Thursday, March 5, 2020

"සොච්චම් මුදලකට අම්මලා දරුවන්ව ගණිකා මඩම්වලට විකුණනවා .." - හාල් සේරුවට ඇඟ විකුණන හයිටි වැසියන්ගේ සංවේදී කතාව

ඔබ ජීවත් වන්නේ පෘථිවියේ දුප්පත්ම  ජාතීන්ගෙන් එකක් වන හයිටියේ නම්, ඔබේ කෑම මේසය මත ඇති හොඳම ප්‍රණීත ආහාරය (මේසයක් තිබේ නම්) සමහර විට ‘මැටි රොටී‘ විය හැකිය. ඒවා හිතලූවක් නොව, ඇත්තෙන්ම මැටි වර්ගයකින් සාදන ලද කර කර ගා හැපෙන රොටී ය. පුරාවෘත්තයක් ලෙස මැටි/මඩ රොටී ආහාරයට ගැනීම හයිටියේ යථාර්ථයක් බව වාර්තා වෙයි. මෙම මඩ රොටී සාදා ඇත්තේ ලූණු, මාගරින් සහ ජලය සමග විශේෂ මැටි වර්ගයක් මිශ්‍ර කිරීමෙනි. ඉන්පසු ඒවා හොඳින් කලවම් කර, එම මිශ්‍රණයෙන් රොටී සාදා, විශාල තහඩු මත අතුරා (අප පපඩම් වේලන ආකාරයට) හිරු රශ්මියෙන් වියළනු ලැබේ. දේශීය භාෂාවෙන් මේවා ‘ගැලට්‘ ලෙස හැඳින්වේ. මෙම මැටි, ඛනිජ ලවන වලින් පොහොසත් බවත්, ඖෂධීය ගුණ ඇති බවත් ප්‍රදේශවාසීහු විශ්වාස කරති. අතීතයේ හයිටි ආදි වාසීන් මෙම මැටි රොටී ආහාරයට ගෙන ඇත්තේ සාගතයකින් පසුව පමණි. හයිටියේ ගර්භනී කාන්තාවන් වසර ගණනාවක් තිස්සේ මෙම මැටි රොටී ආහාරයට ගන්නේ, ඔවුන්ගේ ශරීරවලට වඩ වඩාත් කැල්සියම් ලබා ගැනීමේ අරමුණකිනි.

හයිටි මැටි රොටී නොහොත් මඩ කේක් සැබවින්ම කැල්සියම් ප්‍රභවයක් සහ කිසියම් පෝෂණ ගුණයක් සහිත දෙයක් ද යන්න තවමත් ඔප්පු වී නොමැත. සමහරවිට එය එසේ වන්නටත් පිළිවන. එහෙත් හයිටියේ ඔරොත්තු නොදෙන ලෙස ඉහළ යන ආහාර මිල නිසාවෙන් දුප්පතුන් මඩ ආහාරයට ගැනීමට පෙළඹී සිටින බව වාර්තා වෙයි. දරිද්‍රතාවයෙන් අන්ත අසරණව සිටින හයිටියෙහි දුප්පත්ම මුඩුක්කු වල මෙම මැටි මත පදනම් වූ ආහාර සෑදීම ප්‍රධාන ආදායම් උපයන්නෙකි. සමහර විට, හයිටියේ දුප්පතුන්ට ලබා ගත හැකි එකම ආහාරමය විකල්පය මඩ කේක් විය හැකිය. තරුණ ස්ත්‍රීන් හාල් කිලෝ එකකට, කිරි ලීටරයකට විකිණෙන, පවුම් 54 ක් වැනි සොච්චම් මුදලකට සිය දරු දැරියන් අම්මලා අතින්ම වහල් කමට, ගණිකා මඩම්වලට විකිණෙන හයිටියේ දී ශිෂ්ටාචාරයේ මළගම දැක බලා ගත හැකිය.

හයිටියේ ජනගහනය බොහෝ දුරට සමන්විත වන්නේ 1804 දී ප්‍රංශයෙන් නිදහස ලබාගත් අප්‍රිකානු වහලූන්ගෙන් පැවත එන්නන්ගෙනි. හයිටියේ දරිද්‍රතාව සියවස් දෙකකට ආසන්න කාලයක් පැවතුනද, මෙම රටේ සංස්කෘතිය හා ඉතිහාසය තරමක් පොහොසත් යැයි සැලකේ. 1700 ගණන්වල ප්‍රංශ පාලනය යටතේ සිටියදී හයිටිය, ප්‍රංශයේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයෙන් හතරෙන් එකක් පමණ විය. වහල්භාවය අහෝසි කළ ඇමරිකානු කලාපයේ පළමු රට ද හයිටිය වෙයි. නිදහස ලබන විට හයිටිය, අතිශයින්ම අබලන් වූ ආර්ථිකයක් සහිත ණය බරින් මිරිකී ගිය රාජ්‍යයක් විය. ප්‍රංශ යටත් විජිත පාලනයෙන් නිදහස් වීමෙන් පසුව හයිටිය වර්ධනය වන එක්සත් ජනපද බලපෑමට නතු විය. එම බලපෑමෙන් අද දක්වාම හයිටියට නිදහස් වීමට නොහැකි වී තිබේ. වොෂිංටනය දශක කිහිපයක් තිස්සේ හයිටියේ ආර්ථික අර්බුදය උග්‍ර කෙරෙන විනාශකාරී නව ලිබරල් ප්‍රතිපත්ති රට මත පටවමින්, තමන්ට අවනත දුෂිත පාලකයන් බලයට ගෙන ඒම සඳහා නියම්ව සහ අනියම්ව මැදිහත් වෙමින් ද සිටී. ඇත්තෙන්ම හයිටි අර්බුදය වනාහි, නව යටත් විජිතවාදය, නව ලිබරල්වාදය සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ගන්නා වූ අයුක්ති සහගත සහ තිරසාර නොවන ප්‍රවේශයන් යන විෂ සංයෝජනයන්ගේ ප්‍රතිඵලයකි.

අවාසනාව ඛේදවාචකයක් කළ රත්රං නිධි
දෙලක්ෂයකට අධික පිරිසක් මිය ගොස් මිලියනයකට වඩා පිරිසක් අවතැන් කළ 2010 වර්ශයේදී එරටට බල පෑ දරුණු භූමිකම්පාවෙන් පසු, ජාත්‍යන්තර විද්‍යාඥයන් සහ රජයේ් ගවේෂණවලට අනුව, හයිටි පොළව යට එරට ආර්ථිකය සුඛිත මුදිත කිරීමට තරම් සෑහෙන රත්‍රන් සහ වෙනත් ලෝහ නිධිවලින් ගහනව පවතින බව සොයා ගන්නා ලදි. එහෙත් අතට ගත්තු කේජු කෑල්ල කටේ දාගන්න කලින් කපටි හිවලූන් විසින් ඩැහැගන්නා ආකාරය දෙස බලා සිටින්නට තරම් හයිටි ජනතාව අවාසනාවන්ත විය. ලෝක බැංකුවේ මැදිහත් වීම මත එරට රජය, රටේ පතල් නීතිය සංශෝධනය කිරීමට කටයුතු කරන ලදි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරවා ගන්නා ලද නව නීති කෙටුම්පත්වලට හයිටි පාරිසරික හා මානව හිමිකම් සංවිධානවල අදහස් ඇතුළත් නොවීය. සම්පාදනය කෙරුණු නව පතල් කැණීමේ නීතිවල කිසිදු විනිවිදභාවයක් තිබුණේ නැත. එම නීති අවශ්‍යයෙන්ම එක්සත් ජනපදය ප්‍රමුඛ බලවත් රටවල්වල අවශ්‍යතා නියෝජනය කරන බව පැහැදිලිවම පෙනී යයි. හයිටියේ උතුරු කඳුකරයේ රන්, තඹ සහ වෙනත් ලෝහ සඳහා ගවේෂණය කිරීමට කැනේඩියානු සහ ඇමරිකානු සමාගම්වලට අවසර ලබා දෙන ලදි. හයිටි ආර්ථිකය සූරා කෑම සඳහා එක්සත් ජනපද ප්‍රවේශය ඉතාමත් ඉහළ මට්ටමක පවතී. එක්සත් ජනපද සහ කැනේඩියානු සමාගම් විසින් කුණු කොල්ලයට සූරා කනු ලබන හයිටියේ වටිනා ඛනිජ නිධි වල වටිනාකම ඩොලර් බිලියන 20 කටත් වඩා වැඩි වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. එය එරට දළ ජාතික නිෂ්පාදිතයටද වඩා වැඩි අගයකි.

එහෙත්, හයිටිය අද වන විට බටහිර
අර්ධගෝලයේ දුප්පත්ම ජාතිය ලෙස සැලකෙන අතර, ජාත්‍යන්තර සමීක්ෂණවලට අනුව, හයිටිය ලොව ¥ෂිතම රටවල්වලින් එකක් ද වෙයි. රටෙන් සියයට 80 ක් තරම් විශාල පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, ඔවුන් ජාත්‍යන්තර ආහාර ආධාර මත යැපේ. එහෙත් එරට කුඩා ප්‍රභූ කණ්ඩායමක් අතිශයින් ධනවත් පිරිසක් බව පත්ව සිටී. හයිටියේ දුප්පත්කම විශ්වාස කළ නොහැකි තරම් වෙයි. සුළු මුදලක් උපයා ගැනීමට හැකි පුද්ගලයන්ට පවා එම මුදල් ආයෝජනය කිරීමට ඇති හැකියාවන් අවමය. ධනවත් හයිටි ජාතිකයෝ සාප්පු යෑමට රටින් පිටව යති, ඔවුහු හයිටියෙන් පිටත රටවල්වල ආයෝජනය කරති. එබැවින් ඔවුන්ගේ මුදල් ආපසු දේශීය ආර්ථිකයට එකතු වන්නේ නැත. ඇත්තෙන්ම රටේ සහ ජනතාවගේ ආදායම තමන්ගේ සාක්කුවල තබා ගැනීම හැර වෙන කිසිවක් කිරීමට එරට ඇති හැකි කිසිවෙකු උනන්දු නොවන බවක් පෙනේ.
හයිටියේ ක්‍රියාත්මක වන්නේ පූර්ණ නිදහස් විවෘත ආර්ථික ක්‍රමයක් වන අතර, රටේ බහුතරයක් ජීවත් වන්නේ දිනකට ඇමරිකානු ඩොලර් දෙකකට වඩා අඩු ආදායමකින් වෙයි. ලොව රටවල් 182 ක් අතරින් හයිටිය එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ 145 වන ස්ථානයේ පසු වෙයි. හයිටියේ ආයු අපේක්ෂාව අවුරුදු 52 ක් වන අතර, එහි උපත ලබන ළදරුවන්ගෙන්

සියයට 10 ක් පමණ වයස අවුරුදු 4 ට පෙර මිය යයි. රටෙන් අඩකට වඩා නූගත් අය වන අතර, ජනගහනයෙන් සියයට 40 කට පමණ පිරිසකට අකුරු ලියන්න කියවන්න නොහැකිය. බොහෝ විට එහි පුහුණු ශ්‍රමය හිඟය. ආර්ථික සංවර්ධනය පවත්වා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අවශ්‍ය වන මාර්ග, තාක්ෂණය සහ බලශක්ති ප්‍රභවයන් වැනි යටිතල පහසුකම් හයිටියේ පුළුල් ලෙස ස්ථාපිත වී නොමැත.

කන්න අඳින්න පිටරටින් එනතුරු මුහුදට දත නියවීමේ විපාක
ප්‍රංශ අධිරාජවාදීන් හයිටි භූමිය භාවිත කර ඇත්තේ සුඛෝපභෝගී සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කෙරෙන වැටිවර් ර්‍ණඪැඑසඩැර, පැගිරි වර්ගයේ තෘණ ශාකය වගා කිරීම සඳහාය. කිසිදු ආහාරමය භාවිතයක් නොමැති වැටිවර් වගා කිරීම අද වන වන විට හයිටියේ ප්‍රධාන කෘෂිකාර්මික වගාව වන අතර, රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් සහ අනෙකුත් ආහාර අවශ්‍යතාවයෙන් සියයට 60 ක් පමණ ආනයනය කරයි. හයිටියේ අමනෝඥ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ඍජුවම රටේ ආහාර මිල ඉහළ යෑම සඳහා බරපතළ ලෙස බලපා ඇත. කොටින්ම අද වන විට රටේ බහුතරයකට තම දෛනික ආදායමින් මිලට ගත හැකි වන්නේ පාන් රාත්තලක් හෝ කිරි ලීටරයක් හෝ වතුර බෝතලයක් හෝ හාල් කිලෝ භාගයක් හෝ පමණි. හයිටි ජාතිකයන්ගෙන් අඩක් පමණ දිනකට එක් වේලක්වත් සපයා ගැනීම සඳහා ඉමහත් වෙහෙසක් දරයි. දිනපතාම මැටි රොටී කමින් ජීවත්වන අම්මලා තම දරුවන්ට එක වේලක්වත් කන්නට දෙන්න තුට්ටු දෙකට ඇඟ විකුණන්නේ ඒ නිසාය.

වැස්සක් නොවැටුනොත් හෝ යමෙකු අසනීප වුවහොත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔවුන් සතුව ඇති සුළු දේ - සමහර විට ඌරෙක් හෝ එළුවෙකු විකුණා දැමිය යුතුය. අවසානයේදී ඔවුන්ට ඔවුන්ගේ ඉඩම විකිණීමට සිදු වේ. බිත්තියටම හේත්තු වූ බොහෝ හයිටි දෙමවුපියන් හෙට දවසේ දී තමන්ගේ කෙසේ වෙතත් තම දරුවන්ගේ බඩ ගින්න නිවා දමන්නේ කෙසේද යන උභතෝකෝටිකයට මුහුණ දී සිටී. බොහෝ දෙමවුපියන් තම දරුවන්ට තමන්ට වඩා යහපත් අනාගතයක් සැපයිය හැකි එක් ක්‍රමයක් ලෙස තෝරා ගෙන ඇත්තේ දරුවන් නගරවලට හෝ යාබද ඩොමිනිකන් ජනරජයේ ජීවත් වීමට යැවීමයි. එහිදී අවම වශයෙන් ඔවුන්ට තුන් වේල බඩ පුරවා ගැනීමටවත් හැකියාවක් ලැබෙනු ඇතැයි මේ දෙමවුපියන් විශ්වාස කරනවා. එහෙත් මෙසේ යැවෙන දරුවන් සියල්ලෝම පාහේ ළමා වහලූන් ලෙස හෝ ළමා ගණිකාවන් ලෙස විකිණීම අද දවසේ හයිටියේ දරුවන්ගේ ශෝකාන්තය වී තිබෙනවා. කොටින්ම, ඩොමිනිකන් ජන රජයට අයත් හයිටි දේශ සීමා මායිමේ රහසිගතව පැවැත්වෙන ළමා වහල් වෙන්දේසිවලදී මේ දරුවන් ස්ටර්ලින් පවුම් 54 ක් වැනි මිලකට (රුපියල් 12,000 ක් පමණ) අලෙවි කෙරෙන බව වාර්තා වෙනවා.

වැනසුන පරිසරයක සැනසුම කොහිද...?

වනාන්තර, කොරල් පර සහ ඉඩම් හායනයද හයිටියේ දරිද්‍රතාවට හේතු වේ. වසර පනහකට පමණ පෙර හයිටියේ සමස්ත වන වැස්ම භූමි ප්‍රමාණයෙන් සියයට හැටක් පමණ වූ අතර, එය අද වන විට එය සියයට 30 ක් දක්වා පහත බැස ඇත. (වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ වන වැස්ම හයිටියට ද වඩා අඩු අගයක් ගනී.) හයිටියේ ප්‍රධාන බලශක්ති ප්‍රභවය වන්නේ දැව පිළිස්සීමයි. මේ සඳහා ගස් කැපීමෙන් වනාන්තර විශාල ලෙස විනාශ වී ගොස් ඇත. ගස් විනාශ වීමත් සමඟ පස අනතුරුදායක ලෙස ඛාදනය වී ඇති අතර, පාරිසරික හායනයේ දරුණු ප්‍රතිවිපාක අද වන විට හයිටි ජනතාව විඳවයි. බිහිසුණු ගංවතුර සහ නාය යාම්වලින් එරටට කිසිදු ගැළවීමක් නොමැත. 2004 වශරේදී සිදුවූ ගංවතුරට යටවී මිනිසුන් 3,000 ක් පමණ මිය ගොස් ඇත. එමෙන්ම බරපතළ ලෙස සිදුවන පස මුහුදට සෝදා යෑම නිසාවෙන් කොරල්පර වලට හානි සිදු වී තිබෙනවා. හයිටි රාජ්‍යයේ ස්වභාවික පිහිටීම නිසාවෙන් එයට නිරන්තරයෙන්ම නිවර්තන කුණාටුවලට මුහුණ දෙන්නට සිදු වෙයි. වනාන්තර විනාශ වූ භූමියකට නිවර්තන කුණාටු වලට කොහෙත්ම ඔරොත්තු දිය නොහැක.

බොහෝ හයිටි වැසියන්ට පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂාව සහ විදුලිය ලබා ගත නොහැක. ජනගහනයෙන් සියයට 75 කට පිරිසිදු පානීය ජලය නොමැත. ආරක්ෂිත ජල ප්‍රභවයන් ලබා ගත හැක්කේ ධනවත් හයිටි ජාතිකයන්ට පමණක් වන අතර, දුප්පතුන්ගෙන් බොහෝ දෙනෙක් මිය යන්නේ රෝග කාරක බැක්ටීරියා වලින් ¥ෂිත ජලය පානය කිරීම නිසා සහ ඒ ආශ්‍රිත රෝග නිසාවෙන්ය. හයිටිය සිය පුනර්ජනනීය ජල සම්පතෙන් සියයට 8 කටත් වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කරන බවට ගණන් බලා ඇති අතර, විදුලිය ලබා ගත හැක්කේ එහි පුරවැසියන්ගෙන් සියයට 13 කට පමණි. හයිටියේ ඇත්තේ කුඩා තාප බලාගාර තුනක් පමණක් වන අතර, ඒවා ආනයනික තෙල් මත රඳා පවතී.

උදවුවට ආපු එකා ගැහැනු දඩයමේ
හයිටියේ රජයන දේශපාලන අස්ථාවරත්වය සහ සිවිල් කෝලහාල නිසා හට ගෙන තිබෙන අරාජිකත්වය නිසාවෙන්ම ජාත්‍යන්තර මැදිහත්වීම් නිරන්තරයෙන් සිදු වෙයි. සිවිල් කෝලහාල, ඇමරිකන් විරෝධය, මෙන්ම ඇමරිකන් ගැති පාලකයන්ට එරෙහිව පුපුරා යන අරගලකාරී උච්චාවචනයන් සමනය කිරීම සඳහා එක්සත් ජනපද වුවමනාව විසින් මෙහෙයවනු ලබන එක්සත් ජාතීන්ගේ ඊනියා සාම සාධක හමුදා දැනට වසර කිහිපයක් තිස්සේ මෙහි පැළපදියම්ව සිටී. රටේ සාමය, ස්ථාවරභාවය සහ මානුෂික ආධාර නාමයෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම් රටේ අසරණ ජනතාව කබලෙන් ළිපට ඇද දමා ඇත. කොටින්ම සාම සාධක හමුදාවන්ට සහ ප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් බොහෝ දෙනකුට හයිටියේ ළමා වහල්භාවය සහ ලිංගික ශ්‍රමය සූරා කෑම මෙන්ම ගණිකා වෘත්තිය සඳහා ළමුන් ජාවාරම් කිරීමේ කටයුතු වල නිරත වීම පිළිබඳ චෝදනා එල්ල විය.

රුදුරු වසංගත රෝග සුනාමියක්

හයිටියේ ජනතාව ඉතාමත් බරපතළ සෞඛ්‍ය අවදානමකද පසුවෙයි. එරට රෝහල් සහ රෝග නිවාරණ ක්ෂේත්‍රය ඉතා බරපතළ ලෙස කඩා වැටී ඇති අතර, සනීපාරක්ෂක පහසුකම් ජනගහනයෙන් විශාල පිරිසකට අහිමි වී ඇත. මැලේරියාව, බරවා, ඩෙංගු, චිකුන් ගුන්යා, ක්ෂය රෝගය, මී උණ, අතීසාරය සහ පාචනය, ටයිපොයිඞ්, හෙපටයිටිස්, කොළරාව වැනි බෝවන රෝග වසංගත තත්ත්වයක් පවතී. ලැටින් ඇමරිකානු රටවල් අතරින් වැඩිම ජලභිතිකා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ද හයිටියෙන්ය. පිටගැස්ම රෝගය සහ ඇන්ත්‍රැක්ස් රෝගය හයිටියේ ජානපදික වී ඇත. හයිටියේ එච්.අයි.වී / ඒඞ්ස් වසංගතයක් ද ඇත. කැරිබියානු කලාපයේ විශාලතම ඒඞ්ස් වසංගතය එහි ඇත. වාර්ෂිකව මෙම රෝගවලින් හයිටි ජනතාව මිලියන දෙකක් පමණ මිය යන අතර, මිලියන අටක් පමණ රෝගීන් බවට පත් වෙයි. ඒ අනුව ලෝකයේ කොහේවත් දකින්නට නොහැකි වසංගත රෝග දැක බලා ගන්නට අවශ්‍යනම් කෙනෙකු යා යුත්තේ හහිටියටය.

හයිටියෙන් උගත යුතු පාඩම්
හයිටියේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව ලෝකය අවධානය යොමු කිරීමට කාලය එළඹ ඇත. සාගින්නෙන් මිදීම සඳහා ලෝකයේ කොතැනක හෝ මනුෂ්‍ය කොට්ඨාසයක් ජීවත් වන්නේ වචනාර්ථයෙන් මඩ ආහාරයට ගැනීමෙන් බව අප පිළිගත යුතුව ඇත. මෙය, විශේෂයෙන් මිනිස් පරිභෝජනය සඳහා නිපදවන ආහාර වලින් තුනෙන් එකක්ම, ලොව පුරා ආහාර ටොන් බිලියන 1.3 ක් පමණ නාස්ති කරන ශිෂ්ටාචාරයේ ඛේදවාචකයකි. ආහාර නාස්තිය හා මන්දපෝෂණයෙන් පෙළෙන අය අතර ඇති පරතරය කෙසේ හෝ පියවා ගැනීමට කෙනෙකු උපක්‍රමයක් සොයා ගන්නේනම්, සමහර විට එය ආඩම්බර විය යුතු ‘සංවර්ධනය‘ වනු නිසැකය.

මේ දක්වා ජාත්‍යන්තර දේශගුණික ක්‍රියාකාරී ව්‍යාපාරය හයිටියේ සිදුවෙමින් පවතින දේ මුළුමනින්ම නොසලකා හැර තිබේ. ගෝලීය හරිත නව ගනුදෙනුවක් සඳහා ජාත්‍යන්තර පරිසර සංවිධාන සාමූහිකත්වයෙන් ශීත කාමරවල සිට කෙරෙන ඉල්ලීම් අතිශයින්ම ප්‍රශංසනීය බව සැබවි. එහෙත් මොවුන් බොහෝ විට හයිටිය වැනි රටවල්වල සිදුවන අඛණ්ඩ දේශගුණික අසාධාරණයන් නොසලකා හැර ඇත. ඇත්ත වශයෙන්ම, හයිටිය යනු අන්තර්ජාතික දේශගුණික යුක්ති ව්‍යාපාරයේ පළමු විශාල පරීක්ෂණය වනු ඇත. හයිටි වැසියන්ට දේශගුණික යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වුවහොත්, ගෝලීය හරිත නව ගනුදෙනුව අසාර්ථක වනු ඇත.

නව ලිබරල් හා නව යටත් විජිත ප්‍රතිපත්ති ගෝලීය ආර්ථිකය තුළ ආධිපත්‍යය දරන්නේ නම්, ලෝකයට කුමක් සිදුවේද යන්න හයිටියේ පවතින අර්බුදය මගින් පැහැදිලි වේ. නව දේශගුණික විපර්යාසයන් සහ ඌණ සංවර්ධිත තත්ත්වයන්, එක්සත් ජනපද විලාසිතාවේ නිදහස් වෙළඳපොළ ආර්ථික විද්‍යාව විසින් වඩාත් නරක අතට හරවන බව හයිටිය මැනවින් ප්‍රත්‍යක්ෂ කර ඇත. දිගින් දිගටම බලයේ රැඳී සිටිය හැක්කේ එක්සත් ජනපද මැදිහත්වීම නිසා බව දන්නා හයිටියේ ප්‍රභූන් සහ පාලකයන් හයිටියේ බරපතළ අර්බුද ගැටලූ එකකටවත් විසඳුම් ලබා නොදෙන බව අද වන විට හයිටි අත්දැකීම් සනාථ කරයි.

ගැමුණු සාලිය පෙරේරා
 

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka