Monday, March 30, 2020

ගම් නවයකට ඇතුළුවීම පිටවීම තහනම්

කොවිඩ් - 19 ආසාදිතයන් බවට සැක සහිත පුද්ගලයන් කිහිප දෙනකු වාර්තා වූ දිස්ත්‍රික්ක හතරකට අයත් ගම් දහයක් සහ තවත් ප්‍රදේශ කිහිපයක් සම්පූර්ණයෙන් වසා දමමින් ඇතුළුවීම සහ පිටවීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. එම ප්‍රදේශ යටතට කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම, මහනුවර
දිස්ත්‍රික්කයේ අකුරණ - තෙලඹුගහවත්ත, පුත්තලම දිස්ත්‍රික්කයේ කඩයන්කුලම, මාරවිල ප්‍රදේශය සහ එහි ග්‍රාම සේවා වසම් හයක් කොළඹ දිස්ත්‍රික්කයේ රාජගිරිය, ඔබේසේකරපුර එක් ප්‍රදේශයක් සහ තවත් හඳුනාගත් කොට්ඨාස කිහිපයක් මෙලෙස වසා දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් සියල්ල කඩිනමින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමටත් අදාළ ගම්මානවල සියලු ජනතාව නිරෝධායනය කිරීමටත් රජය පියවර ගෙන තිබේ.

‘කොවිඩ් -19’ වයිරසය ආසාදනය වී ඇති බවට සැක කරන කිහිපදෙනකු හමුවීම හේතුවෙන් රාජගිරිය - ඔබේසේකරපුර “අරුණෝදය මාවත” ප්‍රදේශයට ඇතුළුවීම සහ පිටවීම තහනම් කිරීමට පියවර ගෙන නැවත රාත්‍රියේදී ඉවත්කර තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ප්‍රදේශයේ පූජකවරයකු විසින් සූරියවැව ප්‍රදේශයේ පැවැති දේව මෙහෙයකට පසුගිය 15 වැනිදා ප්‍රදේශයේ වැසියන් පිරිසක් කැඳවාගෙන ගොස් ඇති බවත්, ඊට සහභාගි වූ පිරිසකට ‘කොවිඩ් - 19’ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මෙම පියවර ගත් බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවැසීය.

මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ අදාළ පූජකවරයා පල්ලිය වසා දමා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත්, ඔබේසේකරපුර - ‘අරුණෝදය මාවතේ’ පුද්ගලයන් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට මේ අනුව පියවරගෙන ඇති බවත් ඔහු පැවැසීය.

මධ්‍යම පළාතෙන් වාර්තාවූ පළමු ‘කොවිඩ් 19’ආසාදිතයා පෙරේදා (28දා) අකුරණින් වාර්තා වූ බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

ඒ අනුව අදාළ ආසාදිතයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යැවූ බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.

අදාළ රෝගියා වාර්තා වීමත් සමඟින් ඔහු පදිංචිව සිටි මහනුවර, අකුරණ, තෙලඹුගහවත්ත ප්‍රදේශය සම්පූර්ණයෙන් වසාදමා බාහිර පිටවීම් සහ ඇතුළුවීම් සියල්ල තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

පාවහන් ව්‍යාපාරිකයකු වන අදාළ පුද්ගලයා පසුගිය මාර්තු 12 වැනිදා සිට 15 වැනිදා දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර සංචාරයක නිරතව සිට මෙරටට පැමිණි පුද්ගලයකු බවත් පසුගිය 28 වැනිදා උදෑසන උණ සහ කැස්ස හේතුවෙන් ඔහු මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ‘කොවිඩ් 19’ වයිරසයට ගොදුරු වූවකු බවට තහවුරු වූ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවැසීය.

එමෙන්ම මෙම ආසාදිතයා ඉන්දියාවේ සිට පැමිණි බව වසන් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඔහු ආගිය ස්ථාන, ඇසුරු කළ පිරිස් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනාද නිරෝධායනයට ලක්කර ඇති බවත් ඔවුන්ගෙන් දෙදෙනකුට මේ වන විට උණ රෝගය වැලඳී ඇති බවට තහවුරු වී ඇති බවත් සඳහන් වෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ කොරෝනා රෝගීන් හමුවීමත් සමඟ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ උපදෙස් මත එම ප්‍රදේශය සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණයට ලක් කොට තිබේ.

එම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා රෝගියාගේ පියා හා දියණියටද එම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව ඔවුන්ද රෝහල්ගත කර තිබිණි.

මේ අතර එම රෝගියා ළඟින් ඇසුරු කළ 20 දෙනකු බණ්ඩාරගම අලුත්ගම පිහිටි සර්වෝදය මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් කර ඇති අතර කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ඇතුළු නිලධාරීන්ද පෙරේදා (28දා) එම ස්ථානය නිරීක්ෂණය කළේය.

කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතාගේ අධීක්ෂණයෙන් යුතුව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් අටුලුගම ප්‍රදේශයේ රාජකාරි සඳහා යොදවා තිබේ.

මාරවිල පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාමසේවා වසම් 06ක පදිංචිකරුවන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (29දා) සිට සිය නිවෙස්වලින් බැහැරට නොයන ලෙසට පොලිසිය නියෝග කර ඇත.

නාත්තණ්ඩිය ප්‍රදේශයේ මරඳ, ගැමුණු මාවතේ, පදිංචි පුද්ගලයකු හට කොරොනා වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ඉහළ නාත්තණ්ඩිය, පහළ නාත්තණ්ඩිය, මැද නාත්තණ්ඩිය, මරඳ උතුර, මරඳ දකුණ සහ හාල්පන්විල යන ප්‍රදේශවල පදිංචිකරුවන් හට මෙම තහනම පනවා ඇත.

කොරෝනා ආසාදිත පුද්ගලයා  ඉන්දියාවේ සිට පසුගියදා (12දා) මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනයකට ලක්නොවී මඟහරිමින් සිටි අයකු වන අතර ඔහු 12 වැනිදා සිට මේ දක්වා අවමංගල්‍ය උත්සව දෙකකට සහභාගි වී ඇති අතර පුද්ගලයන් විශාල සංඛ්‍යාවක්ද ආශ්‍රය කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් අනාවරණය වී ඇත.

මේ පිළිබඳව නාත්තණ්්ඩිය සහ මහවැව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් වන වෛද්‍ය උපුල් ජයතිලක මහතාගෙන් සහ වෛද්‍ය හේමන්ත ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ මෙම ග්‍රාමසේවා කොට්ඨාසවල සියලු නිවැසියන් තම නිවෙස්වලම ස්වයං නිරෝධායනයකට ලක්කර මොනම හේතුවකටවත් බැහැරට යෑමට  නොදී දෛනික අධීක්ෂණයක්ද සිදු කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව බාහිර පාර්ශ්වයන් මේ ප්‍රදේශයට නොපැමිණ සහයෝගය ලබාදෙන මෙන් මහජන  සහාය පතන බවට එම වෛද්‍යවරුන් වැඩිදුරටත්  ඉල්ලා සිටියි.

මාරවිල පොලිසිය විසින් මේ ප්‍රදේශයට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද  ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

මහරගම යහම්පත් මාවතේ ද කොටසක් වසා දමා තිබූ අතර කොවිඩ් -19 ආසාදිතයකු හමුවීම නිසා එම පියවර ගෙන තිබේ.  
  
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka