Thursday, March 26, 2020

ලංකාවට කොරෝනා ආපු හැටි - මුළු ජාලයම හෙළිකරගත් විස්මිත මෙහෙයුම

මෙරට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95කට අධික පිරිසකට රෝගය වැලඳුණු ආකාරය විමර්ශන කණ්ඩායම් විසින් මේ වනවිට අනාවරණය කරගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘මව්බිම’ට හෙළි කළේය.

මෙරට කොරෝනා ආසාදිතයන් පිරිස එකම ජාලයක් තුළ වෙන් වෙන්ව හඳුනා ගැනීම ඔස්සේ තවමත් ශ්‍රී ලංකාව තුළ රෝගය පැතිර යෑම වළක්වාලිය හැකි තත්ත්වයක ශ්‍රී ලංකාව පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව ඇඳිරි නීතිය පැනවීමට රජය ගත් ක්‍රියාමාර්ගය ඔස්සේ මේ මොහොතේ සිදුවිය යුතුව තිබෙනුයේ මේ වනවිට හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ජාලය බිඳ නොවැටෙන පරිදි තවදුරටත් ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීම බවද එම ආරංචි මාර්ග පැවැසීය.

ඒ අනුව තවමත් රට තුළ වසංගත තත්ත්වයක් උද්ගතව නොමැති නිසා මේ තත්ත්වය කළමනාකරණය කර රෝගය මැඬපැවැත්වීමට මහජනතාවගේ උපරිම දායකත්වයක් ලැබිය යුතුව ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් අවධාරණය කළේය.

දැනට කරන විමර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය මෙරට පැතිරීමේ ජාලයට අනුව මුලින්ම මත්තේගොඩින් හමු වූ සංචාරක මාර්ගෝපදේශකයා මඟින් තවත් පස්දෙනකුට රෝගය පැතිරී තිබෙන බව තහවුරු වී තිබේ.

එසේ හඳුනාගත් පස්දෙනා හරහා තවත් හත්දෙනකුට රෝගය පැතිරී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එමෙන්ම ජර්මනියේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ ව්‍යාපාරිකයන් දෙදෙනා මඟින් තවත් තිදෙනකුට වෛරසය ආසාදනය වූ බව තහවුරු වී තිබේ.

මේ අතර ඉතාලියේ සිට පැමිණි දසදෙනකුගෙන් මාර්තු 24 වැනිදා වනවිට තවත් හත්දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයිද අනාවරණය වී ඇත.

ඊට අමතරව මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු මෙන්ම ඉන්දියාවේ සංචාරය කර පැමිණි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුද කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබේ.

එමෙන්ම මැද පෙරදිග රටවල සිට පැමිණි සිවුදෙනකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අතරේ සිටි ප්‍රංශ ජාතිකයකු හැරෙන්නට අනෙක් තිදෙනාම ශ්‍රී ලාංකිකයන් බවද පැවැසේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහය නියමුවා මෙන්ම එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුද ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු මඩකලපුවේ පදිංචි දෙමළ ජාතිකයෙකි.

මේ අතර පාකිස්තානයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයකුට වෛරසය ආසාදනය වී තිබූ අතර පසුව ඔහුගේ මවද ආසාදිතයකු බවට පත්ව ඇතැයි හඳුනාගෙන තිබේ.

යාපනයට පැමිණ දේව මෙහෙයක් පැවැත්වූ දේවගැතිවරයා කොරෝනා වාහකයකු බව හඳුනාගත් පසු ඔහු හා සමීපව ඇසුරු කළ අයකුට රෝගය වැලඳුණු බව පසුව තහවුරු විය.

සේදවත්තේ මුස්ලිම් ජාතිකයකුට රෝගය වැලඳී ඇති බව තහවුරු වී දින තුනකට පසුව පියාට රෝගය වැලඳීමට කලින් ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි ඔහුගේ පුත්‍රයාට රෝගය වැලඳුණු බව මාර්තු 24 වැනිදා තහවුරු කෙරිණි.

මීට අමතරව මාර්තු 24 වැනිදාම ගුවන් ටිකට්පත් නියෝජිතයකුට රෝගය වැලඳුණු බව තහවුරු වූ අතර ඔහුට රෝගය වැලඳුණු ආකාරය සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකව පවතී. විමර්ශන කණ්ඩායම්වල මතය වී ඇත්තේ විදේශිකයකුගෙන් ඔහුට රෝගය සංසරණය වන්නට ඇති බවය.

මේ අතර ඉතාලියේ සිට මෙරටට පැමිණි අය හා සමීපව කටයුතු කරන්නට සිදු වූ යුද හමුදා මේජර්වරයා, කටුනායක ගුවන්තොටේ වෛද්‍ය සහායකයා, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සොල්දාදුවකු හා IDH රෝහලේ වෛද්‍යවරයකුටද වයිරසය වැලඳී ඇති බව මාර්තු 24 වැනිදා තහවුරු විය.

ඒ අතරේ ප්‍රකට වෙළෙඳ සමාගමක අධ්‍යක්ෂවරයකුටද කොරෝනා රෝගය වැලඳුණු අතර ඔහුගේ රෝග තත්ත්වය කොළඹ පෞද්ගලික රෝහලකදී පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයකුටද රෝගය වැලඳුණු බව විමර්ශනවලදී හෙළිවිය.

මේ ආකාරයට 65 දෙනකුට රෝගය වැලඳුණු ආකාරය මාර්තු 24 වැනිදා උදෑසන වනවිට තහවුරු වෙද්දී ඊට අමතරව මාර්තු 10 සහ මාර්තු 24 කාලය තුළ නිරෝධායන මධ්‍යස්ථානවලින් රෝගීන් 31 දෙනකු වාර්තාවීම නිසා සමස්ත රෝගී සංඛ්‍යාව 96ක් වශයෙන් හඳුනා ගැනිණි.

මාර්තු 24 වැනිදා පස්වරුව වෙද්දී සමස්ත සංඛ්‍යාව රෝගීන් 101ක් දක්වා වාර්තා වූයේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් රෝගීන් දෙදෙනකුද ඊට එක් කරමිනි.

ඊට අමතරව සේදවත්තේ හමු වූ මුස්ලිම් ජාතික රෝගියාගේ ඇමෙරිකාවේ සිට පැමිණි පුත්‍රයාද ඉතාලියේ සිට පැමිණි කලින් රෝගය වැලඳුණු මව සහ දියණයගේ පවුලේ පුත්‍රයාද, කළුතර උතුර ප්‍රදේශයේ කාන්තාවක්ද නව රෝගීන් වශයෙන් වාර්තා විය.

ඒ අතරින් කළුතර උතුර ප්‍රදේශයෙන් කොරෝනා රෝගය වැලඳී ඇතැයි තහවුරු වූ කාන්තාවගේ සැමියා එම ප්‍රදේශයේම සංචාරක හෝටලයක සේවකයකු බව හෙළි වී ඇති අතර ඔහු හරහා එම කාන්තාවට රෝගය වැලඳුණේද යන්න පිළිබඳව බදාදා (25දා) රාත්‍රිය වනවිටත් විමර්ශන සිදුකෙරමින් පැවැතිණි.

මේ අතර මාර්තු 10 වැනිදාට පෙර මෙරටට එතෙර සිට පැමිණි 23,000කට අධික පිරිසක් දුරකථන අංක 119 හා 117 ඔස්සේ අදාළ අංශ දැනුවත් කර ඇති අතර ඔවුන්ට ස්වයං නිරෝධායනය සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී සියලු දැනුවත් කිරීම සිදුකර ඇතැයිද පවසන එම ආරංචිමාර්ග අඟහරුවාදා (24දා) රාත්‍රිය වනවිට අනාවරණය වූ රෝගීන් 101 දෙනාට අනුව තවමත් කොරෝනා රෝගය මෙරට සමාජගතව පැතිර යෑමක් දක්නට නොලැබෙන නිසා ඇඳිරි නීති සමය නිසියාකාරව භාවිත කිරීමට ජනතාව කටයුතු කළහොත් එහි ව්‍යාප්තිය අවම කිරීමට අනිවාර්යයෙන්ම හැකිවනු ඇතැයිද විශ්වාසය පළ කරයි.
 

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka