Sunday, February 16, 2020

"අධිකරණ තීන්දුවට අනුව ඇය යළි ගම්පහටම එන්නේ සේවකයින්ගේ සතුටු කඳුළු මැදින්" - දේවානී ජයතිලක

වවුනියාව දිසා වනජීවී කාර්යාලයේ සිට සේවා අවශ්‍යතා මත ගම්පහට මාරුවක් ලබා ගන්නේ මහා දුෂ්කර ක්‍රියාවකින් පසුවය

ඔක්සිජන් වෙනුවෙන් හඬ අවදි කළ අපේ කාලයේ රාජ්‍ය සේවිකාව

දේවානි ජයතිලක යනු කවුරුදැයි කියා අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ඇය පිළිබඳ මේ වනවිට නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. දේවානි ජයතිලක මහත්මිය ඉකුත් 10 වැනිදා දේශපාලනඥයන් ඉදිරියේ නිර්භයව, නිවැරදිව, කොන්ද කෙළින් තබාගෙන කතා කළ හැටි හරි අපූරුය.

රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ට පිට කොන්දක් තිබෙන බවට තහවුරු කරමින් ඇය මීගමුව කළපු සංවර්ධන කමිටු රැස්වීමේදී පරිසරය රැකගත යුත්තේ මන්දැයි දේශපාලනඥයන්ටත් පරිසරය පිළිබඳ
මෙලෝ හැඟීමක් නොමැති මිනිසුන්ටත් කියාදුන් පාඩම ඉතිහාසගත පාඩමක් වී ඇතැයි සිතේ.

දේශපාලඥයන් ඉදිරිපිට දණින් වැටී, යර්ස් සර්, යර්ස් මැඩම් කියමින් රටම කම්බස් කළ නිලධාරීන් සිටි සහ සිටින රටක, ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලකට ජාතියේම උත්තමාචාරය ලැබුණේ ඇය මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ අභිමානය රැකගැනීමට දැන හෝ නොදැන කළ අභීත හඬ නැඟීම නිසාය. මෙය එක්තරා අන්දමක රාජ්‍ය සේවකයන්ට ලබාදුන් අපූරු පූර්වාදර්ශයකි.

දේවානි ජයතිලක උපත ලබන්නේ 1981 ජූලි මස 23 වැනිදාය. ඒ පවුලේ පළමු දරුවා ලෙසිනි. දේවානිගේ පියා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියකි. මව ගුරුවරියකි. පුංචි කාලේ සිටම ඇය හැදුණේ නීතියත්, විනයත් තිබුණු නිවෙසකය. ඊට හේතු වූයේ පියා පොලිස් නිලධාරියකු වූ නිසාය. ඒ නිසා නිවෙස තුළද නීතියට ගරුසරුවක් තිබිණි. මව ගුරුවරියක වූ නිසා නිවෙස තුළ විනයද තිබිණි. නීතිගරුක විනයගරුක දරුවකු ලෙස නිතරම හැසිරුණු දේවානිලා පදිංචිව සිටියේ කෑගල්ල, පරගම්මන ගමේය. මේ පවුලට ගමේ අය තුළද ගෞරවයක් තිබිණි.

දේවානි හා හා පුරා කියා පාසල් ගියේ කෑගල්ල, ස්වර්ණ ජයන්ති පාසලටය. අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ ඇය උසස් පෙළ හැදෑරීම සඳහා කෑගල්ල, බාලිකා විද්‍යාලයට ඇතුළත් වූයේ විද්‍යා විෂය ධාරාව තෝරා ගනිමිනි.

ඉගෙනීමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලදී දීප්තිමත් ශිෂ්‍යාවක ලෙස ඇය කැපීපෙනුණේ ගුරු දෙගුරුන්ගේ ආශීර්වාදය මැදය. කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත් සුන්දර පාසල් වියේ ඇයට උපතින්ම උරුමව තිබූ කථිකත්වයෙන් පාසල් මාතාව සෙසු පාසල් අතරින් ඉහළට ඔසවා තැබුවාය. වාද විවාදවලදී ඇය කිසිවකුට නොදෙවැනි ලෙස වාද කළාය. දැනුම මිනුම තරගවලදී ගුරුවරුන්ගේ ඇහිබැම නළල මත රඳවන තරමින් උත්තර දුන් බව කියන්නේ පාසලේ ඇය සමඟ සිටි මිතුරියන්ය.

කාලය ගෙවී ගියේ කෑගල්ල බාලිකා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට තේරුණු ශිෂ්‍යාවන් අතරට දේවානිත් එක්වෙමිනි. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ගියේ දහසකුත් එකක් ප්‍රාර්ථනා පොදි බැඳගෙනය.

එලෙස විශ්වවිද්‍යාලයට ගිය පසු වැඩිකල් නොගොස් ඇගේ ජීවන සහකරුවාද හමුවන්නේ දෛවයේ ලියැවී තිබූ පරිද්දෙනි. ඔහු ලලිත් තෙන්නකෝන් නම් වූ තරුණයකි. ඔහු ජ’පුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ වාණිජ්‍ය කළමනාකරණ පීඨයටය. දෙදෙනාම සම වයසේය. නිතර නිතර හමුවී විවිධ දේ කතා කරන්නට පටන් ගත්තේ විවිධ අදහස් හුවමාරු කරගනිමිනි. අවසානදී දෙදෙනාට දෙදෙනාව හොඳටම අවබෝධ වෙද්දී දෙදෙනා ප්‍රේමවන්තයන් බවට පත්වී හමාර වී තිබිණි.

ප්‍රේමය මොනතරම් අපූරුද? දෙහදක නැඟුණු ආදරය හරියට සඳ එළිය සේ සුරම්‍යයි කියා දෙදෙනාටම දැනෙන්නට ගත් පසු ඇයට නිතරම ඔහුත්, ඔහුට ඇයත් නොදැක ඉන්න බැරි තරමට ප්‍රේමය මෝරා වැඩිණි. වසර හතරක පමණ කාලයක් දෙදෙනා පෙම්වතුන් ලෙස සිට විවාහ ගිවිස ගත්තේ දේපාර්ශ්වයේම මවුපිය ඥාතීන්ගේ ආශීර්වාද මැදය.

ලලිත් තෙන්නකෝන්ගේ ගම තඹුත්තේගමය. දේවානිගේ ගම කෑගල්ලේය. මොවුන්ගේ අලුත් සොඳුරු කැදැල්ල තනා ඔවුන් අලුත් ජීවිතයක් පටන් ගත්තේ ඒ අනුවය.

මේ පවුලට පළමු දරුවා එකතු වන්නේ 2009 වසරේදීය. මොවුන් දෙදෙනාට පමණක් නොව ඥාති හිතමිත්‍රාදීන්ද පුංචි දරු පැටියා දැක සතුටු වෙද්දී මොවුනටද ජීවිතයේ අපූර්වත්වය හොඳටම දැනෙන්නට විය. ඒ දරුවා දියණියකි. ඒ දියණිය යශෝරාය.

ඊට වසර දෙකකට පසු පුතකුද මේ පවුලට එකතු වන්නේ ඔය අතරය. දරුවන් දුසිමක් හිටියත් එය බරක් නොවන බව දෙදෙනාගේම අදහසය. එනිසාම දෙවැනි පුතු වන පහන් පුතා පවුලට එකතු වී තවත් වසර දෙකකට පසු ගගනි දුවත්, ඊටත් වසර තුන හතරකට පසු පවනි චංචලා දියණියත් මොවුනගේ පවුලට එකතු වන්නේ දෙදෙනාට හුස්මක් කටක් ගන්නට බැරි තරමට වැඩකටයුතු වැඩි කරමිනි. මොවුන් දැන් පදිංචිව සිටින්නේ ගම්පහ යක්කල ප්‍රදේශයේය.

ලලිත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කර උපාධිය ලබාගෙන පෞද්ගලික ආයතන කිහිපයක සේවය කරමින් සිටියේය. දරුවන් සිවුදෙනාම පාසල් යන්නට ගත් පසු දරුවන්ගේ වැඩකටයුතු නොපිරිහෙළා ඉටුකළ යුතු නිසා ඒ රැකියාවලට ආයුබෝවන් කී ඔහු තමන්ගේම කියා ව්‍යාපාර කටයුතුවලට යොමු වූයේ දරුවන්ගේ එදිනෙදා කටයුතුවලට ප්‍රමුඛත්වය දියයුතු නිසාය.

දේවානි - ලලිත් එක්වී මේ තීරණ ගත්තේ දරුවන්ගේ අනාගතය යහපත් කරනු පිණිසය.

නමුත් දේවානි සිය අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන ගියාය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ ඇය මුලින්ම පත්වීමක් ලැබුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටය. එම දෙපාර්තමේන්තුවේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ සහකාර කළමනාකරු ලෙස මුල්ම පත්වීම ගත් ඇය අකුරටම වැඩකටයුතු කළේ ‘නීතිය’ රකිමිනි.

ඒ ඇගේ හැටිය. මොන දේ කළත් ඇය වැඩ කළේ ආයතන රෙගුලාසි, නීති රීති රාමුව තුළය. මේ අතර ඇය පශ්චාත් උපාධියද ලබා ගත්තාය. 2011 වසරේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියාවට ගිය ඇය ඉන් වසරකට පමණ පසු ගුරුවරියක ලෙස පත්වීමක් ලබා හොරූ තක්‍ෂිලාවට ගියේ දරු පැටවුන්ගේ නුවණැස පාදන පින්කමට ආශා කරමිනි. ගුරුවරියක ලෙස කටයුතු කරගෙන යද්දී ඇය විද්‍යාත්මක සේවා විභාගයට වාඩි වූයේ අධ්‍යාපනයේ ඉණිමග නඟිමිනි. ඒ ඇගේ හැටිය. මැරෙනතුරු ඉගෙන ගන්නට බොහෝ දේ ඇත. ඇයත් ඒ මතයේ සිටින කෙනෙකි.

විභාගයෙන් ඇය විශිෂ්ට ලෙස සමත් වූ පසු ගරු ගුරු වෘත්තියට ආයුබෝවන් කියා අතිරේක දිසා වන නිලධාරිනියක ලෙස වන රක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරිවලට ගියාය. බත්තරමුල්ල, සම්පත්පායේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ රාජකාරියට ගිය ඇයට සතර දෙසින් පහර වදින්නට ගත්තේ ඔය කාලයේදී යැයි එහි සේවකයෝ දැන් හෙළිකර සිටිති.

හේතුව ඇය නීතියට අනුව, ආයතන සංග්‍රහවලට අනුව කටයුතු කිරීමය. වන රක්‍ෂණ දෙපාර්තමේන්තුවත් ඇත්තේ මෙරට වනය ආරක්‍ෂා කිරීමට වුවද බොහෝ දෙනා වනය රකිනවාට වඩා වනය නැසෙන දෙස බලා සිටින අය යැයිද එහි සේවකයෝම පවසති.

ටික කලකින් දේවානිට වවුනියාවට මාරුවක් ලැබෙන්නේ නිකම්ම නොවන වගද කිව යුතුය. දේශපාලනඥයන් දැව ජාවාරම්කරුවන් නීතිගරුක නිලධාරීන්ට වැඩි කැමැත්තක් නැත. ඇත්ත කතා කරන කෙළින් වැඩ කරන ඕනෑම කෙනකුට මිතුරන්ට වඩා සිටින්නේ සතුරන්ය. ඇත්ත ඒකය. ඒ ගැන අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත. මේ රට ශ්‍රී ලංකාවය.

1882 වසර වන විට අපේ රටේ වනගහනය සියයට 82කි. මේ වන විට අපේ රටේ වන ගහනය සියයට 29.2කි. එසේ කියන්නේ වන සංරක්‍ෂණ ජනරාල් ඒ.ඩබ්ලිව්.සී. වේරගොඩ මහතාය. නමුත් ඇතැම් පරිසරවේදීන්ට අනුව මෙරට වනගහනය සියයට 16කට අඩුවී ඇත. ඇත්ත නැත්ත හොයන්නට බැරිය. හේතුව වෙනකක් නොව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම (LRC) නිදාගෙන සිටීමය.

දේවානි ජයතිලක හැප්පෙන්නට ගත්තේ මේ හොර තක්කඩි ගහන වන සංරක්ෂණය ඇතුළේ සිටය.

වවුනියාව දිසා වනජීවී කාර්යාලයේ සිට සේවා අවශ්‍යතා මත ගම්පහට මාරුවක් ලබා ගන්නේ මහා දුෂ්කර ක්‍රියාවකින් පසුවය.

එලෙස ගම්පහ දිසා කාර්යාලයට පැමිණි ඇය දිසා වන නිලධාරිනිය ලෙස වැඩ පටන් ගන්නේ දහසකුත් අභියෝග මැදිනි. “නුඹ මොන තරම් උස මිනිසකු වුවත් නීතිය තිබෙන්නේ නුඹට උඩිනි." ඒ කියමන ඇයගේ තේමා පාඨය වැනිය.

මීතිරිගල රක්‍ෂිතය සම්බන්ධ ප්‍රශ්නයක් ඇය කරා එන්නේ ඔය අතරය. කළුගල්වල ඔළුව ගසා ගැනීමේ ප්‍රතිඵලය ගැන කිව යුතු නැත. නමුත් ඇය කළුගල්වලට බිය නැති ගැහැනියකි. යකඩ ගැහැනිය මාග්‍රට් තැචර්ය. එසේ වුවත් මැයත් යකඩ නිලධාරිනියකි. සිත සවිමත්ය. නීතියට පිටින් යන්න දෙන්නේ නැත. පරිසරයට ගහ කොළට පෙම් බඳින්නේ සෝබනයට නොව ඒ පිළිබඳ ප්‍රාමාණික අධ්‍යාපනයක් ලබා සිටින නිසාය.

මීතිරිගල රක්‍ෂිතය හෙක්ටයාර් 3585කින් සමන්විතය. පෙතියාකන්ද රක්‍ෂිතය අක්කර 107කි. මීතිරිගල රක්‍ෂිතයට අදාළ තක්සේරු වාර්තා ඉල්ලුවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් (LRC) අදාළ තක්සේරු වාර්තා ඉල්ලුවත් ලබා දී නැතැයි එහි සේවකයෝ කියති.

ඇයට ප්‍රධාන කාර්යාලයට මාරුවක් ලැබෙන්නේ ඔය අතරය. එය දඬුවම් මාරුවක් ද නැද්ද යන්න අප දන්නේ නැත.

නමුත් ඇය නිකන් හිටියේ නැත. එම මාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකර්ණය හමුවේ නඩුවක් ගොනු කරන්නේ සාධාරණය පතමිනි. ශ්‍රේෂ්ඨාධිකර්ණය තීරණයට අනුව මාරුවීම අවලංගු කර ඇය යළි ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස ගම්පහටම යළි එන්නේ එහි සේවක සේවිකාවන්ගේ සතුටු කඳුළු මැදිනි.

2015 වසරේ සිට මාස හයක පමණ කාලයක් ඇයට ලබාදුන් ඒ අරුම පුදුම මාරුවීම මැද ඇය සටන් කොට යළි ගම්පහට ආවේ සටන අවසන් නැති බව තහවුරු කරමිනි.

මේ අල්ලපනල්ලේ මීගමුව මුන්නක්කරය, දූපත් අසල කඩොලාන ශාක කපා දමා ක්‍රීඩා පිටියක් ඉදි කරන සටනක්ද ඇරඹී තිබිණි.

ක්‍රීඩා පිටිය ඉදිකරන්නට වටපිටාව සකසමින් සිටියේ වෙන කවුරුත් නොව ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා ඇතුළු පිරිසකි.

මීගමු කළපු සංවර්ධන කමිටු රැස්වීමකදී වූ දේවල් රටම දුටු නිසා ඒ පිළිබඳ යළි යළි විස්තර කළ යුතු නැතැයි අපගේ වැටහීමය.

මේ කළපු ප්‍රදේශය රජය සතු ඉඩමකි. දේවානි ජයතිලක මහත්මිය ඒ බැව් අධිකරණය හරහා ඔප්පු කර ඇත. මේ රජය සතු ඉඩමේ පදිංචිකරුවන් අනවසරයෙන් පදිංචිව සිටින අය ය.
ධර්මය රකින්නා ධර්මයෙන් රැකෙති. පරිසරය රකින්නෝ පරිසරයෙන්ම රැකෙති. නීතිය රකින්නෝ නීතියෙන් රැකෙති.

ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මේ රටේ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පූර්වාදර්ශයක් බවට පත්ව ඇත. ඇය කී කාරණා සත්‍ය යැයි රටත් රටින් පිටත සිටින අයත් සහතික කොට ඇත. ෆේස්බුක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ මේ නිලධාරිනිය තරුවක් බවට පත් විය.

තරු මතුවී නැති වී ගියද මැය රටටත්, රටේ රාජ්‍ය නිලධාරීන්ටත් කියා දී ඇති පාඩම සදාතනික අමරණීය සත්‍ය වග අපට විශ්වාසය. වන ගහනය සියයට 29.6කි. රජයේ ඉලක්කය වන ගහනය සියයට 30ට ගෙන ඒමය.

වන ගහනය කෙසේ වෙතත් ජනගහනය දැන් කෝටි දෙකක් පැන ගොසිනි. 1882දී මෙරට වන ගහනය සියයට 82කි. “අපිට හුස්ම ගන්න ඔක්සිජන් කෝ” දේවානි ජයතිලක නැඟූ ප්‍රශ්නය මතු දවසක මුළු රටම අසන දවසක සිදු වූ ඒ නස්පැත්තිය දකින්නට මේ දේශපාලනඥයන් සහ කැලෑ පාළුවන් මිහිපිට නොසිටීම අපට දුකකි.

නමුත් ඔක්සිජන් ඉල්ලා කෑ ගසන දරු පැටවු අතර අපේ ලෙයින් උපන් දරු පරපුර සිටින වග අපි ලියා තබන්නේ ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියගේ ඒ වචන කිහිපය උදාර වාක්‍යයක් සේ වටිනා බැවිනි. දේවානි ජයතිලකගේ ඒ සිදුවීම් පෙළ පටිගත කළ මාධ්‍යවේදියාද කළේ පෙරළියකි. ඔහුටද මේ ගෞරවයේ කොටසක් අයිතිය.

ශිරාන් රණසිංහ  

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka