Tuesday, March 10, 2020

මගේ මල්ලිගේ ඔළුකට්ට පුපුරලා - හිසට ඩෝසර් ටයරයක් වැටිලා

මල්ලි අද රෝහල් ඇඳේ කිසිවක් කතා නොකර නිසලව ඉන්නවා”
 
“මගේ මල්ලිගේ ඔළුවට බරපතළ ලෙස හානි වෙලා. ඔළු කට්ට පුපුරලා කියලා වෛද්‍යවරු කිව්වා.
හොඳට ඉගෙනගෙන උපාධිය අවසන් කරලා හොඳ රැකියාවක් කරනවා කියලා විශ්වවිද්‍යාලයට ගිය මගේ මල්ලි අද රෝහල් ඇඳේ කිසිවක් කතා නොකර නිසලව ඉන්නවා” යැයි පසුගිය 05 වැනිදා රාත්‍රියේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවැති උත්සවයක් අතරතුර හිසට ඩෝසර් ටයරයක් වැටී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ප්‍රතිකාර ලබන මිනුවන්ගොඩ දෙවෙලපොළ පදිංචි පසිඳු හිරුෂාන් සරසවි ශිෂ්‍යයාගේ සොහොයුරු ලක්ෂාන් සිල්වා ඊයේ (09දා) “මව්බිම” පැවැසීය.

“මගේ මල්ලි 2019 වර්ෂයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළත් වුණා. 2018 වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න මාසයකට කලින් අපේ අම්මා පිළිකාවක් වැලඳිලා මිය ගියා. මේ දුෂ්කරතා සියල්ලම තිබෙද්දීත්, මල්ලි සාර්ථක ලෙස විභාගය සමත් වුණා. මල්ලි ඉගෙනීමට ගොඩාක් දක්ෂ කෙනෙක්.”

එදා මේ සිදුවීම වූ දිනයේ නවක සිසුන් “නවකවදය” (රැග් සීසන්) අවසන් වීම වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සාදයක් සංවිධානය කරලා තිබුණා. සවස් වරුවේ ආරම්භ වුණු මේ සාදයට පළමු වසරේ සිසුන් සහ ජේ‍යෂ්ඨ සිසුන් ඇතුළු 700 - 800 ක පිරිසක් සහභාගි වෙලා.

රාත්‍රි 1.30 ට පමණ ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරයේ පහත තට්ටුවේ මගේ මල්ලි සහ එයාගේ යාළුවෙක් ඉඳලා. මල්ලි වතුර බොන්න ඕනෑ කියලා ක්‍රීඩාගාරයේ උඩ තට්ටුවේ තියෙන වතුර කරාමය අසලට ගිහින් වතුර බීලා තරප්පු පෙළ දිගේ පහතට බැහැලා එනකොට ඉහළ මහලේ හිටිය ජේ‍යෂ්ඨ ශිෂ්‍යයෝ පිරිසක් විශාල ඩෝසර් ටයරයක් මල්ලිගේ ඇඟට විසිකරලා. මල්ලිගේ හිසේ ටයරය වැදිලා එයා තරප්පු පෙළ උඩ ඇද වැටිලා. වැටෙනවාත් සමඟ නැඟිට්ට මල්ලි “මගේ ඔළුව අමාරුයි” කියලා එහෙම්ම ආයෙත් සිහි නැති වෙලා බිමට වැටිලා.

එතැන හිටිය මල්ලිගේ යාළුවෙක් ඉක්මනින් මල්ලිව කළුබෝවිල රෝහලට ඇතුළත් කරලා. ඒ රෝහලෙන් කොළඹ ජාතික රෝහලට පාන්දර 4 ට මාරු කරලා යවලා.

දැන් මේ වෙද්දී දින 5ක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවල පිහිටෙන් මල්ලි ජීවත්වෙනවා. දැනට ලැබිලා තියෙන වෛද්‍ය වාර්තා අනුව මල්ලිගේ තත්ත්වය ගොඩක් බරපතළයි. ඒත් වෛද්‍යවරුන් මේ වනතෙක් නිවැරදි තොරතුරක් මල්ලි ගැන දුන්නේ නෑ”

විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් අප මේ ගැන ඇහැව්වා. ඔවුන් අපිට කිසිවක් කියන්නේ නෑ. මේ සිද්ධිය වසන් කරන්න උත්සාහ කරනවා. ජේ‍යෂ්ඨ ශිෂ්‍යයෝ මේ සාදයට සහභාගි වුණේ කියලා ඔවුන් කියනවා. ඒ වගේ සාදයක් පවත්වන්න කවුරුත් පාලනාධිකාරියෙන් අවසර අරන් නෑ කියලත් ඒ අය කියනවා. නමුත් අපිට ලොකු සැකයක් තියෙනවා අලුත විශ්වවිද්‍යාලයට ගිය ළමයින් මේ වගේ සාදයක් පවත්වන්න විදිහක් කොහෙත්ම නෑ. ඒ වගේම පාන්දර 1.30 වගේ වෙලාවක් මෙවැනි සාදයක් විශ්වවිද්‍යාලය තුළ පැවැත්වෙද්දීත් පාලනාධිකාරිය හෝ ආරක්ෂක අංශ මේ ගැන දැනගත්තේ නැත්තේ කොහොමද? කියන සැකය අපිට තියෙනවා.” යැයි පසිඳු හිරුෂාන් ගේ සොහොයුරා ලක්ෂාන් සිල්වා වැඩිදුරටත් පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනතුරට පත් ශිෂ්‍යයාගේ පවුලේ ඥාතීන් විසින් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති අතර ජාතික රෝහලේ පොලිසියට ශිෂ්‍යයා අනතුරට පත්වන අවස්ථාවේ ඒ අසල සිටි ඔහුගේ මිතුරා ද කටඋත්තරයක් ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ශිෂ්‍යයා අනතුරට පත් වූ දින රාත්‍රියේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සාදයක් පැවැත්වීමට කිසිදු අවසරයක් ගෙන නොතිබුණු බවත්, පැවැත්වූයේ යැයි කියන සාදය අතරතුර සිදු වූ අනතුර පිළිබඳව විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙන් විශේෂ කමිටුවක් පත්කර මේ වන විට මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත් මීට අමතරව මිරිහාන පොලිසිය ද සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්ය.

එමෙන්ම මෙම සාදය පළමු වසරේ සිසුන්ගේ නවක වදය අවසන් බව සංකේතවත් කරමින් සාම්ප්‍රදායිකව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සෑම වසරකම පවත්වන සාදයක් බවත් මෙම සාදයට පළමු වසරේ සිසුන්ට අමතරව ජේ‍යෂ්ඨ ශිෂ්‍යයන් සහභාගි වූ බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවත් උප කුලපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට එදින රාත්‍රියේ කිසියම් පිරිසක් අනතුරට මූලික හේතු වූ ඩෝසර් ටයරය ධාවනය කරමින් විනෝද වූ බවට තොරතුරු ලැබී ඇති බවත් එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් වෙතොත් ඔවුන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබාදෙන බවත් උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අදාළ අනතුරට මුහුණ දුන් ශිෂ්‍යයාගේ පාසල වන උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයේ ශිෂ්‍යයන් ගුරුවරුන් සහ මවුපියන් එක්ව ශිෂ්‍යයාට සෙත්පතා ඊයේ (09දා) යාඥා මෙහෙයක් ද සිදු කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජේ‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ අපක්‍ෂපාතී ස්වාධීන විමර්ශනයක සිදු කර වැරැදිකරුවන් හට රටේ නීතිය අනුව දඬුවම් දිය යුතුව තිබෙන බවත්, මෙම භීෂණය තවදුරටත් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩදිය නොහැකි බවත්ය.

එමෙන්ම දිවා කාලයේදී එක් සටන් පාඨයකුත් රාත්‍රියේදී තවත් සටන් පාඨයකුත් තිබිය නොහැකි බව අවධාරණය කළ අමරතුංග මහතා පවතින මෙම ක්‍රමය සියයට සියයක්ම වෙනස් විය යුතු අතර මෙරටේ විශ්වවිද්‍යාල සමාජයට නිරාවරණය විය යුතුව තිබෙන බවද සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේද දැඩි අවධානය යොමුව තිබෙන බව පැවසූ මහාචාර්යවරයා පොලිස් පරීක්‍ෂණ පැවැත්වෙන අතරතුර විශ්වවිද්‍යාලය තුළිනුත් ඒ පිළිබඳව ඉක්මනින් තීරණ ගත යුතුව තිබෙන බවද පැවසීය.

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka