Saturday, March 14, 2020

ඉතාලියෙන් ගෙනාව කොරෝනාව මත්තෙගොඩින් මතු වුනේ මෙහෙමයි

කකුල් සම්බාහනයක්  රවා ගැනීමට ඉතාලි ජාතිකයාට සිතිණි. ඒ අමාරුකම නිසාය.

කොරෝනා වයිරසය දැන් ගෝලීය ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ගෝලීයකරණය පිළිබඳ මහා උජාරුවෙන් කයිවාරු ගැසූ කොයි කවුරුත් මේ මාරාන්තික වසංගතය හමුවේ අන්ද - මන්දව සිටිති. ශ්‍රී  ලාංකික අපද

කොරෝනා වයිරසය හමුවේ යම්කිසි තැති ගැනීමට ලක්වූයේ ඉකුත් සතියේ සිටයි.

ඒ වෙන කිසිදෙයක් නිසා නොව කොරෝනා වයිරසය ශරීරගත වූ පළමු ශ්‍රී  ලාංකික රෝගියා හමුවීමත් සමඟය. ඒ එක්කම දෙවැනි කොරෝනා රෝගියාද හමුවිය. එතැන් පටන් මුළු රටම යම් කිසි තැති ගැන්මකට ලක්විය. ඒ මොන තරම් ද යත් පාසල් වසා දැමිණි. ටියුෂන් පන්ති තාවකාලිකව නතර කෙරිණි. ඇතැම් පිරිස් අනිසි ලෙස කලබල වී ආහාර පාන, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගොඩගසා ගන්නට ක්‍රියා කළ හැටිද දුටුවා.

මේ වයිරසය ශරීරගත වූ පළමු ශ්‍රී  ලාංකික රෝගියා කලක් ඉතාලියේ රැකියාවක නිරත වූවෙක්. අවුරුදු හතරක් පහක් ඉතාලියේ රැකියා කළ පසු පෙරළා මෙරටට ආවේ ටික කලකට පෙරාතුව‍යි. එලෙස මෙරටට ආ මොහු පදිංචිව සිටියේ මත්තෙගොඩ ප්‍රදේශයේය. ඔහු දෙදරු පියෙකි. මෙරටට ආ පසු ඔහු නිදහස් සංචාරක මාර්ගෝපදේශකයකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තා.

ඒ අනුව සංචාරකයන් මෙරටට ගෙන්වන සමාගම් කිහිපයක් හා සම්බන්ධ වූ ඔහු මෙරටට එන සංචාරකයන්ට ගමන් පහසුකම් සලසා දෙමින් සංචාරක කලාපවලට ඔවුන් ගෙනයමින් කටයුතු කළේ සිය වගකීම් නිසි ලෙස ඉටු කරමිනි.

ඉකුත් පෙබරවාරි මස අගදී ඉතාලි සංචාරකයන් පිරිසක් මෙරටට ආවේ ඔය අතරය. දඹුල්ල, මහනුවර ආදී ප්‍රදේශවල ඉතාලි ජාතිකයන් සමඟ මොහු පිටව ගියේ සාමාන්‍ය පරිදිය. ඒ වන විට චීනය ඇතුළු රටවල් සියයකට අධික ප්‍රමාණයකට කොරෝනා වයිරසය පැතිර ගොස් තිබිණි. එහෙත් ඒ ගැන එතරම් තැකීමක් නොකළ මොහු ඉතාලි ජාතිකයන් සමඟ රට පුරා සංචාරයේ නිරත වන්නට ගත්තේ ඒ වන විට කොරෝනා වයිරසය ගැන අප රට තුළ ලොකු භීතිකාවක් නොතිබූ නිසා විය යුතුය.

මෙරට සංචාරයට පැමිණි එක් ඉතාලි ජාතිකයකුට ඒ වන විට කොරෝනා වයිරසය ශරීරගත වී තිබූ බව කිසිවකු හෝ දැන සිටියේ නැත.

දඹුල්ලේ මොවුන් නැවතී සිටි හෝටල් කාමරයේ සිටි ඉතාලි ජාතිකයකුගේ අත පය රිදෙන්නට පටන් ගෙන තිබිණි. කකුල් සම්බාහනයක්  රවා ගැනීමට ඉතාලි ජාතිකයාට සිතිණි. ඒ අමාරුකම නිසාය.

විසිදෙක හැවිරිදි තරුණයකු හෝටල් කාමරයට ගෙන්වා ගත් මෙකී ඉතාලි ජාතිකයා සම්බාහනයක් කර ගත්තේ තමාට කොරෝනා වයිරසය වැලඳී ඇතැයි හාන්කවිසියක්වත් නොදැනය.

මෙරටට පැමිණ සිටි ඉතාලි ජාතිකයන් පිරිස සංචාරය අවසන් කර ආපසු යන්නට ගියේ සොම්නසිනි. කිහිපදෙනකු පෙරළා ඉතාලියට ගිය අතර තවත් කිහිපදෙනකු මාලදිවයින බලා පිටත්ව ගොස් තිබිණි. ගතවූයේ දින කිහිපයකි.

ශ්‍රී  ලාංකික සංචාරක මාර්ගෝපදේශක රියැදුරුට හීන් දාඩිය දමන්නට ගත්තේ ඇඟපත රුදාවත් සමඟ කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව සමඟ උණ රෝග ලක්ෂණ මතුවී ආ නිසා ය.

මුලින්ම ඔහු ගියේ පෞද්ගලික වෛද්‍යවරයකු මුණගැසීමටය. රෝගියා සිය රැකියාව පිළිබඳව දුන් පිළිතුරෙන් එකී වෛද්‍යවරයාටද රෝග ලක්ෂණ ගැන සැක පහළ වූයේ ඒ වනවිටත් ලොව පුරා කොරෝනා වයිරසය පැතිර ලොවම සසල කර තිබූ නිසාය. කෙසේ වුවද මෙකී රෝගියා වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහල්ගත කෙරිණි.

අයි.ඩී.එච්. උණ රෝහලට යවා ලබාගත් ලේ සාම්පල් පරීක්ෂණවලින් පසු මොහුට කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බව තහවුරු විය. මේ ආරංචිය ඇසූ ඔහුටත් ඔහුගේ පවුලේ උදවියටත්, ඥාති හිතමිත්‍රාදීන්ටත් කියාගත නොහැකි අමුතු බියක් සමඟ දුකක් ඇති වූයේ මේ වසංගතය මහ භයානක එකක් වූ නිසාය.

ඒ සමඟම දෙවැනි කොරෝනා රෝගියාද වාර්තා විය. දෙවැනි කොරෝනා රෝගියාද පළමු කොරෝනා රෝගියාගේ මිතුරකු වීම නිසා තත්ත්වය තරමක් ආන්දෝලනාත්මක විය.

මෙරටින් හමුවූ පළමු කොරෝනා රෝගියා චීන තරුණියකි. ඇය සුවය ලබා යළි චීනයට ගිය හැටි අපි දුටුවෙමු. මේ සටහන තබන විට මෙරට පාසල්ද වසා දැමීමට රජය පියවර ගෙන තිබිණි. දැනට කොළඹ අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා වයිරසය ශරීරගත වී සිටින රෝගීන් දෙදෙනා ඉක්මනින් සුව වේවායි පතමු.

2019 දෙසැම්බර් 31 වැනිදා චීනයේ හූබෙයි පළාතේ වූහාන් නගරයෙන් පළමුවරට හමුවූයේ නිව්මෝනියා රෝගියෙකි. එය සැණින් පැතිර ගියේ නිව්මෝනියා වසංගත තත්ත්වයක් පෙන්වමිනි. මේ වසරේ ජනවාරි මස 7 වැනිදා මේ පැතිර යන වසංගතය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කළ පරීක්ෂණවලට අනුව කොරෝනා වයිරසය නිසා මේ තත්ත්වය ඇති වූ බව තහවුරු කර ගැනිණි. චීන ජාතිකයන් අනුභව කරන නයින් ඇතුළු අනෙකුත් සතුන්ගෙන් මේ වයිරසය මිනිස් සිරුරට ඇතුළු වූ බවටද වාර්තා පළවිය. රෝගය ලොව පුරා ව්‍යාප්ත වූ නිසා 2020 ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි.

මේ වන විට රටවල් 127කට මෙම වයිරසය පැතිර ගොස් තිබේ. ඒ රටවල වයිරසය ශරීරගත වූවන්ගේ ගණන එක්ලක්ෂ තිස්හතරදහස් හත්සියදාහතකි. මොවුන්ගෙන් අසාධ්‍ය පිරිස 5984කි. වයිරසයෙන් මියගොස් ඇති පිරිස 4500කට ආසන්නය.

ඒ නිසා රටක් ලෙස මේ වසංගතයට මුහුණ දෙන්නට අපි සියලු දෙනා අදිටන් කරගත යුතුව ඇත. දැනට අපේ රටේ රෝහල් 15ක කොරෝනා වයිරසය ශරීරගත වී ඇතැයි සැක කෙරෙන රෝගීන් 29ක් ප්‍රතිකාර ලබති. ඉන් අටදෙනෙක් විදේශිකයෝය.

ඒනිසා දේශපාලනය, ජාතිවාදය, ආගම්වාදය, අවස්ථාවාදය පසෙකට දමා මේ වයිරසයෙන් ශ්‍රී  ලාංකික ජනතාව ආරක්ෂා කිරීමට බුද්ධිමත්ව කටයුතු කිරීම අප කාගෙත් වගකීම හා යුතුකම බව අපගේ වැටහීමය.
  
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka