු කිරීමට හෝ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට පවුලේ ඥාතීන් දෙදෙනකුට ඒ වෙනුවෙන් සහභාගි වීමට අවසර ලැබුණේය.

“අපි මහජනයාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ගැන හිතනවා නම් මේ දේහයන් ආදාහනය කළ යුතුමයි. මොකද අපේ රටේ පොළොව අඩි 8ක් විතර හාරපු ගමන් ජලය එන්න පටන් ගන්නවා. සමහර තැන්වල විශේෂයෙන්ම වැලි සහිත ප්‍රදේශය (මුහුදුබඩ පළාත්) තුළ එහෙම හාරන්නත් බැහැ.”

“අනෙක අපි දන්නවා සියවස් ගණනක් පැරැණි දේහයන්වල ඇට සැකිලි මතු වූ අවස්ථාවලදීත් බැක්ටීරියා ආසාදන ඇති වී තිබුණු බව. ඉතිං කොරෝනා වගේ දරුණු වසංගත රෝගයක් වැලඳිලා මියයන රෝගීන්ගේ දේහයන් තුළින් එවැනි විසබීජ මතුවෙන්න බැරිද.”

“ඒක ඇත්තටම භයානක තත්ත්වයක්. ඒ නිසා මේ දේහයන් භූමදානය කිරීම සුදුසු දෙයක් නෙවෙයි. පසු කාලයේ පොළොව යට තිබෙන ඒ විසබීජ මතු වෙන්න පුළුවන්.”

“ඔබ දන්නවා මේ රෝගය අලුත් භයානක ලෙඩක්. අපි තවම එහි ස්වභාවය හරි හැටි හඳුනාගෙන නැහැ.” නලින් ෆොන්සේකා මහතා පවසන්නේ රටේ අනාගතය ගැන සිතාය. මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතාය.

පසුගිය කාලයේ කොරෝනා රෝගීන්ගේ දේහයන් පුලුස්සා දැමීම ගැන ප්‍රදේශයේ ජනතාව අතර විරෝධතා දක්වන්නට පටන් ගත්තේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ එය අනිසි බියක් බවය.

“සාමාන්‍යයෙන් මේ කොරෝනා විසබීජය සෙන්ටිගේ‍ර්ඩ් අංශක 30කදී විනාශ වෙනවා. අපි දේහයන් පුලුස්සන්නේ සෙන්ටිගේ‍ර්ඩ් අංශක 1,200ක වගේ උෟෂ්ණත්වයකින්. ඒ නිසා කිසිදු කෙනෙක් අනිසි බියක් ඇති කරගන්න වුවමනා නැහැ.”

“ඒ වගේම මේ දේහය පිලිස්සී ගියාට ඒ දුම්වලින් කාටවත් ප්‍රශ්නයක් ඇති වන්නෙත් නැහැ. අළු අයින් කළත් ගැටලුවක් ඇති වන්නේ නැහැ.”

මේ ආකාරයට සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තමන්ගේ රාජකාරිය දේවකාරියක් සේ සලකා ඉටු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ද තම ආරක්ෂාව සපයා ගැනීමට උනන්දු වන්නේ බොහෝ කැපකිරීම් කරමිනි.

“අපේ සමහර සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු ගෙවල්වලට යන්නේ නැහැ. තවත් අය බෝඩිම් වෙලා හිටියේ. ඒ අයට බෝඩිම් වැහුණා. මොකද බය නිසා ඒවා දීලා එන්න සිද්ධ වුණා. දැන් ඒ හැමෝම නිල නිවාසයක ජීවත් වෙනවා.”

“මම ගෙදර යන්නේ මිදුලේදීම අරන් ගිය දේවල් තියලා. ඇඳුම් පැලඳුම් පවා සෝදන්න දාලයි. ඒ වගේම ගෙදරට ගිහින් ඉන්නේ තනියම කාමරයකට වෙලා. කන්නේ බොන්නෙත් තනිවම. පවුලේ උදවිය මේක තේරුම් අරන් මට උදවු කරනවා. ඔහොමයි මේ කොරෝනා ම¾ඩින්න අපි ජීවිතය කැප කරලා තිබෙන්නේ.” නලින් ෆොන්සේකා මහතා කීවේ සිනාසෙමිනි.

කොරෝනා රෝගියකුගේ ප්‍රතිකාර මෙන්ම මියගිය පසු සිදුවන ආදාහන කටයුතුවලදීද රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු මහජන පරීක්ෂකවරු මෙන්ම සෙසු පිරිස කටයුතු කරන්නේ ජීවිතය පරදුවට තබාගෙනය. කොරෝනා ඒ තරම්ම විනාශකාරීය. මේ විනාශකාරී තත්ත්වය මැඬපවත්වා ගැනීමට වැය කරන ධනය හා ශ්‍රමය අති විශාලය.

“අපි ඒ නිසා තමයි හැම මොහොතකම කියන්නේ මිනිසුන්ට පරිස්සම් වෙන්න කියලා. ගෙදරටම වෙලා ඉන්න කියලා. සැකයක් ඇත්නම් නිරෝධායනය වෙන්න කියලා.”

සාමාන්‍යයෙන් ඕනෑම රෝගියකු මියගිය පසු අධිකරණ වෛද්‍යවරයා ඒ වෙනුවෙන් මැදිහත් වී මරණයට හේතුව සඳහන් කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් කොරෝනා මරණ ඉදිරියේදී ඒ ක්‍රියා පිළිවෙතට ඉඩක් නැත.

“දැන් සාමාන්‍ය විදිහට මියගියත් සැක සහිත නම් අපට ඒ මියගිය පුද්ගලයාගේ සිරුර කැපීමට පෙර කොරෝනා ඇත්දැයි පරීක්ෂා කළ යුතු වෙනවා.

එහෙම නොකර දේහය කැපුවොත් ඒක අපි ගන්නා ලොකුම ලොකු අවදානමක්.”

මෙසේ කියන්නේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්න පෙරේරා මහතාය.

“අපි කොරොනා රෝගියකුගේ මළ සිරුර එසේ කපා පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඒක ඇත්තටම අපි ගන්නා ලොකු අවදානමක්.

ඒ වගේම දේහය භූමදානය නොකර ආදාහනය කිරීමත් සිදුවිය යුතුමයි.”

ලෝකයට තවමත් ආගන්තුක කොරෝනා එසේත් නැතිනම් “කොවිඩ් - 19” කවදා කොයි ආකාරයෙන් ලෝකයට ඇතුළු වූවා දැයි මේ වනතුරු කිසිවකු සොයාගෙන නැත. ඇත්තේ අනුමාන පමණි. ඉඳින් ඒ අනුමාන තුළ ජීවත් වන අපට කොරෝනා යළි කොයි ආකාරයකින් බලපෑම් කරාවි දැයි පහදා දෙන්නට නොහැකිය. අපට කළ හැක්කේ අපට හැකි විදිහට පරිස්සම් වීම පමණි.
 
සමන් ප්‍රියංකර නම්මුනිගේ   
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka