රිය අනතුරක් සිදුකළ කොරෝනා ආසාධිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ මුන්දලම පොලීසියේ ස්ථානාධිපතිතුමා ඇතුලූ නිළධාරීන් හයදෙනෙකු මේ මස 11 දින සිට 25 දින දක්වා ස්වයං නිරෝධායනයකට ලක්කර පොලිස්ථානයත් පුත්තලම අධිකරණයත් විෂබීජ හරණය සිදුකළ බව මුන්දලම පොලීසිය පවසයි.
මෙම අනතුරේදී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ මහා රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා යවා ඇත.
හලාවත දෙස සිට පැමිණි ජීප් රථයක් ඊට විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරුව මුන්දලම පොලීසිය විසින් අනතුර සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පුත්තලම මහේස්ත‍්‍රාත් අබ්දුල් කාදර් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබ ඇති අතර 13දින නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබේ.
මෙම පුද්ගලයා ජා - ඇල, වත්තල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඉතාලියේ රැකියාවක නිරතව සිට මෑතකදී නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණි පුද්ගලයෙකු බවත් ඇප ලැබීමෙන් පසු හදිසියේ උණ රෝගය වැලදීමෙන් රෝහල්ගත කිරිමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකින් මෙම පුද්ගලයාට කොවිඩ් - 19 වෛරසය අසාදනය වී ඇතිබවට තොරතුර හෙලිවී ඇත.
ඒ අනුව මුන්දලම සෞඛ්‍ය සේවා නිළධාරීන් විසින් මුන්දලම පොලීසියේ 6 දෙනෙකු ස්වයං නිරෝධායනයකට යොමුකර ඇති අතර අනතුර සිදුකළ පුද්ගලයාගේ පවුලේ පිරිසත් ස්වයං නිරෝධායනයකට යොමුකර ඇති බව මුන්දලම මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් රෝහණ මහතා පවසයි. ඔහු දිවයිනට පැමිණදා පටන් ඇසුරුකළ පුද්ගලයින් පිළිබඳව සෙවීමටත් සෞඛ්‍යය අංශ බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
වීහේණ අනුරාධ
under the courtesy of mawbima.lk news web