Sunday, March 1, 2020

පොඩි උන්ට මරපුවා පෙන්නන්න එපා බං - පොලිස් නිලධාරියාව මරා ලිංගේන්ද්‍රය කැපූ හේතුව හෙලිවෙයි.

“මට බඩගිනියි, අපි සඳමාලිට කියලා රොටි මොනවා හරි ගෙන්න ගමුද?
 

පොඩි උන්ට මරපුවා පෙන්නන්න එපා බං
කඩවත පොලිසියේ පොලිස් කොස්තාපල් රියැදුරු ජයන්ත රාජපක්ෂව අමානුෂික ලෙස ඝාතනය කර ඇත්තේ නිල්මිණී නම් වන කාන්තාවගේ හෙරොයින් ජාලයේ මූල්‍ය පාලන කටයුතු ඔහු අතට ගැනීම නිසා බව පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබෙනවා.

මීට සති කිහිපයකට ඉහතදී මූල්‍ය ආරවුලක් දුරදිග ගොස් ජයන්ත නිල්මිණීට පහර දී ඇති අතර ඔහුව ඝාතනය කිරීමේ සැළසුම ක්‍රියාත්මක කර
ඇත්ත ඒ අනුවයි.
පොලිස් විමර්ශන කළ කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මෙම මරණයට සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නිල්මිණීගේ සැමියා සමග සබඳතා පැවැත්වූ බවට ලද තොරතුරු මත පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ පිළිබඳව බන්ධනාගාර අධිකාරියද දැනුවත් කර තිබෙනවා.

බන්ධනාගාරයේ නිල්මිණීගේ සැමියා සතුව තිබී ජංගම දුරකථන තුනක් සොයා ගෙන ඇත්තේ ද ඉන් අනතුරුවයි.

බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස්, පොලිස් අධිකාරිවරුන් වන චන්දන ලියනගේ, එම්.කේ. ආර්.ඒ. ගුණරත්න යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පාතාලය විසින් වසා දැමීමට සුදානම් වූ තවත් මරණයක අබිරහස විසඳූ අයුරු පහතින් කියවිය හැකියි.

අතුරුදන්ව සිටි කඩවත පොලිසියේ පොලිස් කොස්තාපල් රියැදුරු ජයන්ත රාජපක්ෂගේ මෘත ශරීරය මතු වූයේ පන්නල ප්‍රදේශයේ රක්ෂිත වනයක් තුළ තිබියදීය.

ඔහුගේ අතුරුදන් වීම සැලවීමත් සමඟ පොලිස් කණ්ඩායම් කිහිපයක් ජයන්ත සොයා කැලෑ ප්‍රදේශ කිහිපයක් පීරන්නට පටන් ගත්හ.

එලෙස පොලිසිය පොලිස් නිල සුනඛයන්ද සමඟ කැලෑ පීරන්නට වූයේ ජයන්තව ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මතය.

විමර්ශන දියත් කළ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ඉකුත් 17 වැනි දින පස්වරුව වන විට පන්නල කංකානිමුල්ල රක්ෂිතයේ එක් ස්ථානයක තිබී වම් පාදයක සෙරෙප්පුවක් සහ ලේ පැල්ලම් කිහිපයක් සොයා ගෙන තිබිණි.

කොස්තාපල්වරයා පැහැර ගත් බවට සැක කෙරෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ මාර්ගයක තිබූ එම සෙරෙප්පුවේම දකුණු පාදයේ සෙරෙප්පුව ඒ වන විටත් පොලිස් කණ්ඩායම් විසින් සොයා ගෙන තිබිණි.


කෙසේ වෙතත් කොස්තාපල් රියැදුරුගේ මෘත ශරීරය තියුණු කැපුම් තුවාලද සහිතව සොයා ගනු ලැබුවේ පන්නල රක්ෂිතයේ වේරහැර, ඇළබඩ ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබියදීය.

කොස්තාපල් රියැදුරු අතිබිහිසුණු ලෙස ඝාතනය කර තිබිණි. ඔහුගේ ශරීරය පුරා කැපුම් තුවාල රැසකි. ඔහුගේ ලිංගේන්ද්‍රිය ඉවත් කර තිබෙන බව පොලිස් විමර්ශන කණ්ඩායම්වලට නිරීක්ෂණය විය.

මෙම කතාව දිග හැරෙන්නේ කොස්තාපල් රියැදුරු ජයන්තගේ කෘෘර ඝාතන සැලසුම පිළිබඳවය.

ජයන්ත රාජපක්ෂ, ඔහු 37 හැවිරිදි වියෙහි පසු වූවෙකි. ඔහුගේ ගම් පළාත වීරකැටියය. විවාහකයකු වන ඔහු දෙදරු පියෙකි. පොලිස් කොස්තාපල් රියැදුරකු ලෙස පොලිස් සේවයට බැඳුණු ජයන්ත වසර තුනක පමණ කාලයක් කඩවත පොලිසියේ රාජකාරි කටයුතුවල නියැළුණි.

ඔහු කඩවත පොලිසියට පැමිණි මුල් කාලයේ ‘සුද්දා’ නමැති තරුණයකුගේ රථවාහන නඩුවක් ගොඩින් විස¼දා දීම සඳහා ඔහුට උදව්වක් කළේය.

අනතුරුව සුද්දා සහ ජයන්ත මිතුරෝ බවට පත්වූහ.

මෙම සබඳතාව දුරදිග ගියේ කොස්තාපල් රියැදුරු ජයන්ත සුද්දාගේ නිවෙසටද යෑමට ඒමට පටන් ගනිමිනි.

නිසංක ආකාෂ් මධුශංක නොහොත් සුද්දා මේ වන විට 23 හැවිරිදි වියෙහි පසුවන තරුණයෙකි. ඔහුගේ ලොකු අම්මාගේ නම නිල්මිණීය. ඇය හෙරොයින් ජාවාරම්කාරියකි. ඇයගේ ස්වාමියා වන නිශාන්ත ද හෙරොයින් නඩුවකට අදාළව මේ වන විට සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය.

නිශාන්ත හිරේ යෑමේ අඩුපාඩුව නිසා හෙරොයින් ජාවාරම කරට අරගෙන කරනුයේ නිල්මිණි විසිනි. ඇය 47 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය හෙරොයින් සල්ලිවලින් සුපිරි ජීවිතයක් ගත කරයි. ඇය තම දරුවන් දෙදෙනා සේම සුද්දා ඇතුළු ඥාති දරුවන්ටද හොඳින් සංග්‍රහ කරයි. දරුවන්ට හෙරොයින්, අයිස්, කොකේන් පානයටද මිල මුදල් ලබා දෙයි. ඒ ඇය දරුවන්ට දැක්වූ ආදරයයි.

පොලිසියේ මහත්තයාට මීට වසර තුනකට ඉහතදී සුද්දා විසින් තම ලොකු අම්මා වූ නිල්මිණීට මුණගැස්වීමට සැලැස්වූයේය.

සුද්දාගේ එහි යටි අරමුණක්ද විය. ඒ තම ලොකු අම්මාගේ හෙරොයින් ජාවාරමට පොලිස් මහත්තයාගේ සහාය ලබාගැනීමය.

සුද්දා විසින් ජයන්තව රැගෙන ගියේ නිල්මිණීගේ නවාතැන වූ පෑලියගොඩ වැලිපාර ප්‍රදේශයේ පිහිටි නිවෙසටය.

එම හමුව සිදුවූ දින සිට නිල්මිණී සහ ජයන්ත අතර මිතුදමකට එහා ගිය සබඳතාවක් ඇති විය.

සුද්දාගේ සිහිනයද මල් පල ගැන්වුණේ තම ලොකු අම්මාගේ ජාවාරමට පොලිසියේ මහත්තයෙක්ද සම්බන්ධ වූ නිසාය.

නිල්මිණීගේ ජීවිතය දැන් කල්ලමරේය. ඒ හරහා ජයන්තගේද ජීවිතය මල් පල ගැන්විණි.

පොලිස් වැටුපට අමතරව ජයන්තට නිල්මිණීගේ මුදල් ලැබිණි. දෙදෙනා එක වහලක් යටට වී ජීවත්වීමද ආරම්භ කෙරිණි.

නිල්මිණීටද දරුවන් දෙදෙනෙකි. බාල පුතු 14 හැවිරිදි වියෙහි පසු වේ. වැඩිමහල් පුතු ඉලන්දාරියකු වන අතර ඔහුට නිවැසියන් ආදරයට පවසන්නේ ‘බට්ටි’ යන අන්වර්ථ නාමයෙනි.

නිල්මිණීගේ ගමන් පහසුවට ඇය සුපිරි රථයක්ද පසු ගිය කාලසීමාවේ මිලට ගෙන තිබිණි. නමුත් එහි වැඩි අයිතියක් හිමි වූයේ ජයන්තටය. පොලිස් වැටුප ජයන්තගේ සුපිරි දිවියට අගහිඟකම් කියන නිසා නිල්මිණී විසින් ඔහුට නවීන යතුරුපැදියක්ද ත්‍යාග වශයෙන් ලබාදුන්නේය. ක්‍රමානුකූලව දරුවන්ට තිබූ නිල්මිණීගේ ආදරය ජයන්ත වෙත දිගු විය.

නමුත් මේ සියල්ල පාලනය වූයේ නිල්මිණීගේ ඒකාධිකාරිය මතවූ නිසා දරුවෝද ඇයට ඉහළින් යෑමට ක්‍රියා නොකළහ.

එහෙත් මීට මාස කිහිපයකට ඉහතදී නිල්මිණීගේ හෙරොයින් ජාලයේ මූල්‍ය පාලන කටයුතු පොලිස් කොස්තාපල් ජයන්ත අතට ගත්තේය.

පොලිස් පවර් ගෙන ඔහු නිල්මිණීගේ ඒකාධිකාරියද කෙටි කලකින් බිඳ හෙළුවේය.

දැන් නිල්මිණීගේ පාලනයද ඇත්තේ ජයන්ත අතය. මීට සති කිහිපයකට ඉහතදී මූල්‍ය ආරවුලක් දුරදිග ගොස් ජයන්ත නිල්මිණීට හොඳ හැටි තඩිබෑවේය. කොස්තාපල් රියැදුරු ජයන්තගේ මරණය ඔහුට අත වැනුයේ මෙම පහරදීමත් සමඟය.

නායාට අඳු කොළ සේ නිල්මිණීගේ දරුවන්ටද ජයන්තව පේන්න බැරි විය.

පොලිස් ජයන්තගේ කෙරුවාවල් ඒ වන විටත් බන්ටි විසින් හිරේ සිටින තම පියාට දැනුම් දී තිබුණද නිල්මිණීගේ ඒකාධිකාරිය හේතුවෙන් ඊට කිසිදු බලපෑමක් එල්ල නොවිණි.

එහෙත් නිල්මිණීට, ජයන්ත අත උස්සපු දින සිට ජයන්තගේ මරණය ළං වන බව ඔහුවත් දැන සිටියේ නැත.

නිල්මිණී, බන්ටි, සුද්දා සහ නිල්මිණීගේ හිරේ සිටිනා සැමියාද එක්ව ජයන්තව ඝාතනය කිරීම සඳහා ක්‍ෂණික සැලැසුමක් සකස් කළහ.

මේ සැලසුම නිල්මිණී විසින් කුප්‍රකට පාතාල නායකයකු වූ ඩී. මංජුගේ බිරියට පවරන ලදී. මීට කලකට ඉහතදී වත්තල පල්ලියේ රථ ගාලේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති කර ගත් වෙඩි හුවමාරුවකදී ඩී. මංජු අවසන් ගමන් ගියේය. එවක පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ පාතාල මර්දන ඒකකයක් විසින් ඩී. මංජුව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු විසින් එම නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කෙරුවේය. ප්‍රතිප්‍රහාර හමුවේ ඩී. මංජු ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ ඇවෑමෙන් පසු ඔහුගේ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඔහුගේ බිරිය විසින් අතට ගනු ලැබීය.

ඇය 25 හැවිරිදි වියෙහි පසු වන්නීය. ජයන්තගේ ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගනු ලැබුවේද ඩී. මංජුගේ බිරියගේ නිවෙසය.

ඝාතනයට පෙර නිල්මිණීගේ පුතු බන්ටි විසින් හිරේ සිටින පියාගෙන් ඝාතනයට අවශ්‍ය සියලු උපදෙස් ලබා ගත්තේය.

තම බිරිය සමඟ අනියම් ඇසුරක් පැවැත්වීම ගැන නිශාන්තද සිටියේ ජයන්ත හා දැඩි වෛරයකිනි.

දිනය ඉකුත් 16 වැනිදාය. එදින ජයන්ත සුපුරුදු පරිදි සිටියේ පොලිස් රාජකාරියේය.

එදින පස්වරුවේ නිල්මිණී ජයන්තට හදිසි ඇමැතුමක් ලබාගත්තාය.

“ජයන්ත ඔයා අද අපේ ගෙදර එන්න එපා. පුතාලා ඉන්නේ ඔයාට අද ගහන්න. ඒ නිසා ඔයා ඒ පැත්තේ යන්න එපා. ඔයා මංජුගේ ගෙදරට එන්න. මමත් එහෙට එනවා.”

මේ වනවිටත් නිල්මිණීගේ වැඩිමහල් පුතු වන බන්ටි විසින් ජයන්ත සමඟ ආරවුල් කිහිපයක් ඇති කරගෙන තිබිණි.

එයද සැලසුමේ එක කොටසකි. නිල්මිණීගේ බසට කීකරු වූ ජයන්ත එදින රාත්‍රි 11.00ට පමණ වත්තල පිහිටි ඩී. මංජුගේ බිරිය සිටින නිවෙසට පැමිණියේය.

නිල්මිණීගේ පුරුද්දක් තිබිණි. ඒ රාත්‍රි කාලයට හෙරොයින් පැකට් කිරීම සඳහා හෝටල් කාමරයකට යෑමටය. එදිනද ඇය ජයන්තට පැවැසුවේ කිරිබත්ගොඩ හෝටල් කාමරයක් වෙත රාත්‍රිය පහන් කිරීම සඳහා පිටත් වෙමු යන්නය.

ඇයගේ බසට ඔහුද අවනත වී දෙදෙනාම ත්‍රිරෝද රථයක නැඟී කිරිබත්ගොඩ පිහිටි හෝටල් කාමරය වෙත ගියහ.

17 වැනි දිනද එළැඹිණි. දෙදෙනාම හෝටල් කාමරයේය. නිල්මිණීද සැක නොසිතන පරිදි සියලු රංගනයන් සිදුකරමින් සිටියාය.

වේලාව අලුයම 1.20ට පමණය. “මට බඩගිනියි, අපි සඳමාලිට කියලා රොටි මොනවා හරි ගෙන්න ගමුද?” නිල්මිණී පැවැසුවාය.

‘එහෙනම් මට සිගරැට් හතරකුත් ගේන්න” ජයන්ත පැවැසුවේය.

නිල්මිණී ඝාතන සැලසුමේ ඊළඟ අදියර ක්‍රියාත්මක කරමින් ඩී. මංජුගේ බිරියට දුරකථන ඇමැතුමක් ලබාගත්තාය.

“ඔයා හෝටලෙන් ටිකක් ඉස්සරහට යන්න. නැත්නම් අපි ඉන්න තැන බන්ටි දැන ගනී” නිල්මිණී පැවැසුවාය.

අලුයම 1.40ට පමණ හුණුපිටිය පාර ඔස්සේ ඩී. මංජුගේ බිරිය බිත්තර රොටි සහ සිගරැට් රැගෙන ජයන්ත අසලට පැමිණියාය.

ඔහුද හෝටල් කාමරය පිහිටි ස්ථානයේ සිට කෙටි දුරක් පාගමනින් පැමිණ සිටියේ බන්ටිට තිබුණු බිය නිසාය.

ජයන්තගේ ගමන රැක සිටි බන්ටි ඇතුළු පස්දෙනකුගෙන් යුත් කල්ලියක් වහාම ක්‍රියාත්මක විණි.

ත්‍රිරෝද රථයකින් පැමිණි ඔවුහු ජයන්තව පැහැර ගත්හ. කඩුවක මිටෙන් හිසට පහරදී ඔවුහු ජයන්ත මෙල්ල කර ගත්හ.

පාළු ස්ථාන දෙක තුනකදී ජයන්තට පහර දෙමින් බන්ටි, සුද්දා ඇතුළු පිරිස ජයන්තගේ අතපය බැඳ පන්නල කාංකානිමුල්ල රක්ෂිතයට රැගෙන ගියහ.

එහිදී ජයන්ත බන්ටිගේ කල්ලිය සමඟ පොර බැදුවේය. ඉන් බන්ටිගේ මුහුණට සහ සුද්දාගේ අතකට කැපුම් තුවාල සිදුවිය.

පොර බැදීමකින් අනතුරුව බන්ටි, සුද්දා එකතු වී ජයන්තව කඩුවලින් කපා කොටා ඝාතනය කළහ. ඔහුගේ රහසඟද කපා දැමූ බන්ටි තම මවගේ ආදරය දිනා ගෙන තම පවුලට කෙනහෙලිකම් කළ ජයන්තගේ මළ සිරුර හිරේ සිටිනා පියාට වයිබර් වීඩියෝ ඇමැතුමක් දී පෙන්වීමට සැලැස්වූයේය.

ඉකුත් 17 වැනි දින අලුයම 5.00 වන විට මෙම සියලු ජවනිකා අවසන්ය විය.

ජයන්තගේ ලේ පිරුණු මළ සිරුර ඔවුන් විසින් ඊට යාබද ඇති වෙරලුගම ප්‍රදේශයට රැගෙන ගියේය.

සුද්දාගේ පියා ජීවත්ව සිටියේ වෙරලුගමය. ඔහුගේ නිවෙසට කිලෝමීටර් 5ක් පමණ දුරින් වූ කැලයකට ජයන්තගේ මළ සිරුර රැගෙන ගොස් දැමුවේය.

එදින බන්ටිගේ බාල සහෝදරයා සිටියේ සුද්දාගේ පියාගේ නිවෙසේය. ත්‍රිරෝද රථයේ හිඳුවා ජයන්තගේ මළ සිරුර රැගෙන විත් එම නිවෙසට බන්ටිගේ කල්ලිය පැමිණියද නිදිමතේ සිටි 14 හැවිරිදි එම සොහොයුරු පොලිස් මහත්තයාව මරා දමා තිබූ බවට නොදැක්කේය. බන්ටි විසින් බාල සහෝදරයාව ත්‍රිරෝද රථය අසලට රැගෙන ආවද ඔහුට ජයන්තගේ වෙනසක් නිදිමත නිසා පෙනුණේ නැත.

“පොඩි උන්ට මරපුවා පෙන්නන්න එපා බං” සුද්දා බන්ටිට පැවැසුවේය.

ඉන් අනතුරුව ඔවුන් මෙලෙස එම නිවෙසට කිලෝමීටර් පහක් දුරින් වූ කැලයට ජයන්තගේ මළ සිරුර රැගෙන ගියේය.

මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමඟ සුද්දා බිය විය. තමාගේ පියා වෙසෙන ප්‍රදේශයක මළ සිරුර තිබීම ගැන ඔහු බිය විය.

මේ නිසා ඝාතනයෙන් දින එකහමාරකට පසු කුණු ගඳ ගසමින්, ඕජස් ගලමින් තිබූ ජයන්තගේ මළ සිරුර නැවත ත්‍රිරෝද රථයක දමාගෙන පන්නල, වේරහැර, ඇළබඩගම ප්‍රදේශයේ කැලයට රැගෙන විත් දැමූහ.

ඔවුන්ගෙන් හෙළිවූ තොරතුරු මත මෙම ඝාතනය සැලසුම් කළ නිල්මිණී, ඩී. මංජුගේ බිරිය සහ ඝාතනයට ආධාර අනුබල දුන් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම විමර්ශන සඳහා කිරිබත්ගොඩ පොලිසියේ හා පෑලියගොඩ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරුන් වන පොලිස් පරීක්ෂක සඳරුවන් හා උප පොලිස් පරීක්ෂක රදලගේ යන නිලධාරීන්ද සහාය ලබාදුනි.

පාතාල ලෝකයේ තවත් අති අමානුෂික මෙන්ම සූක්ෂ්ම ඝාතනයක් මෙලෙස හෙළිදරව් විය

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka