Sunday, February 23, 2020

බීමතින් රිය පදවා සිගිති දියනියකට පියෙක් අහිමිකර කාවිංග පලායෑමට ගත් උත්සාහය පුස්සක් වූූ හැටි

තුට්ටුවක මායිම් නොක රියැදුරු නැවත රථය පණ ගන්වා පවනට බඳු වේගයෙන් ඉදිරියට රිය ධාවනය කලා

දිනය ඉකුත් 18 වැනිදාය. වේලාව මධ්‍යම රාත‍්‍රීය පසුව වී විනාඩි කීපයක් ගත වූවා පමණි. රාත‍්‍රී කාලය බැවින් බත්තරමුල්ල පන්නිපිටිය මාර්ගයේ දහවලෙහි දක්නට ලැබෙන වාහන තදබදය දකින්නට ලැබී
නැත. මාර්ග සලකුණු කිරීම හා ඉදිකිරීම් සිදු කරන එක්තරා පුද්ගලික සමාගමකට අයත් සේවක පිරිසක් එවෙලෙහි එම මාර්ගයේ එක්තරා ස්ථානයක මාර්ග සලකුණු කිරීමේ රාජකාරියක නිරත වෙමින්ය. දහවල පවතින අධික මාර්ග තදබදය හේතුවෙන් කොළඹ හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හී මාර්ග සලකුණු කිරීම රාත‍්‍රී කාලයේ සිදුකරනු ලබන්නේ රථවාහන ගමනාගමනයට ඒ හරහා බාධාවක් නොවන හෙයින්ය.


එදිනද මේ කියන කටයුත්ත සිදුකරනු ලබන්නේ රාත‍්‍රී කාලයේ බැවින් සේවකයන්ගේ ආරක්‍ෂාව පිණිස අවශ්‍ය ආරක්‍ෂක විධිවිධාන ඒ ආකාරයෙන් ක‍්‍රමවත්ව සිදුවෙමින් පැවැති මොහොතක්ය. ජී.එන්.එන්. සුපර් ලේයර් නමින් හඳුන්වනු ලබන සමාගමට අයත් සේවකයන් හත්දෙනෙකුගෙන් යුත් පිරිසකට එවෙලෙහි පැවරී තිබූ රාජකාරිය බවට පත්ව තිබී ඇත්තේ බත්තරමුල්ල පන්නිපිටිය ප‍්‍රධාන මාර්ගයෙහි පදික මාරුවක් වර්ණගැන්වීමය.

මේ අතර බත්තරමුල්ල ප‍්‍රදේශයේ සිට පන්නිපිටිය දෙසට අධික වේගයෙන් පැමිණෙන සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථයක්ය. ඉදිරියෙහි අනතුරු සංඥා අඟවමින් දැල්වෙන විදුලි බුබුළු සහ ආරක්‍ෂක පුවරු මධ්‍යයේ පදික මාරුවක් සටහන් කරමින් සිටින සේවක පිරිසය. පවනට බදු වේගයෙන් ඒ ආසන්නයට ළඟා වන සුපිරි මෝටර් රථය පළමුව කම්කරුවන්ගේ ආරක්‍ෂාව පිණිස මහ මාර්ගය මැද රඳවා තිබුණු ආරක්‍ෂක පුවරුවක් ද ඉන් අනතුරුව තවදුරටත් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ඒ ආසන්නයේ රාජකාරී කරමින් සිටි කම්කරු තරුණයකුගේ ශරීරය මතින්ද ගමන් කරන අතර අනතුර සිදු කළ රියැදුරා විසින් තම මෝටර් රථය නතර කරනු ලබන්නේ අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් 75 ක පමණ දුරක් ඉදිරියට ගමන් කිරීමෙන් අනතුරුවය.

රථය නතරකොට කවුළුවෙන් පිටුපස බලන රියැදුරාට ඉන් අනතුරුව දකින්නට ලැබී ඇත්තේ තමන්ගේ රථ ගායේ ගොදුරක් බවට පත්ව මාර්ගය අද්දර වැටී සිටින පුද්ගලයෙක්වය. ඒ පිළිබඳ තුට්ටුවක මායිම් නොකරන රියැදුරු නැවත රථය පණ ගන්වා පවනට බඳු වේගයෙන් ඉදිරියට රිය ධාවනය කරනු ලබන්නේ තමන් අතින් කිසිවක් සිදුනොවුණු රියැදුරෙක් පරිද්දෙන්ය.

මේ අතර අනතුර සිදු වූ ස්ථානයේ නතර කර තිබුණු ලොරි රථයකට ගොඩවෙන අදාළ සමාගමේ රාජකාරී කරන රියැදුරෙක් සහ තවත් සේවකයෙක් තම සහෝදර සේවකයකුට අනතුරක් සිදු කර පලා යන මෝටර් රථය පසුපස ලූහුබඳින්නට ගන්නා අතර කිලෝ මීටරයක් පමණ ඉදිරියට රිය ධාවනය කරන ඔවුන්ට දකින්නට ලැබී ඇත්තේ අනතුර සිදු කර පලාගිය රියැදුරු තම මෝටර් රථය මාර්ගය අද්දර නතර කර අනතුර හේතුවෙන් මෝටර් රථයට සිදු වී ඇති හානිය පරීක්‍ෂා කරමින් සිටින ආකාරයක්ය.

ඒ අනුව ලොරියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා මෝටර් රථය අසලම ඔවුන් ගමන් ගත් ලොරි රථය නතර කර අනතුර සිද්ධ කළ පුද්ගලයා අසලට ළංව ඇත. ඒ වන විටද අධික ලෙස බීමත්ව සිටි අනතුර සිද්ධ කළ පුද්ගලයා ‘මම නළුවෙක්... මං නළුවෙක්... යැයි පවසමින් වෙරි මතින් යමක් පැවසීමට උත්සාහ කර ඇත.

අනතුරක් සිදු කර පලායෑම රථ වාහන නීතියේ පවතින බරපතළ කොන්දේසියක් කඩ කිරීමක් වන බැවින් නළුවකුට නොව සක්කරයටවත් එවැන්නක් කළ නොහැකි කටයුත්තක්ය. මීට වසර කීපයකට පෙර අනතුරක් සිදු කර පලාගිය ඇමතිවරයාගේ කතාව ඊට එක් නිදසුනක්ය. ඒ අනුව නළුවා අසලට ළඟා වී ඇති ලොරි රථ රියැදුරු සහ ඔහුත් සමඟ පැමිණි අනෙක් පුද්ගලයා නළුවා අමතමින් පවසා සිටින්නේ ඔහු විසින් අනතුරක් සිදු කළ බවත් ඒ බව දැක බලාගැනීම පිණිස අනතුර සිදු කළ ස්ථානයට පැමිණෙන ලෙසත්ය. ඒ අනුව නළුවා විසින් ධාවනය කළ මෝටර් රථයට ලොරි රථයේ ගමන් ගත් දෙදෙනාගෙන් එක් අයෙක් ගොඩවෙන අතර මෝටර් රථය හරවා ගන්නා නළුවා අනතුර සිදු කළ ස්ථානයට නැවත ළඟා වන්නේ ඉන් අනතුරුවය.

ඉහත කෙටියෙන් විස්තර කරන ලද්දේ සිනමා පටයක හෝ ටෙලිනාට්‍යයක ත‍්‍රාසජනක රූප රාමු පෙළක් පිළිබද විස්තරයක් නොව ජනප‍්‍රිය තරුණ නළුවකු වන කාවිංග පෙරේරා විසින් සිදු කළ මාරක රිය අනතුරක් පිළිබඳ හදකම්පා කරවන විස්තරයක්ය.

රැ මැදියමක මාරාවේශයෙන් රිය ධාවනයක යෙදී සිටි ඔහුගේ ගොදුර බවට පත් වන්නේ මතුගම මීගහතැන්න වෙලපහල පදිංචි 42 හැවිරිදි එක් දරුපියෙක්ය. මාස එකහමාරක් පමණ වයසැති සිඟිති දියණියකගේ තාත්තා වන ගම්මන ලියනගේ වසන්ත උදයකුමාර මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය පුද්ගලයාය. ආදරණීය බිරිඳකට තම ස්වාමිපුරුෂයාද සිඟිති මල් කැකුළක් බදු දියණියකට තම ආදරණීය තාත්තාවද අහිමි කළ මෙම ඛේදවාචකයේ බරපතළකම තව තවත් වැඩි වන්නේ අනතුර සිදු කර නළුවා පලා යෑමට ගත් උත්සාහය හේතුවෙන්ය.

යමෙක් ශිෂ්ටසම්පන්න නම් තමන් විසින් සිදු කළ වරද පිළිබඳ පසු විපරම්ක් සිදුකිරීම සාමාන්‍ය කටයුත්තක්ය. එමෙන්ම එය කළ යුක්තක්ය. වෙරි මතින් මාරක රිය ධාවනයක යෙදී සිටි ජනප‍්‍රිය නළු කාවිංග පෙරේරා විසින් වසන්ත උදය කුමාර තම මෝටර් රථයට යට කර පලා ගොස් ඇත්තේ එම අවම මනුෂ්‍යත්වය පවා ප‍්‍රදර්ශනය නොකළ සිත්පිත් නැති පුද්ගලයෙක් පරිද්දෙන්ය. මාර්ග අනතුරු හේතුවෙන් දිනපතා මිනිස් ජීවිත කීපයක් රටට අහිමි වීම මෑතක සිට බහුලව දකින්නට ලැබෙන දෙයක් වුවද වසන්ත උදය කුමාරගේ අකල් මරණය තව තවත් රිදුම් උපදවන සුළු මරණයක් බවට පත් වන්නේ වසන්තගේ ‘මරුවා’ මෙරට තුළ ජනප‍්‍රිය නළුවෙක් වීමත් අනතුර සිදු කර ඔහු පලා යෑමට ගත් උත්සාහයත් හේතුවෙන්ය.

වසන්ත උදය කුමාර සේවය කළ ආයතනයේ සේවකයන් හා ප‍්‍රදේශවාසීන් එක්ව අනතුරෙන් පසු රංගන ශිල්පී කාංවිග පෙරේරා තලංගම පොලිසිය වෙත ඉදිරිපත් කරන අතර එහිදී වැඩිදුරටත් සිදු කළ වෛද්‍ය පරීක්‍ෂණ හරහා හෙළිදරව් වී ඇත්තේ මෙම මාරක රිය අනතුර සිදු වන අවස්ථාව වන විට රංගන ශිල්පී කාවිංග පෙරේරා මත්පැන් පානය කර රිය ධාවනයේ යෙදී සිට ඇති බවය. මූලික පරීක්‍ෂණවලින් අනතුරුව තලංගම පොලිසිය විසින් සැකකරුව කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 03 වැනි දින තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත. ඉදිරියේදී නීතිය විසින් ඔහුට හිමි දඬුවම තීරණය කරන අතර ඉන් අනතුරුව මෙම අනතුර තවත් එක් රිය අනතුරක් ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතය.

එහෙත් ගැටලූව බවට පත් වන්නේ සිඟිති දියණියකට අපිරිමිත දයාවේ මහා උල්පත බඳු පිය සෙනෙහස අකල්හී අහිමි වීමය. තරුණ බිරිඳකට තම ප‍්‍රාණය සම ස්වාමියා අහිමි වීමය. ඔවුන් වෙත සෙවන රැකවරණය සැපයීම පිණිස මෙලොව සිටි වැදගත්ම මිනිසා මේ වන විට ඔවුන්ව හැර ගොස්ය. එම අඩුව පිරවීම වෙනත් කිසිවකුට කළ නොහැකි කටයුත්තක්ය. ඉකුත් 21 දා අලූත කපන ලද වළක් මත මිහිදන්ව ගිය වසන්ත උදය කුමාරගේ නිසල දෙන අසල විලාප නඟමින් ඔහුගේ බිරිඳ පවසා සිටියේ එම කඳුළු කතාවය.

ඒ කෙසේ වෙතත් මේ වන විට සියල්ල සිදු වී අවසන් වී ඇත. ඉතිරි වී ඇත්තේ බීමතින් රිය ධාවනය කර තරුණ ජීවිතයක් අකාලයේ මරණයට පත් කළ වරදට රංගන ශිල්පී කාවිංග පෙරේරා සතු කම්පනයත් වසන්ත උදය කුමාරගේ අකල් වියෝව හේතුවෙන් ඔහුගේ සමීපතමයන් ඥාති හිතවතුන් තුළත් උපන් වේදනාවක් පමණය. වසන්ත උදය කුමාරගේ මරණය සම්බන්ධයෙන් ‘කම්පනයට’ පත්ව පමණක් ඔහුට සාධාරණයක් ඉටු කළ නොහැකි වන්නේ සිඟිති දියණියකට තාත්තා අහිමිවීම හේතුවෙන්ය. නීතියේ ප‍්‍රතිපාදන මත පමණක් පදනම් නොවී ජනප‍්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ඉදිරියේදී ඒ සඳහා ප‍්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කරයි නම් ඔහු අතින් සිදු වූ ‘වරද’ යම් තාක්දුරකට හෝ සමහන් වනු ඇතැයි කාවිංගගේ රසික රසිකාවියන් මෙන්ම ශිෂ්ටසම්පන්න බොහෝ දෙනකුගේ මතය බවට පත් වී ඇත.

රුවන් ජයවර්ධන

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka