Thursday, February 6, 2020

පූජිත්ට - හේමසිරිට දැඩි කොන්දේසි මත ඇප

මාස හතරකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාර භාරයේ සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් දැඩි ඇප
කොන්දේසි පනවා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඊයේ (05දා) නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වන නියෝගයක් පනවා රුපියල් දෙලක්‍ෂ පනස් දහස බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වූ ශරීර ඇපකරුවන් සිවුදෙනකුගේ ඇප බැඳුම්කර මත එම සැකකරුවන් දෙදෙනා මුදාහැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණය භාරයට පත්කරනා ලෙසටද නියෝග කළේය.

ඇප ලබාගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත වාර්තා කරන ලෙසට ද එහිදී කොන්දේසියක් පනවනු ලැබූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා පැමිණිල්ල විසින් සිදුකරනා විමර්ශනවලට හෝ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට කුමන ආකාරයකින් හෝ බලපෑමක් සිදුකළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාර භාරයේ තැබීමට නියෝග කරන බවටද සැකකරුවන්ට අවවාද කළේය.

එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ඉදිරිපත් කොට තිබූ ඇප අයැදුම්පත් ඊයේ (05දා) කොළඹ මහාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුන් ඇප මත මුදාහැරීමට විරුද්ධත්වය නොදක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් පැවැසීය. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හා ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන් පෙර සඳහන් ඇප කොන්දේසි යටතේ එම සැකකරුවන් දෙදෙනා මුදාහරින ලෙසට අතිරේක මහෙස්ත‍්‍රාත්වරයාට නියෝග කොට තිබුණි.

එකී මහාධිකරණ විනිසුරුවරුන් නිකුත් කළ ඇප නියෝගයේ කොන්දේසි ඊයේ (05දා) පස්වරුවේ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී එම සැකකරුවන් දෙදෙනාට කියවා පහදා දී එලෙස ඇපමත මුදාහරීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

ප‍්‍රහාර එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප‍්‍රකාශ ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට හා වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය ජුනි 27 වැනිදා නියෝග කොට තිබිණි.

එකී නියෝගය ප‍්‍රකාරව ප‍්‍රකාශ ලබාගැනීමට පැමිණෙන ලෙසට දැනුම්දී තිබියදී එම සැකකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට හා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත්වී තිබූ අතර එලෙස නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට පසුගිය ජුලි 2 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. එම රෝහල්වලට ගොස් සැකකරුවන් නිරීක්‍ෂණය කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමෙන් අනතුරුව විත්තිය කළ ඉල්ලීම සලකා බලමින් සැකකරුවන් දෙදෙනාම ඇපමත මුදාහැරීමට පසුගිය ජුලි 9 වැනිදා නියෝග කොට තිබිණි. එම ඇප නියෝගයට එරෙහිව විමර්ශන අංශ භාරව සිටි ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂිකා ටී. ඞී, හෙළඋඩගේ මහත්මිය ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන අයැදුම්පතක් සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ඇප නියෝගය අවලංගු කර ඔවුන් යළි රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට පසුගිය ඔක්තෝබර් 9 වැනිදා නියෝග කොට තිබිණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වන කරුණු අනුව සැකකරුවන්ගෙන් වැඩිදුර ප‍්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය වුවහොත් සැකකරුවන් කැඳවීමට පියවර ගන්නා බවද ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂිකා ටී. ඞී. හෙළඋඩගේ මහත්මිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කළ විටකදී පෙනී සිට අවශ්‍ය ප‍්‍රකාශ ලබාදෙන ලෙසටද එහිදී සැකකරුවන්ට නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා විමර්ශන වල ප‍්‍රගතිය වාර්තා කිරීම සඳහා එම නඩුව ලබන මැයි 6 වැනිදා යළි කැඳවීමටද නියෝග කළේය.

රජයේ අධිනීතිඥ සචිනි ඉද්දමල්ගොඩ මෙනවිය, රජයේ අධිනීතිඥ අකිලා දල්පදාතු මෙනවිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය, නදීශා කන්නන්ගර මෙනවිය හා නීතිඥ චානක මානවඩු යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා


under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka