"මම මේ දවස්වල නාට්‍ය පහක වැඩ කරනවා.
මිෂෙල් දිල්හාරා කියූ පමණින් ඔබ ඇයව දන්නවා ඇති. ඇය නමින් නොහඳුනන බොහෝ දෙනෙක්ට 'සල් සපුනා' ටෙලි නිර්මාණයේ පොඩි පත්තරකාරී නම් සුපුරුදු හැඳුනුම්කමක් ගොඩනඟනවාට සැකයක් නැත.
ඒ ඇය ප්‍රේක්ෂකයන්ට හා හා පුරා කියා වඩාත් ළෙන්ගතු වූයේ පොඩි පත්තරකාරී ලෙසින් වීමය. කෙසේ වුවත් ඇය මේ වන විට නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට ළෙන්ගතු වී හමාරයි. රංගන ශිල්පිනියක් ලෙස දක්ෂතාව පෙන්නුම් කරන ඇය සමාජ සේවයටද කැපවෙමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන්නියකි. හදගැස්මේ ඉඩ ඇයට වෙන්වුණේ වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් විවෘත කරමින් සමාජ සේවයේ ඇය කළ මෙහෙවරක් ගැන කියන්නටයි.
ඒ ඇය ප්‍රේක්ෂකයන්ට හා හා පුරා කියා වඩාත් ළෙන්ගතු වූයේ පොඩි පත්තරකාරී ලෙසින් වීමය. කෙසේ වුවත් ඇය මේ වන විට නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට ළෙන්ගතු වී හමාරයි. රංගන ශිල්පිනියක් ලෙස දක්ෂතාව පෙන්නුම් කරන ඇය සමාජ සේවයටද කැපවෙමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන්නියකි. හදගැස්මේ ඉඩ ඇයට වෙන්වුණේ වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් විවෘත කරමින් සමාජ සේවයේ ඇය කළ මෙහෙවරක් ගැන කියන්නටයි.
"මම අවුරුදු 15ක ඉඳන් තමයි සමාජ සේවා වැඩ කටයුතුවලට යොමු වුණේ. මමත් ඒ කාලේ සාමාන්‍යයෙන් සමාජයේ අවධානයට ලක් නොවුණ චරිතයක්. මම සමාජයේ තනිවුණ කෙනෙක්. ඉතිං අවුරුදු 15දී මට දැනුණා මේ රටේ, ලෝකේ තනිවුණ අය කොච්චර ඉන්නවාද? වැඩිහිටි නිවාසවල ඉන්න අය, ආබාධිත ළමයි, ළමා නිවාසවල ඉන්න අය, පාසල්වල කොන්වුණ අය කොච්චර ඉන්නවාද? එයාලා වෙනුවෙන් කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. හැබැයි ඒ වෙනුවෙන් යමක් කරන්න අවුරුදු 15දී මගේ ආර්ථිකය ශක්තිමත් නැහැ. මගේ ගෙදරින් මට ඉංගී්‍රසි කතා කරන එක අනිවාර්යය කරලා තිබ්බේ. මට පාසලේදීත් ඉංගී්‍රසි විෂයට හොඳ ලකුණු තිබ්බා. ඉතින් මම ළමා නිවාසවලට ළමයින්ට මගේ දැනුමෙන් උගන්වන්න පටන් ගත්තා. වැඩිහිටි නිවාසවල ස්වේච්ඡාවෙන් වැඩ කළා. ඒ අයට පුළුවන් විදිහට මම උදවු කළා.
"අවුරුදු 20දී තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්න ලැබුණේ. රංගන ශිල්පිනියක් වුණාම මට පුවත්පත්වල, විද්‍යුත් මාධ්‍යවල ඉඩ ලැබුණා. මට හිතුණා ඒ ලැබෙන ඉඩ ඵලදායි ලෙස යොදාගන්න ඕනේ කියලා. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේයෂ්ඨ මහාචාර්ය ඇන්ටනෙට් පෙරේරා මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය පරාක්‍රම වර්ණසූරිය, සමාජ ජාලා නිරීක්ෂකයකු වූ තිළිණ ධනුෂ්ක අබේවික්‍රම සමඟ එකතු වෙලා අවුරුදු හතරක් පුරා කළ පර්යේෂණයකින්, සමාජ අදෘශ්‍යමානතාව මිථ්‍යාවක් නොව එය පවතින්නක් කියන පොත රචනා කරලා පසුගිය වසරේදී එළි දැක්වූවා. වෛද්‍ය මහාචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතාත්, නාලිනි විතානත් මට මේ පර්යේෂණය වෙනුවෙන් උදවු කළා. ඒ පොත එළිදැක්වූයේ ඉන්දියාවේදී. එය ජාත්‍යන්තර පොත් සාප්පු 26ක Online තියෙනවා සමාජ විද්‍යා කෘතියක් ලෙස. නවදිල්ලි නුවරදී පැවැත්වුණු ලෝක තරුණ සමුළුවේදී National Youth Icon Award 2019 සම්මානය මේ පොතට ලැබුණා.
ඒ පොතේම දිගුවක් විදිහට ඇය වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ ගමන් මඟ අරඹනවා.
සමාජ අදෘශ්‍යමානතාව අවම කරන්න පුළුවන් සාධක ගැන බලද්දී භාෂා බාධකය කියන කාරණය පෙනෙන්නට තිබුණා. ළමයිගේ පැත්තෙන් ගත්තොත් ඔවුන්ට ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරද්දී එන බාධකයක් තමයි ඉංග්‍රීසි දැනුම. ඉතින් ඒ බාධකය අවම කරන්න ධනුෂ්ක ක්ලාක් කියන ගුරුවරයා සමඟ එකතු වෙලා ළමයින් 500කට නොමිලේ ඉංගී්‍රසි පාඨමාලාවක් ආරම්භ කළා. මේ වෙනකොට 3 වැනි කණ්ඩායමටත් ඉංගී්‍රසි දැනුම ලබාදීම ආරම්භ කරලා තියෙනවා.
Social Invisibility is not a fiction it exists කියන කෘතියෙන් සමාජ අදෘශ්‍යමානතාවට ලක්වූවන් සඳහා ඉදිරිපත් කළ තවත් යෝජනාවක් තමයි වයස අවුරුදු 55 පිරුණු විශ්‍රාමික වැඩිහිටියන් සඳහා වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම. ඒ වෙනුවෙන් මම මනිෂා නවරත්න සමඟ එකතුවෙලා ප්‍රජා මධ්‍යස්ථානයක් විවෘත කළා.
අද තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කෙනෙක් විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ට මොකද වෙන්නේ කියන එක. බොහෝ වෙලාවට විශ්‍රාම වයසේ ඉන්න පිරිසගේ සම වයසේ යහළුවන් මෙලොව හැර ගිහින්, නැතිනම් ඔවුන්ගේ දරුවන් සමඟ අෑත පළාත්වල පදිංචියට ගිහින්, නැතිනම් දරුවන් නොසලකා හැරලා නිසා වැඩිහිටි නිවාසවල ජීවත්වෙනවා. මේ නිසා ඔවුන් තනිකම එක්ක විවිධ මානසික රෝගවලටත් ගොදුරු වෙනවා. කාර්යබහුල ජීවිතය එක්ක බොහෝ දරුවන්ට විශ්‍රාමික වැඩිහිටි අම්මලා තාත්තලා සමඟ කතා කිරීම, කාලය ගතකිරීම නොදැනුවත්වම මඟහැරිලා. මේ සඳහා පිළියමක් විදිහට යම් ප්‍රදේශයක තනි වී සිටින විශ්‍රාමික මවුපියන් ගෙන්වා වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක් හරහා ඔවුන්ට නව සම්බන්ධතා ඇති කිරීමේ සංකල්පය තමයි මම යෝජනා කළේ. දිවුලපිටියේ ආරම්භ කළ වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානය මඟින් ප්‍රදේශයේ විශ්‍රාමික වැඩිහිටියන්ට ඔවුන්ගේ සම වයස් නව මිතුරන් හඳුනා ගැනීමට ඔවුන් සමඟ මෙම ස්ථානයේ කාලය ගත කිරීමට අවස්ථාව ලැබෙනවා.
මෙම වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ ගනේවත්ත විහාරය ඉදිරිපිටයි. ගනේවත්ත පුරාණ බෝධිමළු විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය වරාදල විමල බුද්ධි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ප්‍රජා මධ්‍යස්ථානය පවත්වාගෙන යද්දි, ධනුෂ්ක ක්ලාක්, පසිඳු මදුරංග යන අයත් මේ වැඩපිළිවෙළට එකතු වී කටයුතු කරන බව මිෂෙල්ගෙන් දැනගන්න ලැබුණා.
දැනට සාමාජිකයන් 300ක් විතර මේ ප්‍රජා මධ්‍යස්ථානයට එකතුවෙලා ඉන්නවා. රජරට විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ ජේයෂ්ඨ කථිකාචාර්ය දුමින්ද ගුරුගේ මහතා මෙහි දේශන පැවැත්වීමට එකතු වෙනවා. දැනට මාසයකට දෙවතාවක් හෝ තුන් වතාවක් මෙහි ධර්ම දේශනා, භාවනා වැඩසටහන් පැවැත්වීම සිදුකෙරෙනවා. ප්‍රජා මධ්‍යස්ථානයට එකතු වී සිටින වැඩිහිටියන්ට බණ පොත්, පත්තර කියවන්න ලැබෙනවා. ඔවුන් කැමැති චිත්‍රපට බලන්න, සින්දු අහන්න ලැබෙනවා. කැරම් ගහන්න, දාම් අදින්න, ටී.වී බලන්න ලැබෙනවා. මේ හරහා ඔවුන්ට යාළුවෝ නැවතත් මුණ ගැහෙනවා.
මෙම වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයට දහසක පමණ වැඩිහිටියන් එකතු කරගෙන ඔවුන්ගේ මානසික සුවය සැලසීම තමයි මිෂෙල් දිල්හාරාගේ අපේක්ෂාව. මෙවැනි වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථාන ලංකාවේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කිරීමටත් ඇය අපේක්ෂා කරනවා.
මෙවන් සමාජ මෙහෙවරක යෙදෙන ඇයගේ රංගන ජීවිතයේ අලුත් වැඩකටයුතු ගැනත් අහන්න අපි අමතක කළේ නැහැ.
"මම මේ දවස්වල නාට්‍ය පහක වැඩ කරනවා. ඒ ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්මයාගේ නාට්‍යයක, ඉරේෂ් ලොකු බණ්ඩාර මහත්මයාගේ 'වරමද්ද', තිළිණ බොරලැස්ස මහත්මයාගේ 'අපි නැති අපි', බිමල් රත්නායක මහත්මයාගේ 'කිසා' කියන නාට්‍යවල. 'කිසා' නාට්‍ය ළඟදී විකාශය වෙන්න නියමිතයි. ඒ වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමාගේ චරිතය මෙවර රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ හොඳම නැඟී එන නිළියගේ සම්මානයට නිර්දේශ වී තිබෙනවා. එය මගේ රංගනයේ පළමු නිර්දේශය. ඒ නිර්දේශ වීම ගැනත් සතුටක් තිබෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
under the courtesy of mawbima.lk news web