Wednesday, February 12, 2020

ඛෙල්ලට වැදුණු මාරාන්තික මන්න පහර කාගෙනම නිලූකා තම පුතාව ළඟට ගන්න හැදුවා නරුම සැමියාගේ කොන්ත්‍රාත්තුවක් නිසා අකාලයේ මිය ගිය, නිලූකාගේ ඝාතකයින් අල්ලන්න පොලීසිය ගහපු තුරුම්පුව

කපාකොටා වෙඩි තබා ඇය ඝාතනය කළ අපරාධකරුවන් ඝන අඳුරේම එතැනින් පලා ගිහින්

වෙඩි තැබූ පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කොට පැන ගිය අයෙක්

පරාධකරුවන් කෙතරම් සූක්ෂම ලෙස අපරාධයක් සිදු කළද ඔහුට හෝ ඇයට සැමදාම සැඟව සිටිය නොහැකියි. ඒ කවරදාක හෝ ඔහු හෝ ඇය දක්ෂ පොලිස් නිලධාරියෙකු හමුවේ කොටු වන නිසායි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ ක්‍රමවේදයන් දැන් පොලීසිය සතුයි.

ඉතා සූක්ෂම ලෙස සිදුකළ එවන් අපරාධයක් පසුගිය මාසයේදී හබරාදුව පොලිස් වසමෙන් වාර්තා වුණා.
එය ඉතා අමානුෂිකව සිදු කළ මිනිස් ඝාතනයක්. මෙලෙස ඝාතනයට ලක් වූයේ ගාල්ල උණවටුනේ සංචාරක හෝටලයක හිමිකාරිනියක් වූ 'නිලූකා චාමලි' නැමැත්තියක්.

කපාකොටා වෙඩි තබා ඇය ඝාතනය කළ අපරාධකරුවන් ඝන අඳුරේම එතැනින් පලා ගියේ සිදුකළ අපරාධය කිසිදිනෙක පොලිසියට හසු නොවේ යැයි සිතමිනුයි. එය සැබෑවකි. ඝාතනය ගැන විමර්ශන සිදුකළ හබරාදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර ඇතුළු කණ්ඩායමට ඝාතකයින් පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැහැ.

මේ නිසා නිලධාරින් දැඩි අපහසුතාවයකට පත්වුණා. ඝාතනය කෙරුණු නිලූකා රැඳි සිටි නිවාඩු නිකේතනයේ තිබූ CCTV කැමරා පමණක් ඔවුන්ට හමුවුණු එකම සාක්ෂිය වුණා. ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත විමර්ශන සිදු කළ හබරාසූව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම එම CCTV කැමරා සෝදිසි කිරීමට පියවර ගත්තා.

"මේ ඝාතනය සිද්ධ වුණේ රෑ එකොළහයි 46ට විතර. හෝටලයේ තිබුණු CCTV දර්ශන අපි සෝදිසි කළා. ඒවායේ දර්ශන පැහැදිලි නෑ. බයික් එකක දෙන්නෙක් එහාට මෙහාට යනවා විතරයි පේන්නේ. ඒ දෙන්නා බයික් එක හෝටලය ළඟ නතර කරලා ඇතුළට යනවා පේනවා. පොඩි වෙලාවකට පස්සෙ එකපාරම දුවන් ඇවිත් බයික් එකට නැගලා යනවා. ඒත් බයික් එකේ යන්නේ කවුද, ඒකේ අංකය මොකද්ද කියලා පැහැදිලි නැහැ.."

ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා මේ ඝාතනය පිළිබඳ විමර්ශන ඇරඹූ හැටි එසේ කියා සිටියා.

"පස්සේ අපි පාරේ තියෙන අනික් කැමරා චෙක් කළා. සියුම් ලෙස ඒවායේ දර්ශන ලොකු කර කර බැලුවා. එතකොට දැක්කා අර හෝටලයට ආපු බයික් එකේ ආපු දෙන්නගේ හැඩරුවට සමාන දෙන්නෙක්ම බයික් එකකින් පාරේ යනවා. ඒ යන අතරේ බයික් එකේ පිටුපස යන පුද්ගලයා වරින් වර පිටිපස්ස බලනවා. ඒ ළඟම කාර් එකකුත් එනවා.."

"ඉන්පස්සෙ මට තේරුණා මේ බයික් එකේ ආපු දෙන්නත් එක්ක තමයි මේ කාර් එකත් ඇවිත් තියෙන්නෙ කියලා. ඒ එයාලගේ උදව්වට කියලා. අපි කාර් එකේ අංකය මොකද්ද කියලා හොයලා බැලුවා..."

ඝාතකයින් යැයි සැකකරන පුද්ගලයින් දෙදෙනා මෝටර් සයිකලය සමඟ ගමන් ගන්නා ආකාරය හඳුනාගැනීමද එතරම් පහසු වූයේ නැහැ. ඒ වාහනයේ අංක තහඩුව අපැහැදිලි නිසයි. එහෙත් පොලිසිය උත්සහය අතහැරියේ නැහැ.

රියේ ඇති අංක තහඩුවේ හැම අංකයක්ම එකින් එක සූක්ෂම ලෙස හඳුනා ගත් පොලිස් ස්ථානාධිපතිවරයා එසේ අනාවරණය කරගත් අංකයක් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යවා ලද තොරතුරුවලින් පසු අම්බලන්ගොඩ පදිංචි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා.

සැකකරුගෙන් දීර්ඝ ලෙස කිරීමෙන් අනතුරුව පැය 72කටත් අඩු කාලයක් තුළදී චාමලීගේ ඝාතකයින් හා ඊට අනුබල දුන් අය අල්ලා ගැනීමට පොලිසියට හැකිවුණා.

මෙසේ තාක්ෂණික ක්‍රමවේද සහ සිසීටීවී කැමරා දර්ශන ඔස්සෙ නිලූකා ඝාතනයට කොන්ත්‍රාත්තුව දී තිබුණේ ඇගේම සැමියා බව පොලිසිය අනාවරණය කරගත්තා.

ඔහු කොන්ත්‍රාත්තුව ගැන කතාබහ කරගෙන තිබුණේ ගාල්ල හිර ගෙදර දඬුවම් විඳින රැඳවියෙක් සමඟයි. ඒ අනුව කොන්ත්‍රාත්තුව අම්බලන්ගොඩ පදිංචි පුද්ගලයෙකුට ලබා දෙන්නේ එම රැඳවියායි. අනතුරුව ඔහු මීට සහයට එක් කර ගන්නේ ඉඳුරුව පදිංචි ඔහුගේම හිතවතෙක්.

"ඒ අනුව අපි අම්බලන්ගොඩ පදිංචි දෙන්නෙක් අත්අඩංගුවට ගත්තා. එයාලගෙන් ප්‍රශ්න කරලා නිලූකාට වෙඩි තියලා කපලා මරපු දෙන්නව ඇල්ලුවා. ප්‍රශ්න කරද්දි එයාලා කතාව කිව්වා. මේ අය දෙසැම්බර් මාසේ 18 වැනිදාත් නිලූකා මරන්න ගාල්ලට ඇවිත් තියනවා. එදාට නිලූකා ගාල්ල උසාවියේ නඩුවකට යනවා. එයා යන්නේ ත්‍රීවිලර් එකකින්. එදාත් මේ අය උසාවිය ගාවට යනවා. එයාව මරන්න. ඒත් බැරිවෙනවා. පස්සේ නිලූකාගේ පින්තූර ත්‍රීවිලර් එකේ පින්තූර සේරම මෙයාලා නිලූකාගේ සැමියාට යවනවා.."

"ඉන්පස්සෙ තමයි නිලූකාගේ පිටරට ඉන්න රුපියල් එක්ලක්ෂ දහ දාහක් මෙයාලට එවන්නේ. ඒ සල්ලි එවන්නේ මෝටර් සයිකලයක් ගන්න. පස්සෙ බයික් එක අරගෙන මෙයාලා දවස් දෙකක්ම උණවටුනට යනවා. ඇවිත් හෝටලයක නතර වෙලා කාලා බීලා නිලූකා ඉන්න හෝටලය බලා කියාගෙන යනවා..."

"එදා මෙයාලා නිලූකා මරන්න එන දවසෙත් අම්බලන්ගොඩ දෙන්නා කාර් එකේ එනවා. හෝටලයක නතර වෙලා බියර් බොනවා. පස්සෙ වැල්ලේ දේවාලය ළඟත් නතර කරලා බියර් බොනවා. එතකොට තමයි නිලූකාගේ මහත්තයා මෙයාලට කෝල් එකක් දීලා කියන්නේ අන්න දැන් කවුරුත් නෑ. ඒකි ඉන්නවා ළමයා එක්ක. දැන් පලයන් කියලා. එතකොට තමයි මෙයාලා එතැනට යන්නේ.."

විදේශගත සැමියා දුන් අංකයට අනුව හෝටලය ඇතුළට යන ඝාතකයින් නිලුකා සිටින තැනට යන්නේ තුවක්කුව හා මන්නයක්ද අතැතිවයි. ඒ අවස්ථාවේ ඔවුන් දකින්නේ නිලූකා සිය සිඟිති පුතු සමඟ සිටිනා අයුරුයි. එතැනට පැමිණි තුවක්කුව අත තිබූ තැනැත්තා සිඟිති පුතා එතනින් ඉවත් කරද්දි අනෙකා තම පිහියෙන් ඇගේ ගෙලට තුන් පාරක් පහර දෙන්නේ සිඟිති පුතු බලා සිටියදීයි.

"නිලූකා බිම වැටිලා පුතාව එයා ළඟට ඇදලා ගන්න හුඟාක් උත්සහ කරනවා. එයා හිතනවා ඇති ඒ අය පුතාටත් කරදරයක් කරාවී කියලා. ඒ බෙල්ලට වැදුණු මන්න පහර කාගෙන නිලූකා බිම දිගේ ඇවිත් පුතාට අත දිග හැරලා ළඟට ඇදලා ගන්න හදනකොට තමයි අනෙක් පුද්ගලයා නිලූකාට වෙඩි තියන්නේ.."

"පස්සෙ මේ දෙන්නා බයික් එකට නැගලා ගිහින් අතරමඟදී බයික් එක කරාපිටිය ඉස්පිරිතාලේ ළඟ අතැරලා දාලා කාර් එකට නැගලා යනවා. මන්නට කුණු ඇලකට විසි කරනවා. තුවක්කුව කැලෑවකට දානවා. එහෙම කරලා ඌරගහ හරහා බණ්ඩාරගමට ගිහින් පාදුක්ක පැත්තෙන් අවිස්සාවේල්ලට ගිහින් එතනින් බැහලා පස්සෙ හම්බවෙන්නම් කියලා වෙන්වෙලා යනවා.."

සිද්ධිය විදේශගතව සිටින නිලූකාගේ සැමියාට දැනගන්නට ලැබෙන්නේ ඉන් පසුවයි. ඔහු ඝාතකයින්ට මුව නොසෑහෙන සේ ස්තුති කරන්නේ තම දරුවාට හානියක් නොකිරීම නිසයි.

"මම හෙට සල්ලි එවනවා. ලක්ෂ 23 විතර ඇති. ගෑනු කෙනෙක් ඔයාට කතා කරයි. එතකොට ගිහින් ගන්න.."

නිලූකාගේ සැමියාගේ ප්‍රකාශයට අනුව පසුව බම්බලපිටියේ අවහන්හළකට යන එන කාන්තාවක් නිලූකාගේ සැමියා විසින් එවූ යුරෝ 4950ක් ඝාතකයින්ට ලබා දී තිබෙනවා. ඔවුන් ඒවා රුපියල්වලට මාරු කරගෙන ඇත්තේ අලුත්ගම නගරයේ තැනකිනුයි. ලැබුණූ යුරෝ ගණන සිව් දෙනා විසින් බෙදාගෙන තිබෙනවා.

"අම්බලන්ගොඩ දෙන්නාට යුරෝ 5250යි. වෙඩි තියපු එකාටයි කපාපු එකාටයි යුරෝ 4950යි. මේ අය සල්ලි අරන් ණය වගයක් බේරලා බූරුවා ගහලා හෝටල්වල නතරවෙලා ගෑණු එක්ක ඉඳලා තියනවා. කොහොමහරි එක්කෙනෙකුට ලක්ෂ 5ක් විතර තමයි හම්බෙලා තියෙන්නේ.."

නිලූකාට වෙඩි තැබූ පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කොට පැන ගිය අයෙක්. ඔහු මීට සම්බන්ධ වී ඇත්තේ ණය බරින් මිරිකී සිටීම නිසායි. ඝාතනය සඳහා ඔහුට සහය වූ පුද්ගලයා ඔහුගේ මිතුරෙක්.

මොවුන්ගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලිසිය තවත් 63 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු නිලූකා ඝාතනයට ඔත්තු බැලූ අයෙකු බවට සඳහන්.

නිලූකා ඝාතනයට මොහොතකට පෙර හෝටලයේ කිසිම අයෙකු නොමැති බවට විදේශගතව සිටින ඇගේ සැමියාට ඔත්තුව දී ඇති බවට සැකකරන්නේ මොහුවයි. CCTV පරික්ෂා කිරීමට ගිය මොහොතේ කැමරා අක්‍රිය වී ඇතැයි නිලධාරින්ට බොරු කියා ඇත්තේ ද මොහු යි.

මේ අනුව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 6ක්.

කීර්ති මෙන්ඩිස්
 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka