Tuesday, March 3, 2020

හලාවත ගමක් කම්පා කරමින්, නිවසේදී ඝාතනයට ලක් වූ 63 හැවිරිදි කාන්තාව ගැන, තවත් තොරතුරු රැසක් එළියට එයි

හමුදාවෙන් පලා විත් සිටින අයෙකු සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වලා
 
තම නිවසේදී ඝාතනයට ලක්ව ඇති කාන්තාවක්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අද (02 වැනිදා) දහවල් නියෝග කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත - කුමාරකට්ටුව අක්කර 08 පදිංචිව සිටි මාරසිංහ ආරච්චිලාගේ සෝමාවතී (අවු:63) නම්වූ දෙදරු මවකි.

ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ දියණිය මේ වන විට ඊශ්‍රායලයේ සේවය කරමින් සිටී.ඇය අවිවාහක
තැනැත්තියකි.එකම පුතා විවාහ වී ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව ප්‍රදේශයේ පදිංචිව සිටී.මිය ගොස් ඇති කාන්තාවගේ සැමියා ඇයගේ දරුවන් කුඩා කාලයේදීම ඔවුන් හැර ගොස් ඇත.මෑතකදී ඔහුද මිය ගොස් ඇති බව අසල්වැසියන් සදහන් කළේය.

යුධ හමුදාවෙන් පලා විත් සිටින අයෙකු සමඟ ඝාතනයට ලක්ව ඇති කාන්තාව සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත්,මෑතකදී ඇයගේ නිවසේ නාඳුනන කාන්තාවක් රැදී සිටි බවත් පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.ඔවුන් දෙදෙනාම මේ වන විට අතුරුදහන්වී ඇත.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව පොලී පදනම මත මුදල් ලබා දීම සහ රන් ආභරණ උගස් ගැනීමද සිදු කරන අයෙකු බවට විමර්ශණ වලදී හෙලිවී ඇත. එමෙන්ම ඇය මෑතකදී රුපියල් ලක්ෂ 25 කට ඉඩමක් අලවි කර ඇති බවත්, රුපියල් ලක්ෂ ගනනක් වටිනා වී අලවි කර ඇති බවත් අසල්වැසියන් කියා සිටියේය.

නමුත් නිවස තුළ කිසිදු කොල්ලයක් සිදුවී ඇති බවක් දක්නට නොමැති බව විමර්ශණ කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් සදහන් කරයි.

පසුගිය 28 වැනිදා පෙරවරුවේ මෙම කාන්තාව නිවසේ සිට ඇති බව අසල්වැසි කාන්තාවන් දෙදෙනෙකු දැක ඇත.පසුව ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොමැති බව අසල්වැසියන් කියා සිටියේය.

01 වැනිදා සවස අසල්වැසියෙකු විසින් මිය ගොස් ඇති අයගේ පුතාට දුරකතනයෙන් දැණුම් දී ඇත්තේ මව නිවසේ නොසිටින බවය.ඒ අනුව පුතාද මවගේ දුරකථනයට ඇමතුම් ලබා ගෙන ඇති නමුත් ප්‍රතිචාරයක් ලැබී නැත.ඒ අනුව ඔහු තවත් කීප දෙනෙකු සමග 01 වැනිදා රාත්‍රීයේ මව පදිංචි නිවසට පැමිණ ඇය සම්බන්ධයෙන් සොයා බලා ඇත. නිවසේ සියළුම දොර ජනෙල් වසා තිබීම නිසා ඔවුන් වහලයේ උළු ඉවත් කර බැළු විට දැක ගැනීමට හැකිවී ඇත්තේ කාමරයක් තුල මව මිය ගොස් සිටින ආකාරයයි. අනතුරුව පුතා විසින් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැණුම් දීමට කටයුතු කර ඇත.

අනතුරුව හලාවත පොලිසියේ නිලධාරීන් පැමිණ විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.මිය ගොස් ඇති කාන්තාවගේ හිසේ දකුණු පස දක්නට ඇති තුවාලයක් හේතුවෙන් සිදුවී ඇත්තේ මිනිස් ඝාතනයක් බවට සැකකර ඇති පොලීසිය වැඩිදුරටත් විමර්ශණ කටයුතු සිදු කරන අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

පොලිස් නිල සුනඛයින්ද ඝාතනය සිදුවී ඇති නිවසට පැමිණ සිටි බවක් දක්නට ලැබුණි.නමුත් හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.ඇගිළි සළකුණු අංශයේ නිලධාරීන්ද පැමිණ විමර්ශණ කටයුතු ආරම්භ කර තිබුණි. හලාවත කොට්ඨාසයේ අපරාධ නිරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ විජේරත්න මහතා ඇතුළු නිලධාරීන්ද විමර්ශණ කටයුතු සදහා සහාය ලබා දී තිබුණි.

හලාවත පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.එදිරිසිංහ,අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හැරල්ඩ් රොශාන් මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka